කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර ඇතුළු පිරිසක්, මෙරට හාම්පුතුන්ගේ වුවමනාව මත කුමන්ත්‍රණකාරී ලෙස මෙරට නූතන වහල් ක්‍රමයකට නීතිමය පදනමක් සැකසෙන අන්දමේ කම්කරු නීති ප්‍රතිසංස්කරණයක් හඳුන්වාදීමට කුමන්ත්‍රණය කරමින් සිටින බව මෙරට ප්‍රබලම වෘත්තිය සමිති ගණනාවක් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
මැයි 15 වැනිදා ලංකා බැංකු සේවක සංගම් කාර්යාලයේදී පැවැත්වූ මෙම මාධ්‍ය හමුවේදී, කම්කරු නීති සංශෝධනවලට එරෙහිව ගැනීමට නියමිත පියවර පැහැදිලි කරන ලදී.
පෞද්ගලික අංශයේ සේවකයන් හිතුමතේට අස් කිරීම, කාන්තාවන් හා දුරුවන් සේවයේ යෙදවීම, ප්‍රසූත නිවාඩු ලබා නොදීම, වැටුප් අහිමි කිරීම සහ අනෙකුත් ආරක්ෂාවන් අහිමි කිරීම සඳහා මෙම කම්කරු නීති සකස් කරමින් සිටින බව එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම නීති සංශෝධනය වෙනුවෙන් කුමන්ත්‍රණකාරී ලෙස ජාතික කම්කරු උපදේශන සමාගමෙන් ස්වාධීන වෘත්තිය සමිති ඉවත් කොට, දේශපාලන පක්ෂවල වෘත්තිය සමිති ඇතුළත් කරගෙන ඇති බවය.
මෙම මාධ්‍ය හමුව පැවැත්වූ වෘත්තිය සමිති එක්ව, පසුගිය මැයි දිනයේදී සාමාජිකයන් 4000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹදී දැවැන්ත මැයි රැළියක් සහ පාගමනක් පැවැත්වීය. මෙම එකතුවට රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික වෘත්තිය සමිති ගණනාවක් සම්බන්ධ වී සිටී.
එම මැයි රැළියට සම්බන්ධ වූ ස්වාධීන වෘත්තිය සමිතිවල නියෝජිතයන් එක්ව, මෙම කම්කරු නීතිවලට එරෙහිව උපරිමයෙන් සටන් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල පැවසීය.
ශ්‍රී ලංකා විදුලි සංදේශ සියලු සේවක සංගමයේ සභාපති ජේ.බී. ගුරුසිංහ කීවේ මෙයට එරෙහිව රටේ සමස්ත කම්කරු ජනතාව පාරට බැස්සීම සඳහා සංවිධාන කටයුතු සිදු කරන බවය.
එම මාධ්‍ය හමුවේදී වෘත්තිය සමිති නායකයන් වැඩිදුරටත් මෙසේ අදහස් පළ කරන ලදී.
ජනාධිපති රටිනුත් ගියා, දැන් ඉන්නෙ අනුප්‍රාප්තිකයෙක් මේ ආණ්ඩුව වලංගු නෑ, පනත් හදන්න බලයක් නෑ- ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල

මේ රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබුණා. මේක හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට ජනාධිපති ධුරය විතරක් නෙවෙයි රටිනුත් යන්න වුණා. අනුප්‍රාප්තතික ජනාධිපතිවරයෙක් තමයි දැන් ඉන්නේ.
මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ තියෙන ආණ්ඩුවටත් වලංගුතාවයක් නෑ . අලුත් නීති ගේන්න හෝ අලුත් නීති ක්‍රියාත්මක කිරිමට තාවකාලික ආණ්ඩුවට හැකියාවක් නැහැ.. එහෙම ඒ විදියේ හැකියාවක් විතරක් නෙවෙයි, එහෙම සදාචාරාත්මක අයිතියකුත් ඒගොල්ලන්ට නෑ. රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කියලා අයිඑම්එෆ් එකේ උපදෙස් අරගෙන මේ වෙලාවේ විවිධ සංශෝධන රටේ ගොඩක් දේවල්වලට කරමින් ඉන්නවා. නීතිවලට කරමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් රාජ්‍ය දේපළ විකුණමින් ඉන්නවා. අධ්‍යාපනය සම්පූර්ණයෙන් අනාථ වෙන්න ඉඩ හැරලා. සෞඛ්‍ය සේවය අනාථ වෙන්න ඉඩ හැරලා තියෙනවා.
ණය ගෙවීමේදී විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා කිරීමට අමතරව දේශීය ණය කපා හැරීමටත් සාකච්ඡා කරලා තියෙනවා.
මේකෙන් අර්බුදය තීව්‍ර වෙනවා. ඒ අර්බුදයේ බර මහජනතාවමත වැටෙනවා.
මහජනතාවට මේක ඔරොත්තු දෙන්නේ නැති තත්වයට පත් වුණාට පස්සේ මහජනතාව මේකට විරුද්ධව එළියට එනවා. ඒක නවත්වන්න අලුත් ත්‍රස්ත මර්දන නීති ගේනවා. මහජනතාව ත්‍රස්තවාදීන් කරලා.
අනෙක් පැත්තෙන් මේ වෙලාවේ මේ රටේ වැඩකරන ජනතාවගෙන් සීයට 10කවිතර ප්‍රමාණයක් තමයි වෘත්තිය සමිතිවල සංවිධානය වෙලා ඉන්නේ. ඒ සංවිධානය වෙලා ඉන්න වෘත්තිය සමිතිවලට එරෙහිව ආණඩුව එක් පැත්තකින් ප්‍රචාරයක් ගෙනයමින් ඉන්නවා වෘත්තිය සමිති ආර්ථිකය ඉදිරියට ගෙනියන්න ඉඩ නොදෙන අය විදියට. අනෙක් පැත්තෙන් ඔවුන් කම්කරු නීති වෙනස් කිරීමට උත්සාහ ගන්නවා.
ඒකට ඔවුන් අලුත් සංශෝධන ගේනවා කියන කාරණාව කියලා තියෙනවා. ඒත් ඒ සාකච්ඡාවල ආණඩුවේ ප්‍රතිපතත්ති ප්‍රකාශය කියලා නැහැ. ඒ වෙනුවට හාම්පුතුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වලා තියෙන්නේ.
