සටහන් පොරොන්දුව

කරුණු කියන විදිය

– ‘පණ්ඩිත’ භාෂාව වෙනුවට එදිනෙදා කතාකරන බාසාවෙන් සරලව කරුණු කියනවා. 

– හුදෙක් ප්‍රවෘත්ති කියනවා වෙනුවට ඒවායේ පසුබිමත්, ඒ ගැන අපේ මතයත් වක්‍රව නොකියා සෘජුව කියනවා. 

– නවීන සමාජයකට ගැලපෙන මතවාද ගණනාවකට පක්ෂපාතී වෙන නමුත්, ප්‍රතිවිරුද්ධ මතවාද තියෙන අය කෙරෙහි හුදෙක් වෛරී ප්‍රතිපත්තිවලින් වැඩ නොකර එයාලාටත් සාධාරණ වෙනවා. (පක්ෂපාතී වෙන මතවාද පහත සඳහන්.)

– කුමන මතවාදයක් අනුව වුණත්, කිසිම අවස්ථාවක සැබෑ සිදුවීමක් විකෘති කරන්නේ නැහැ, නිවැරදිව කරුණු ඉදිරිපත් කරනවා. ඒ වෙනුවෙන් සාධාරණව සහ ප්‍රවේශමෙන් යුතුව කරුණු පළ කරනවා. ඡායාරූප වැරදි ප්‍රවෘත්තිමය අර්ථයක් එන විදියට විකෘති කරන්නේ නෑ.

– යම් දේශපාලන පක්ෂ, දේශපාලන චරිත, කණ්ඩායම් මතවාදීව අපට ගැළපෙන බව පෙනෙන අවස්ථාවකදී වුණත් කිසිසේත්ම අනවශ්‍ය විදියට එවැනි කණ්ඩායම් ප්‍රවර්ධනය කරන්නේ නෑ. ඒ වෙනුවට ස්වාධීනව මතය ප්‍රකාශ කරන්නේ කිසිම දේශපාලන කඳවුරකට සම්බන්ධ නොවී.

– තිරයෙන් පිටිපස්සේ මෙන්ම නිල වශයෙන්වත් දේශපාලනඥයන්ගේ දැන්වීම් හෝ ආධාර මුදල් ලබා ගන්නේ නෑ. කිසිම දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියකට සම්බන්ධ වෙන්නේ නෑ. වාර්තාකරණයක් වෙනුවෙන්වත් දේශපාලනඥයන් එක්ක අනවශ්‍ය විදියට සමීප වෙන්නේ නැහැ. සීමාවෙන් එහා ගිය පෞද්ගලික මිත්‍රකම් දේශපාලනඥයන් සමග පවත්වන්නේ නැහැ.

– කිසිවෙකුට නොනැමී තියුණුව කරුණු ගෙනෙනවා.

– අපේ ප්‍රධානම අරමුණ මහජන සුභසිද්ධිය. ඒ වෙනුවෙන් මතුපිටින් කියන දේ වෙනුවට වෙහෙස වී ගවේෂණශීලීව කරුණු ඉදිරිපත් කරන්න උපරිම වෙහෙසෙනවා.

– අපි පළ කරන ඕනෑම කරුණක් නිවැරදියිද කියා දැනගන්න සාධාරණ උත්සාහයක් ගන්නවා. යම් කරුණක් අපි ස්වාධීනව, කෙළින්ම තහවුරු කර ගත්තේ නැති උපුටාගැනීමක් නම්, ඒ බව පැහැදිලිව කියනවා.

– යම් කරුණක් ඇත්ත නොවන බව අපි හොඳින්ම දන්නවා නම්, එවැන්නක් කිසිසේත්ම පළ කරන්නේ නැහැ.

– යම් පුද්ගලයෙක් ගැන හෝ කාරණයක් ගැන අපි තහවුරු කරගත්තේ නැති, නිශ්චිත කරුණක් නොවෙන, අපේ අනුමානයක් හරි විග්‍රහයක් හරි අපි කියනවා නම්, එවැන්නක් ඉදිරිපත් කරන වෙලාවක අපි පැහැදිලිව එය තහවුරු වූ කරුණක් නොවන අනුමානයක් බව කියනවා.

– අපේ මාධ්‍ය වාර්තා වෙනුවෙන් කියලා පුද්ගලයන් රවටන්නේ නෑ. හොරෙන් සැඟවුණ කැමරා, බලෙන් පටිගත කිරීම් හෝ ඡායාරූප ගැනීම් අපි කවදාවත් කරන්නේ නෑ. හොරෙන් පටිගත කරන  හඬපටි, කවුරුන් හෝ කී දෙයක් එයාලාගේ අවසර නැතිව ඒ කෙනා කීවායැයි ප්‍රසිද්ධ කිරීම්, හැක් කිරීම්, තොරතුරු සොරකම් කිරීම් අප කරන්නේ නෑ.