අපට පේන්නේ ආණ්ඩුව ඉන්නේ හාම්පුතුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පැත්තේ බව.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇතුළු ලෝකය පිළිගත්තු එක්සත් ජාතීන්ට සම්බන්ධ කම්කරු සංවිධාන ත්‍රෛපාර්ශ්වීය හෙවත් කණු තුනක් උඩ තමයි නීති හිටවලා තියෙන්නේ. කම්කරු අයිතීන් ගැන සලකා බලද්දී වෘත්තිය සමිති, හාම්පුතුන් හා රජය ඉන්නවා.
අලුත් නීති තවම ගෙනල්ලා නැතිව ඉන්නඑක සහ ඒ නීතිගත කිරිම සම්බන්ධයෙන් මේ වෙලාවේ හාම්පුතුන්ගේ සම්මේලනය ගෙනල්ලා තියෙන යෝජනා කෙළින්ම ඉදිරියට ගැනීම ඇතුළේ තියෙනවා ත්‍රෛපාර්ශ්වීය කෙසේ වෙතත් බහුපාර්ශ්වීය විදියට වැඩේ ඉදිරියට යමින් ඉන්නවා.
මේ වෙලාවේ පැහැදිලිව කියන්න කැමතියි, ඔබට මතක ඇති මෑතකදී තිබුණ මැයි දිනය. එම මැයි දිනයේදී මේ රට් වැඩකරන ජනතාව සහ දුප්පත් පංතිය කියන එක පැහැදිලිව ධ්‍රැවගත වුණා ආණ්ඩුව ගෙනියන අයට විරුද්ධව. මේ රටේ වාම ඌරුවක් තියෙන සංවිධාන එක්ක එක්කාහු වුණා. ඒ වගේම සුවිශේෂී තත්වයක් ආවා. එ තමයි වෘත්තිය සමිති, බහුජන සංවිධාන ඒ වගේම සමාජ ක්‍රියාකාරීන් එක්වෙලා ස්වාධීන මැයි රැළියක් කළා. ඒස්වාධීන මැයි රැළිය මේකට ආණ්ඩුව බය වෙලා.
කම්කරුවන්ගේ නීති සංශෝධන ඉක්මන් කරන්නේ ඒකට බය වෙලා.
මේ රටේ ඉන්න වෘත්තිය සමිති, බහුජන සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් විදියට මේ තත්වයට එරෙහිව ක්‍රියා කරන්න අපි තීන්දු කළා. මින් ඉදිරියට මේ තත්වයට නැවැත්වීමට කළ හැකි සියලු කැපකිරීම් කරලා ඉදිරියට යනවා කියලා කියන්න සූදානම්.
වහල් යුගයකට ආපහු යන්න හදන්නේ – ඇන්ටන් මාකස්, නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම්

දැන් මේ ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ගෙනල්ලා සමාජ බලවේග සියල්ල මර්දනය කරන්න උත්සාහයක් දැරුවා. ඒ උත්සාහය අත්හැරලා නෑ. ඊට අමතරව දැන් මේ රටේ ශ්‍රම බලකාය සම්පූර්ණයෙන් යටපත් කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණ, මේවා සංශෝධන නෙවෙයි ප්‍රතිසංස්කණ ගෙන එන්න සැලසුම් කරලා තියෙනවා.
සමාජය තුළ මතයක් ඇති කරලා තියෙනවා කම්කරුවා ආරක්ෂා වෙලා ඉන්නේ නීතිවලින්, ඒ නිසා මේ කම්කරුවන් වැඩ කරන්නේ නෑ, කම්මැලියි, නිෂ්පාදන කරන්නේ නැහැ කියලා නොයෙක් ප්‍රචාර යනවා.
කම්කරු නීති මොනවාද කියන්නේ කියා පැහැදිලි කිරීමක් කරන්න ඕනෑ. ලෝකයේ කම්කරු නීති බිහිවෙන්න ප්‍රධාන හේතුව වුණේ සේවා යෝජකයින් සහ කම්කරුවා කියන්නේ පාර්ශ්වයන් දෙකක් හැටියට සේවා යොජක පාර්ශ්වය බලගතු පාර්ශ්වය කියලා ලෝකයේ පිළිගත්තු සංකල්පයක් තියෙනවා.
සේවා යෝජකයින්ට එයාලාගේ ධනය තියෙනවා, ආයතනය අයිතියි, නීති පැත්තට මැදිහත් වෙන්න පුළුවන්, දේශපාලන මැදිහත්වීම් කරන්න පුළුවන්.
කම්කරුවාට ශ්‍රමය විකුණලා ජීවත්වීම තමයි ඉතිරි වෙලා තියෙන්නේ.
මේ දෙගොල්ල අතර සමාන තත්වයක් නෑ. මේ බලගතු පාර්ශ්වය දුර්වල පාර්ශ්වය වන කම්කරුවාව ආරක්ෂා කළ යුතුයි කියන මූලික ප්‍රතිපත්තිය අන්තර්ජාතික කම්කරු සංවිධානයත් පිළිඅරන් තියෙනවා. ඒ නිසා තමයි බලගතු සේව්‍යය පක්ෂයෙන් දුර්වල සේවක පක්ෂය ආරක්ෂා කරන්න නීති හදලා තියෙන්නේ.
මේවා නිකම්ම ලැබූ ඒවා නෙවෙයි. වෘත්තිය සමිති දිගින් දිගට සටන් කරලා දිනාගත් දේවල්. පැය අටේ වැඩ දිනය වුණත්. අපි පහුගියදා මැයි දිනයේදී අපි සැමරුවේ ඒකයි. චිකාගෝ නගරයේ කම්කරුවන් පාරට බැහැලා පැය අටේ වැඩ දිනය කියන ආරක්ෂාව දිනා ගත්තේ.
අන්තර්ජාතික කම්කරු සම්මේලනයේ සම්මුති අංක එක පැය අටේ වැඩ දිනය.
මේක තේරුම් ගන්න ඕනෑ. ආරක්ෂන නීත නීති අවශය ඇයි කම්කරුවාට. අද ක්‍රියාත්මක වන නව ලිබරල් ආර්ථිකය තුළ කෙළින්ම හාම්පුතුන්ගේ නැත්නම් සේවා යෝජකයන්ගේ ගොදුරු බවට පත් වෙලා ඉන්නේ කම්කරුවන්. තව තව ආරක්ෂක නීති අවශ්‍ය කාලයක තමයි අපි ඉන්නේ.
ඒක තේරුම් ගත්තේ නැත්නම් සමහරුන් අපි කරන අරගලය ගැනත් වැරදි විදියට මේක අර්ථකතනය කරන්න පුළුවන්. දැන් මේ ආරක්ෂක නීතිවල ප්‍රතිපලයක් හැටියට තමයි, උදාහරණයක් විදියට සේවකයන් පැය අටක් වැඩ කළාට පස්සේ ඊට වඩා වැඩ කළොත් අතිකාල ගෙවන්න ඕනෑ.
ආණඩුව කරන්න යන්නේ කම්කරු නීති ප්‍රතිසංස්කරණ කියලා දැනට අපේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවා කොන්දේසි තීන්දු කරන පනත තමයි පඩිපාලක සභා ආඥා පනත. මේ යටතේ පඩි පාලක සභා 42ක් පිහිටුවලා තියෙනවා. ඒ පඩිපාලක සභාත් ත්‍රෛපාක්ෂිකයි.
වෘත්තිය සමිති, හාම්පුතුන්, වැඩකරන ජනතාව තීන්දු කරනවා වැඩ කරන පැය ගණන, නිවාඩු ආදී සේවා කොන්දේසි. දැන් පඩි පාලක ආඤාපනත අහෝසි කරන්න යෝජනා කරලා තියෙනවා.
ඊට අමතරව, දෙවැනියට සාප්පු හාකාර්යාල පනත. ඒ කියන්නේ කාර්යාල සේවකයන්ගේ කොන්දේසි තීන්දු කරන්නේ එම පනතෙන්. ඒකත් අහෝසි කරන්න කටයුතු කරමින් යනවා..
ඊට අමතරව කාන්තාවන් සහ ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ තියෙන ආරක්ෂණ නීති. ඒ පනතත් අහෝසි කරන්න දැන් යෝජනා කරලා තියෙනවා.
ඊළඟට ප්‍රසූතික පනත.
මේ මූලික පනත් හතර අහෝසි කළාට පස්සේ ආණ්ඩුව මොකක්ද කරන්න යන්නේ. ආණ්ඩුව කියනවා මේ සේවකයන්ගේ සේවා කොන්දේසි නියම කිරීමේ ‘අයිතිය‘ ඒ ඒ සේවා යොජකයා සතුයිලු. ඒ අනුව ඒ ඒ සේවා යෝජකයාට බලය ලැබෙනවා තමන් යටතේ ඉන්න සේවකයාට නිවාඩු කීයක් දෙනවාද, ඒ සේවා කොන්දේසි මොනවාද, වැඩ කරන පැය ගණන කීයද, කියලා තීනදු කරන අයිතිය.
එහෙම හාම්පුත්තු තමන්ගේ සේවා කොන්දේසි පත්වීම් ලිපියට ඇතුළත් කළාම සේවකයාට බලයක් තියෙනවාද මං මේකට එකඟ නැහැ කියන්න අයිතියක්. එකඟ නැහැ කිව්වාම රස්සාවෙන් එළියට දාන්න පුළුවන් ප්‍රායෝගිකව. එහෙම සටන් කරන්න පුලුවන් වෘත්තිය සමිති තියෙනවා නම්. ඒත් අපි දන්නවා ලංකාවේ හැබැයි මිලයන 8ක් වන ශ්‍රම බලකායෙන් සීයට 10ක්වත් වෘත්තිය සමිතිවලට නෑ. පෞද්ගලික අංශයේ සීයට 5ක්වත් වෘත්තිය සමිතිවල නෑ.
දැන් ලෑස්ති වෙන්නේ හාම්පුතාට කැමති විදියට සේවයේ යොදවන්න පුළුවන් වහල්ලු. නූතන වහල් නීති සම්පාදනය කරන්නයි හදන්නේ.
අපි දන්නවා අපේ රටේ කම්කරුවන් අත්තනෝමතික විදියට අස් කිරීම වළක්වන්න තමයි 1972 අංක 45 දරණ සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ පනත ගෙනාවේ. දැන් නිත්‍යානුකූල නොවන විදියට අස් කරනවා නම් කම්කරු කොමසාරිස්ගේ අවසර ගන්න ඕනෑ.
දැන් සේවා යෝජකයා කියනවා අපට ඕනෑ වෙලාවක කෙනෙක්ව අස් කරන්න අවසර ලැබෙන්න ඕනෑ බව. දැන් නීතිය යටතේ අවසර ඉල්ලීමේ කොන්දේසියක් තියෙනවා. කම්කරු කොමසාරිස්ට මේ අස් කිරීම පසුපස නරක චේතනාවෙන් නෑ කියලා සේවායෝජකයා ඔප්පු කරන්න ඕනෑ. දැන් කිසිම පරීක්ෂණයක් නැතිව ඕනෑ කෙනෙක්ව අස් කරන්න දෙන්න යනවා.
මේකේ ප්‍රධාන ගොදුර වෙන්නේ වැඩපළවල්වල ඉන්න වෘත්තිය සමිති ක්‍රියාකාරින්. දැන් තියන වෘත්තිය සමිති ටිකත් නැති කරලා දාන්න වෙනවා.
දැන් මොන අඩුපාඩු මැද වුණත් කම්කරු දෙපාර්තමේන්තුවට යන්න සේවකයන්ට අයිතිය තියෙනවා.
දැන් මේකේ තියෙනවා එහෙම යන්න බෑ, සේවා යොජකයන් නීති මාලාවක් හදලා තියෙනවා, ඒක විසඳාගන්න කම්කරු දෙපාර්තමේන්තුවට යන්න බැහැ කියලා. දැන් කම්කරු දෙපාර්තමේන්තුව වහලා දාන්නයි යන්නේ. දැනටත් මේක දුර්වලයි. ඒක දියුණු කරන්නයි ඕනෑ. ඒත් වහන්න යනවා.
වෘත්තිය සමිති නැති තැන පැමිණිලි කරන්න ආයේ බැරි වෙනවා.