– අපි සමහර තොරතුරු ගන්නේ රහස්‍ය මූලාශ්‍රවලින්. අපට රහසිගතව තොරතුරු දෙන අයව දිවිහිමියෙන් රකිනවා. මැරුවත්, හිරේ දැම්මත් ඒවා හෙළි කරන්නේ නෑ.

ප්‍රතිචාර සහ සමාව

– අපේ යම් තැනක පළ කරපු දෙයකට විරුද්ධ කෙනෙක්ට විවේචනාත්මක ප්‍රතිචාර (කමෙන්ට්) අපි පළ කරපු පිටුවේම පළ කරන්න නිදහස දෙනවා.

– කාටහරි අපි කියපු, ලියපු දේකින් අසාධාරණයක් වුණොත් ඒ කෙනාට උත්තර දෙන්න ඉඩ තියෙනවා. විධිමත්ව අපට එවපු උත්තරයක්/ ප්‍රතිචාරයක් අපි සාධාරණ අවකාශයක පළ කරනවා.

– කොච්චර කළත් අපට වරදින්න පුළුවන්. එහෙම වැරදීමක් වූ වෙලාවක සමාව අයදින්න පසුබට වෙන්නේ නෑ.

පක්ෂපාතී සංකල්ප

– මතවාදීව මධ්‍යස්ථ වාර්තාකරුවන් නොවී, නූතන ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප පැත්තට පක්ෂපාතී වෙනවා.

– මේ රට ජාතීන් විදියට බෙදිලා යන විදියේ වාර්තාවන් පළ කරන්නේ නෑ. ඒ වෙනුවට ඉතාම උනන්දුවෙන් ජාතිවාදයට එරෙහිව වාර්තා කරනවා. ජාතිවාදයට එරෙහි අදහස්වලට පක්ෂපාතී වෙනවා.

– කිසිසේත්ම අවිද්‍යාත්මක වාර්තාකරණයක යෙදෙන්නේ නෑ. විද්‍යාව මත පදනම් වෙනවා. මිත්‍යාවට ඉඩ දෙන්නේ නෑ. විද්‍යාවට පක්ෂපාතී වෙනවා.

– අවිද්‍යාත්මක, තහවුරු නොවූ කරුණු මත ‘ක්‍රමන්ත්‍රණ න්‍යායන්’ එළිදක්වන්නේ නෑ. එවැනි න්‍යායන් පිටුදකින්න, රටට ඇත්ත පෙන්වාදෙන්න පොරොන්දු වෙනවා. කුමන්ත්‍රණ න්‍යායන්ට එරෙහි පිළට පක්ෂපාතී වෙනවා.

– දේශගුණ අර්බුදය ගැන අපි සංවේදී වෙනවා. හෙට දරුවන්ට ලෝකයේ සම්පත් ඉතිරි කරන්න, එයාලාට ලෝකයක් ඉතිරි කරන්න අපේ භාවිතාව කැප වෙනවා. දේශගුණ අර්බුදය විසඳාගන්න උත්සාහ කරන මතවාදයට පක්ෂපාතී වෙනවා.

– ළමයින් සහ කාන්තාවන් ගැන සංවේදී වෙනවා. එයාලා ගැන ඡායාරූප දානකොට, නම් ගම් ආදිය කියනකොට විශේෂයෙන් පරෙස්සම් වෙනවා. ළමා, කාන්තා අයිතීන්ට පක්ෂපාතී වෙනවා.

– ලිංගික ශ්‍රමිකයන්, සිරකරුවන්, පාතාලයන් ලෙස හඳුනාගත් අය වගේ සමාජයේ හඬක් නැති, අපරාධකරුවන් ලෙස හංවඩු ගැසුණ කොටස් ගැන කතා කරද්දී ජනප්‍රිය සමාජ අදහස් ඔස්සේ ඔවුන්ට අනුකම්පා විරහිත විදියට වාර්තාකරණය කරන්නේ නෑ. සාධාරණ වෙනවා. එවැනි පුද්ගලයන් කෙරෙහි සාධාරණයක් ඉටු කිරීමේ අදහසට පක්ෂපාතී වෙනවා.

– ආබාධ සහිත පුද්ගලයන්, සුළුතර ලිංගික කණ්ඩායම් ආදී අපේ රටේ අසාධාරණයට ලක් වූ පුරවැසියන් වෙනුවෙන් වැඩි වැඩියෙන් වාර්තාකරණයේ යෙදෙන්න බලනවා. එවැනි කොටස්වලට පක්ෂපාතී වෙනවා.

– මහජන සුභසිද්ධියට වැදගත් වෙන අවස්ථාවකදී හැරුණාම අනෙක් හැම වෙලාවේම මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරනවා. පෞද්ගලිකත්වයට පක්ෂපාතී වෙනවා.