කම්කරු කාන්තාවන් අනෙක් පැත්තෙන්. කාන්තාවන්ට ආරක්ෂණ නීති දැම්මේ ඇයි? 1984ට පෙර කොහොමත් රාත්‍රී 10න් පස්සේ සේවයේ යොදවන්නම තහනම්. ඊට පස්සේ ඒක ලිහිල් කරමිනුයි ආරක්ෂණ නීති දැම්මේ. ආයෝජකයන් ගෙන්වන්න වැඩපොළවල් පැය 24ම දුවන්න ඕනෑ කියලා, රාත්‍රී 10න් පස්සේ කාන්තාවන් වැඩට ගන්න අවසර ගන්න ඕනෑ කිව්වා. ඒ අනුව අවසර දුන්නා. හැබැයි අන්තර්ජාතික කම්කරු ප්‍රතිපත්තිවලට අනුකූල ආරක්ෂණ විධිවිධාන දැම්මා. සේවිකාවගේ කැමැත්ත ගැනීම, කම්කරු කොමසාරිස් අවසරය ඕනෑ, රාත්‍රී සේවයේ යොදවන්න පුළුවන් දින 10ක් විතරයි, ඒ වගේම දින සේවයේ එකම දවසක යොදවන්න බැහැ, ප්‍රවාහනය සපයන්න ඕනෑ කියන ආරක්ෂාවන් තහවුරු කළා.
ඉස්සර නීති ලිහිල් කළේ මෝටරෝලා ආයෝජන එන්න බලන් ඉන්නේ මේ නීති නිසා කියලා. එහෙම කියලා 1984 දී නීති ලිහිල් කළා. දැන් කියන්නේත් ඉතිරි කාන්තා ආරක්ෂාවන් පවා ඉවත් කරන්නේ ආයෝජකයන් ගෙනාවා කියලා. එදා ආපු ආයෝජන නෑ. කම්කරු නීති වෙනස් කරන්න කියන ආයෝජකයන් කවුද? එහෙම ආයෝජකයන් කවුරුත් ගැන කියලා නෑ.
හාම්පුතුන්ගේ සම්මේලනය ඉදිරිපත් කරපු යෝජනා මෙන්න. කම්කරු කොමසාරිස් මම කරපු ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කියනවා අපි මේවා දන්නේ නැහැ කියලා. මැයි මාසයේ 03 වැනිදා පවත්වපු සාකච්ඡාවේදී හාම්පුතුන්ගේ සම්මේලනය ඉදිරිපත් කළා මේ යෝජනා. ඔබතුමා කොහෙද හිටියේ. කොහේද කම්කරු කොමසාරිස් මෙච්චර දවස් හිටියේ. සමහරවිට ඔහු දන්නේ නැතිව ඇති, ඇමතිවරයා තමයි මේවා කරන්නේ. සමහරවිට ඇමතිවරයා විතරයි වෙන්න ඇති දන්නේ.
මේක තමයි ඇමතිවරයා ගේන්නට කැසකවන නීති. මේක ඇමතිවරයාගේ යෝජනා හැටියට දාන්න බැහැ. ඒ නිසා මේවා මිනිස්සු ඉල්ලනවා., කම්කරුවන් ඉල්ලනවා කියලා මුලාවක් කරලා ඉදිරිපත් කරන්න යනවා.
අපි අභියෝග කරනවා, එන්න ප්‍රසිද්ධ සංවාදයකට. මේවා නෙවෙයි නම් මොනවාද තියෙන්නේ. අද වෙනතුරු කියන්නේ නෑ.
මේවා මීට පෙර කතා කළේ ජාතික කම්කරු උපදේශක සභාවේ. දැන් ඒක ඇමතිට ඕනෑ විදියට වෙනස් කරනවා. ඒක ඇමතිට ඕනෑ විදියට හදන්න ඕනෑ එකක් නෙවෙයි. අන්තර්ජාතික කම්කරු සම්මේලනයේ 104 අනුව පිහිටවූ එකක්. මාසෙකට වතාවක්වත් රැස් වෙන්න ඕනෑ. සභාව ඇමති කැඳෙව්වේ තුන් වතාවක් විතරයි. ඇමති ක්‍රමානුකූලව මේක නැති කළා. දැන් මේ ගැන දිගින් දිගටම කතා කරද්දී, දැන් ජාතික කම්කරු උපදේශක සභාව ප්‍රතිස්ථාපනය කරනවා කියලා දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තිය සමිතිවලට පමණක් සීමා කරගෙන උපදේශක සභාව නැවත පිහිටුවලා තියෙනවා. අපේ සංගමය ඇතුළු ස්වාධීන සංගම් 4ක් ඉන් එළියට දාලා තියෙනවා.
එයාලා හිතනවා දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තිය සමිති හිටියොත්, පක්ෂ හරහා අනුමැතිය කම්කරු නීති සංශෝධනයට අනුමැතිය ගන්න පුළුවන් කියලා.
වැරදි මතයක් තියෙනවා වෘත්තිය සමිති පරණ නීති කරගහගෙන යනවාද කියලා. අපි කම්කරු නීති ප්‍රතිසංස්කරණවලට කැමතියි. හැබැයි ප්‍රතිසංස්කරණ කියන්නේ වහල් යුගයට ආපහු යන ඒවා නෙවෙයි. ඉදිරියට යන ඒවා.
අපි වැඩකරන පැය ගණන වෙනස් කරන්න ඕනෑ. හැබැයි පැය අට පැය හයක් කරන්න ඕනෑ. අද ලෝකය දියුණු වෙලා තියෙනවා.
පැය අටක් වැඩ කළාට කාර්යක්ෂමතාව වැඩි වෙන්නේ නෑ. නවසීලන්තයේ ආයතනයක අත්දැකීමක් ලැබුවා වැඩකරන දින 5ක් සහ පැය හයක වැඩ දිනයක් ඇති කරලා. කාර්යක්ෂමතාව වැඩි වුණා.
සේවකයන් ගෙදර වැඩ ඉවර කරලා, ආවාට පස්සේ සම්පූර්ණයෙන් වැඩේට යොමු වෙනවා.
කාර්යක්ෂමතාව වැඩි කරන්නට නම් තෘප්තිමත් වැඩ පරිසරයක් අවශ්‍යයි. ඒක සේවකයන්ගේ හඬට කන් දීලා, ජීවත් වෙන්න පුළුවන් වැටුපක් ලැබෙන සංශෝධනයක්.
එවැනි ප්‍රතිසංස්කරණවලට අපි පක්ෂයි. හැබැයි මේ කරන්නේ නූතන වහල් ශ්‍රමය නීතිගත කරන්නට.
මැයි දිනය එකට සමරපු වෘත්තිය සමිති ලෙස මේක හෙළා දකිනවා. මේක පරාජය කරන්නට ඒකරාශි කළ හැකි සියලු බලවේග ඒකරාශී කරනවා.
ළමා ශ්‍රමය යළි ගේන්න, ප්‍රසූති නිවාඩුවට වැටුප් නොගෙවන්න, හිතුමතේට අස් කරන්න හාම්පුතුන්ට නිදහස ඕනෑලු!- නීතිඥ ස්වස්තිකා අරුලිංගම්, කාර්මික හා වාණිජ සේවක සංගමයේ සභාපති

කම්කරු නීතිය ගැන කතා කරද්දී ඊට අදාල මූලික වටිනාකම් තියෙනවා.
සියවස් ගණන් ඈත නෙවෙයි, දහඅටවැනි සියවසේ අග සහ දහනවවැනි සියවසේ මුල, කම්කරු නීති තිබුණේම නැහැ.
හිමිකරුවන්ට හිතුමතේට සේවය පැහැරගන්න පුළුවන් සම්පූර්ණ නිදහස තිබුණා.
අපි එහි දැක්කේ මොනවාද? අපි දැක්කා ළමා ශ්‍රමිකයන්. අපි දැක්කා ගැහැණුන් ගැබිණියන්ව සිටියදී පවා සේවයේ යෙදෙනවා.
අපි දැක්කා සේවකයන් දරුණු තත්වයන් යටතේ වැඩ කරනවා.
හාම්පුතුන් පැය 24 පවා , ඒ කියන්නේ නොනවත්වාම සේවකන්ගෙන් වැඩ ගත්තා.
අපි දැක්කා හාම්පුතුන්ට හරිහැටි පඩියක් නොගෙවා වැඩ ගන්න හැකියාව ලැබිලා තිබුණා.
මේක මහා අතීතක නෙවෙයි, අවුරුදු 200කට කලින් තිබුණු තත්වයක්.
අවුරුදු සිය ගනණක් තිස්සේ සේවකයන් අරගල කරමින්, සටන් කළා.
අපේ රටේ මේ කම්කරු නීති අද තියෙන්නේ ඒ සටන්වල ප්‍රතිඵලයක් ලෙස.
පැය අටක වැඩ මුරයක් ලැබීම, නියමිත කාලයට වඩා වැඩිපුර වැඩ ගන්නවා නම් අතිකාල ගෙවීම් කළ යුතු වීම, කාන්තාවකට වැටුප් ලබමින් ප්‍රසූත නිවාඩු ලබන්න තියෙන හැකියාව, ළමයින් යෙදවීමට නොහැකි වීම, වැඩකරන ජනතාවට නිවාඩු දීම අනිවාර්ය බව ආදියඑක රැයින් ආ ජයග්‍රහණ නෙවෙයි.
මේ අයිතීන් දශක ගණන්වල සටන්වලින් වෘත්තිය සමිති සහ වැඩකරන ජනතාව දිනූ අයිතීන්.
දැන් පහුගිය කාලෙ ආපු අලුත් කම්කරු ඇමතිට ඕනෑ ලු ආයෝජකයන්ට හිතවත් කම්කරු නීති. ආයෝජකයන් කියනවාලු ලිහිල් කම්කරු නීති.
මට ඕනෑ මේක සරලව තේරුම් කරන්න.
මම කලින් කීවා වගේ කම්කරු නීති පැවතීම සඳහා අරමුණු කිහිපයක් තියෙනවා.
කම්කරු නීති පවතින්නේම කම්කරුවන්ට ආරක්ෂාව සපයන්න. කාගෙන් ආරක්ෂාව සපයන්නද? හාම්පුතුන් විසින් සිදුකරන සූරාකෑමෙන් ආරක්ෂා කරන්නයි කම්කරු නීති ඕනෑ.
හාම්පුතුන් තමයි සූරාකන්නේ. කම්කරු නීති තිබෙන්නේ කම්කරුවන්ට ආරක්ෂා කරන්න.
සූරාකෑමේ යෙදෙන හාම්පුතුන්ගේ වුවමනාවට නීති ගේනවා නම්, ඒවා කම්කරු නීති නෙවෙයි.
ඒවා ට හාම්පුත්න්ගේ නීති කියන්න පුළුවන්. සමාගම් නීති කියන්න පුළුවන්. හැබැයි ඒවා කම්කරු නීති නෙවෙයි.
පහුගිය සති තුන හතරේ ඇමතිවරයා විසින් ලොකු විශාල සංදර්ශනයක් කළා අදහස් ලබාගැනීම් කියලා.
දැන් එක් එක් ක්ෂේත්‍රවල හාම්පුතුන්ගේ සංවිධාන වගේම නීතිඥ සංගමය පවා එකිනෙකට හරිම සමාන යෝජනා වලියක් හරිම පුදුම හිතෙන විදියට ඉදිරිපත් කරලා තියෙනවා, මේ අදහස් ලබාගැනීම්යැයි කියාගත් ක්‍රියාවලියට.
ඔවුන් කියනවා හාම්පුතන්ට හිතුමතේට අස් කරන්න බලය ඕනෑලු. හාම්පුතුන්ට අයිතිය ඕනෑලු ඕනෑ හැටියට වැඩ කරන පැය ගණන තීන්දු කරන්නට.
ඒ කියන්නේ ඔවුන්ට ඕනෑ රාජ්‍ය මැදිහත්වීමක් නැතිව, කම්කරුවා පැය අටක් වැඩ කරනවාද, පැය 15ක් වැඩ කරනවාද කියා තීන්දු කරන්න බලය.
කාන්තාවන්ට රාත්‍රිය් වැඩ කරන්න ‘සමාන අයිතිය‘ ඕනෑලු. හැබැයි සමාන අයිතියයැයි කීමේදී ඔවුන් නොකියා හංගන දේ තමයි කාන්තාවන්ට අවදානමක් වන, ලිංගික හිංසනය සහ අනෙකුත් පීඩාවන්ට ලක් නොවී ආරක්ෂා කාරීව සේවයේ යෙදෙන්නට තියෙන නීති ඉවත් කරන බව.
ඔවුන් කියනවා වැටුප් තීන්දු කරන නිදහස හාම්පුතුන්ට ඕනෑලු.
ඔබ හාම්පුතුන් කියන දේ සලකා බැලුවොත්, මූලිකව ඔවුන් කියන්නේ මේකයි.
අපට ඕනෑ ගැහැණුන්ව හූරගෙන කන්න බලය. අපට ඕනෑ මුදල් ගෙවන්නේ නැතිව ප්‍රසූති නිවාඩු ලබාදීමේ බලය. අපට බැහැ සමාජ ආරක්ෂක වගකීම්වල බර දරන්න. හාම්පුතුන්ට ඕනෑ හිතුමතේට වැඩ කරන පැය ගණන තීන්දු කරන්න.
අපි අද එකතුවෙලා ඉන්නේ වැඩකරන ජනතාවගෙන් වගේම සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලන්නට, කල්පනා කරලා බලන්න, අර්බුද සමයන් පසුකරමින් වැඩ කරපු මිනිස්සුන්ට මේ කරන දේ ගැන. කොවිඩ් අර්බුදය, ආර්ථික අර්බුදය මැද වැඩ කරමින් රට පවත්වාගෙන ගිය වැඩකරන ජනතාව සතු අයිතීන් සූරා කන්නට ආණ්ඩුවට සහ හාම්පුතුන්ට ඉඩ දෙන්න එපා.
වැඩකරන ජනතාව සූරාකෑමේ නිදහස හාම්පුතුන්ට දෙන්න එපා.
ගොඩක් අතීතෙක නෙවෙයි, 1884 දී තමයි වහල් ක්‍රමය ලංකාවේ ඉවත් කළේ. මේ නීති සම්මත වෙන්නට ඉඩ හැරියොත්, අප මේ ඉඩ හරින්නේ වහල් ක්‍රමයට සමාන තත්වයන් ඇති කරන්නට.
2021 දී නවීන වහල් ක්‍රමවලට එරෙහි විශේෂ වාර්තාකරු මෙරටට ඇවිත් කීවා, මෙරට පවතින නීති ක්‍රියාත්මක නොකරන නිසා වහල් ක්‍රමයට සමාන තත්වයන් දැනටමත් තියෙනවා.
ඒ දැනට තියෙන නීති පවා හරිහැටි ක්‍රියාත්මක නොකරන නිසා.
දැන් තියෙන නීති ක්‍රියාත්මක නොවන්නේ ඇයිදැයි හොයන්නේත් නැතිව, හාම්පුතුන්ට ඕනෑ වැඩකරන ජනතාවගේ තියෙන ආරක්ෂාවන් පවා ඉවත් කරලා, නැවත වහල් යුගයට යන්න.
අපි හාම්පුතුන්ගේ අභිමතයට සමහර දේවල් ඉඩ හැරියාම වෙන දේ මා කියන්නම්. අවුරුදු ගණනක් තිස්සේ වෘත්තිය සමිති මෙරට අවම වැටුප 16,000 සිට අඩු තරමේ 26,000 දක්වා වැඩි කරන්නට සටන් කරනවා. හරි නම් මේ කාලයේ 40,000වත් වෙන්න ඕනෑ.
එහෙත් දිගින් දිගටම හාම්පුතුන්ගේ බලපෑම නිසා ජාතික අවම වැටුප සතයකින්වත් වසර ගණනක් තිස්සේ වැඩි වුණේ නෑ.
වැටුප කුමක්ද කියා නිදහස් කිරීමේ බලය හාම්පුතුන්ට පැවරුවාම මේකයි සිද්ධ වෙන්නේ.
ආණ්ඩුව ආයෝජකයන්ට සුභවාදී නීති ඕනෑ ඇමතිවරයා දිගටම කියන නිසා, මම 2018 දී එළියට ආ හාවඩ් වාර්තාවක් උපුටා දක්වන්නම්. මෙම වාර්තාව පැහැදිලිව කියනවා අපේ කම්කරු නීති ආයෝජන සඳහා බාධාවක් නොවන බව.
ඒ වගේම, තමන් ආචාරධාර්මිකව සේවාවන්හි යොදවන බව තමන්ව ප්‍රවර්නය කරන්නට කැමති ආයෝජකයන් ලංකාවට පැමිණීමේ වැඩි ඉඩක් තියෙනවා කම්කරු නීති ශක්තිමත් නම්.
ආණ්ඩුව හාම්පුතුන්ගේ වුවමනාවට තමයි වහල් යුගයට රට ගෙනියන නීති ඇති කරන්නේ. මම මෙම සාකච්ඡාව අසා සිටින හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා ශක්තිමත් කම්කරු නීති වෙනුවෙන් සහ පවතින නීති ක්‍රියාත්මක කරවාගැනීම වෙනුවෙන් සටන් කරන සංවිධාන එක්ක හිටගන්න කියා.
දුර්වල වහල් නීති ගෙනල්ලා, වහල් යුගයට ගෙනියන්න උත්සාහ කරද්දී මේ වෙලාවේ සටන් කරන වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එක්ක හිටගන්න කියා ආරාධනා කරනවා. ්‍්
කාන්තාවන් දරුවන් ලබන එක තීන්දු කරන්නේත් හාම්පුතුන්! මේක අමානුෂික තත්වයක් – අශිලා දන්දෙණිය, ස්ටෑනඩ් අප් සේවක සංගමය

මම විශේෂයෙන් කතා කරන්න කැමතියි කාන්තාවන්ට, ශ්‍රමය වගුරන කාන්තාවන්ට මේ කම්කරු නීති සංශෝධනය කොච්චර බලපානවාද කියලා.
අපි දන්නවා රටේ ආර්ථිකයට කාන්තාවන් දක්වන දායකත්වය.
ආර්ථිකය රඳා පවතින ප්‍රධාන ක්ෂේත්‍ර තුනෙහි සේවකයන් අතරින් වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ කාන්තාවන්.
මේ වෙනකොටත් පවතින නීති ඇතුළේ, යම් ප්‍රගතිශීලී නීති රාමුවක් ඇතුළේ පවා බරපතල විදියට කාන්තාවන් හිංසනයට, සූරාකෑමට ලක් වෙනවා.
එන්න නියමිත නීති සංශෝධන ඇතුළේ ඔවුන්ගේ සම්පූර්ණ ජීවිතය අනාරක්ෂිතභාවයකට පත් කරපු, තවදුරටත් සූරාකන තත්වයක් තමයි ඇති කරනවා..
කාන්තාවන්ට බලපාන ප්‍රධාන නීතියක් තමයි ප්‍රසූත නිවාඩු සම්බන්ධ නීතිය. දැන් ප්‍රසූත නිවාඩු දීර්ඝ කරන අයිතිය හාම්පුතුන්ට දෙනවා.
ඇත්තටම දැන් කාන්තාවන් දරුවන් ලබනවාද කියලාත් තීන්දු කරන්නේ හාම්පුතුන්. මේක අමානුෂික තත්වයක්.
දැන් කාන්තාවන් රාත්‍රී සේවයේ යොදවද්දී කොන්දේසි යොදවලා තියෙනවා. ඒ කොන්දේසි ඇතුළේ පවා වැඩ කරද්දී බාධා තියෙනවා. වැඩ කරන කිසිම කාන්තාවක් නැහැ වාචික, මානසික, ශාරීරික හිංසනයට ලක් වෙලා නැති. නීති ඇතිවත් තත්වය එසේ නම් නීති නැති වුණොත් වෙන්නේ මොකක්ද කියලා අපට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.
පහුගිය කාල වකවානුව තුළත් සියලු කොන්දේසි, ප්‍රතිපත්තති ඇතුළේ පාලකයන් කළේ තවදුරටත් දවසින් දවස කම්කරුවන් සූරාකන්න රාමු සකස් කරගත්ත එක.
අපි දන්නවා කොවිඩ් තත්වය ඇතුළේ සමාජ දූරස්ථභාවය පවත්වාගෙන යෑම වගේ සීමා මැද ඔවුන් තමන්ගේ ආදායම තර කරගත්තේ කියලා. ප්‍රඩක්ෂන් ලයින් එකක සේවකයන් 25 දෙනෙකුගෙන් ගත්ත නිෂ්පාදනයම සමාජ දූරස්ථභාවය ආරක්ෂා කරගන්නට සේවකයන් 10 පමණක් යොදවමින්, ගත්තා.
දැන්, මෙතෙක් අනීතිකව ගෙනිච්ච එවැනි ක්‍රමවේද රටේ නීතිය බවට පත් කරන්නයි උත්සාහ කරන්නේ.
සේවකයන්, වැඩකරන ජනතාවගේ ජීවිත බරපතල අවදානමකට ලක් කරන නීති තමයි මේ සකස් වෙමින් පවතින්නේ. වෘත්තිය සමිති, බහුජන සංවිධාන හැටියට අපි මේ කෙටුම්පත් කරන නීති රාමුවට විරෝධය ප්‍රකාශ කරනවා.
සමස්ත කම්කරුවන්ව පාරට ගෙනල්ලා මනූෂ නානායක්කාරගේ විගඩමට එරෙහිව වැඩ කරනවා – ජේ.බී. ගුරුසිංහ, ශ්‍රී ලංකා විදුලි සංදේශ සියලු සේවක සංගමයේ සභාපති

වහාම මේ කම්කරු නීති සංශෝධනය කරන උත්සාහය අත්හිටුවන්න කියල ඉල්ලීම අපි කරනවා. මේ රටේ ආර්ථිකය හැකිළෙමින් තියෙනවා. අපි දකිනවා කම්කරු නීති සංශෝධනයක් ගේන්නේ ඇයි කියලා.
මේ ආර්ථික හැකිළීම එක්ක බොහෝ සේවකයන්ගේ රැකියා අහිමි වීමට නියමිතයි දැනටත් ලක්ෂ පහක පමණ සේවකයනට රැකියා අහිමිවෙලා තියෙනවා..
කඩාවැටෙන ආයතනවල සේවකයන් නිකම්ම ගෙදර යවන්න තමයි කම්කරු නීති සංශෝධනය කරමින් කටයුතු කරන්න.
ආර්ථික කඩාවැටීමට වගකියන්න ඕනෑ කම්කරු පන්තිය නෙවෙයි. හැත්තෑ ගණනක් රට පාලනය කරපු පාලකයන්.
ඒ පාලකයන් අද මේ රට විනාශ කරලා සියලු පීඩනයන් කම්කරු පංතිය මත පැටවීමේ ක්‍රියාවේ තවත් අංගයක් හැටියට මේ නීති සංශෝධනය ගේනවා.
මනූෂ නානායක්කාර කියන රනිල් ආපු ගමන් පැරෂුට්වලින් පැමිණි ඇමතිවරයා බොහොම සරලව කියනවා මේ කම්කරු නීති ආයෝජකයන්ට ලංකාවට පැමිණීම සඳහා ලිහිල් කරන්න ඕනෑ කියලා.
අපි මනූෂ නානායක්කාරට කියනවා, ආයෝජකයන් ලංකාවට එන්නේ නැත්තේ කම්කරු නීති තියෙන නිසා නෙවෙයි. මේ රටේ දේශපාලන බල පුලුවන්කාරකම් කරන පුද්ගලයන් විසින්, දේශපාලනඥයන් විසින්එන ආයොජකයන්ගෙන් කප්පම් ගන්න උත්සාහ කරන නිසා.
අපි දැක්කා කටාන කර්මාන්තශාලීවකට ගිහින් මෑතකදී මොනවාද කළේ කියා.
කම්කරු පංතිය හල්ලු කරන්න ගේන නීතිවලට අපි ඉඩක් දෙන්නෙ නෑ. මේ නීතිවලින් වෙන්නේ සමස්ත කම්කරුවන් වහලුන් තත්වයට පත් කිරීයි.
ජාත්‍යන්තරව පිළිඅරන් තියෙනවා සේවකයෙකුගේ දෛනික සේවා කාලය පැය අටයි කියලා. මනූෂ නානායක්කාර මේක දන්නේ නෑ.
මනූෂ ගේන්න හදන සංශෝධනවලට ඇතුළත් වෙන්නේ, පැය 12ක වැඩ මුරයක්. අපි කියනවා ජාත්‍යන්තර කම්කරු නීති පවා උල්ලංඝනය කරමින් එන්න යන කම්කරු නීති සංශෝධනය වහා හකුළාගත යුතුයි.
එසේ නොවන්නට, සමස්ත කම්කරුවන්ව පාරට ගෙනල්ලා මනූෂ නානායක්කාරගේ විගඩමට එරෙහිව වැඩ කරනවා කියලා පැහැදිලිව කියනවා.
දැන් ගෙනල්ලා තියෙන්නේ මනූෂ නානායක්කාරගේ එක එළියට දාලා නෑ. දැන් හාම්පුතුන්ගේ සංවිධානය තමයි යෝජනා ඉදිරිපත් කරන්නේ. උගුඩුවාට කුකුල් කොටුව බාරදුන්නා වගේ වැඩක් මේක. කම්කරු නීතිවලට යෝජනා ගන්නේ හාම්පුත්න්ගෙන්.
මේ විදියට තමයි දේවල් සිද්ධවෙමින් තියෙන්නේ.
අපි පැහැදිලිව කියනවා වහාම කම්කරු නීති සංශෝධන හකුළාගන්න. ඉදිරියේදී ආයතන විකිණීම හරහාත් සේවකයන් එළියට වැටෙන්න නියමිතයි. සේවකයන්ට රැකියා අවස්ථා නොලැබී යනවා..
අතිවිශාල රැකියා අවස්ථා නොලැබී යාමත්, රැකියාවලින් දොට්ට දැමීමට සේවකයන් සිටීමත්, කිසිදු වන්දියක් නැතිව සේවකයන් ආයතනවලින් එළියට දැමීමත් මේ ක්‍රියාවලියට ඇතුළත්.
කාන්තාවන්, ළමයින් වහලුන් වාගේ සුළු වැටුපට වැඩ ගැනීම. සේවකයෙක් ජීවත් වෙන්න රැකියා එකක් නෙවෙයි, මෑන්පවර් රැකියා දෙකතුනකට යොමු කිරීම මේක ඇතුළේ තියෙන පරමාර්ථයක්.
මේ රටේකම්කරු නීතිවලත් කම්කරුවන්ට ආරක්ෂාව සපයාගන්න බැරි තත්වයක් තියෙන්නේ.
ටෙලිකොම්, විදුලිබල මණ්ඩලය, ජාතික ඉතිරිකිරීම් බැංකුව වගේ ආයතනවල මෑන්පවර් සේවයේ දසදහස් ගණනාවක් සේවයේ යෙදෙව්වා. එයින් මිදෙන්න වසර දහයක් පහළොවක් අපට සටන් කරන්න වුනා. ඒ තරම් දුර්වල නීති තමයි මේ රටේ තියෙන්නේ.
ඒ නීති තවත් දුර්වල කිරීම තුළ කම්කරුවා තවත් වහලෙක් වෙනවා පමණයි. මේක සමස්ත සමාජයේ කඩාවැටීමට හේතු වෙනවා.
මෙයට විරුද්ධව සමස්ත කම්කරු පන්තිය පාරට ගෙන්වාගන්නේ නැතිව වහාම අකුළාගන්න කියලා අපි වෘත්තිය සමිති විදියට දැනුම් දෙනවා..
ශ්‍රම කොල්ලය අලුත් වටයකින් ගන්න රනිල් වික්‍රමසිංහට අපි ඉඩ තියන්නෑ
චින්තක රාජපක්ෂ – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

මේ යෝජනා වෙමින් තිබෙන කම්කරු නීති සංශෝධනය, සංශෝධනය කරන්න නියමිත සියලු කම්කරු නීති ආරක්ෂා කරන්නට කරන්නා වූ සමස්ත අරගලයකට දායක වෙනවා. එම අරගලය ඉදිරියට නෙයෑමට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා.
අපට පේනවා මේ හැදෙමින් තියෙන තත්වය. රනිල් වික්‍රමසිංහ ඉතා පැහැදිලිව ඔහු වගකියන කිසිවෙක් නෑ.
ඔහු වගකියමින් ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත්, ලෝක බැංකුව වැනි ආයතනවලටත්, ව්‍යාපාරිකයන්ටත්, ආයෝජන නමින් කුමන රටකින් හෝ ආයෝජකයෙක් එන්න ඉන්නවා නම් ඔවුන්ටත් විතරයි.
රනිල් ඉතා නිදහසේ මේ වෙලාවේ ඔවුන්ට අවශ්‍ය වෙන දිගුකාලීන ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණවලට ගමන් කරමින් ඉන්නවා.
මේක බරපතල තත්වයක්.
අපි කියනවා ඔබට කසිම සුජාතභාවයක් නෑ මේ ආණඩුව පවත්වාගෙන යන්නත්, මේ සියලු සංශෝධනයන් ගෙන එන්නටත්.
ඔහුට ජනවරමක් නෑ. ජනවරමක් නැතිව, පාර්ලිමේන්තුවේ පත් වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් බලය අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීමට කටයුතු කරමින් තියෙනවා. මේක බියකරු තත්වයක් වගේම අනාගතය ගැන බරපතල තත්වයක්.
අපි දකිනවා රනිල් වික්‍රමසංහ ඉදිරි අවුරුදු 10-20 අවශ්‍ය වෙන ප්‍රතිසංස්කරණය කරමින් සිටින බව.
අයිඑම්එෆ් ගිවිසුම හරහා බදු සංශෝධනයන්ට ගියේ ඒකයි. විදුලි, ජල බිල් ඉහළ දැම්මේ ඒකයි. ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණන්න සැලසුම් කරන්නේ ඒකයි.
දැන් කම්කරු නීති වෙනස් කරන්න නැවතත් අත දාලා. ඔහුට මේ නීති වෙනස් කිරීම හරි වැදගත්. ඔහුට විතරක් නෙවෙයි. ඔහු පසුපස ඉන්න ව්‍යාපාරිකයන්ට සහ පංතියට මේක අවශයයි.
රනිල්ට කියන්න ඕනෑ කාරණයක් තියෙනවා.
රනිල් වගකියන්න, මේ රටේ දේශපාලන පක්ෂයක්, ව්‍යාපාරයක් හා ජනතාවක් නැතිකම නිසා මේ කරමින් ඉන්න විනාශය සහ අනාගතයේ තියෙන බරපතල ඛේදවාචකය එක්ක ප්‍රතිඵලයට භුක්ති විඳින්න වෙන්නේ අපි හැමෝටම.
අපි 2018 – 19 වකවානුවේ 1000 ව්‍යාපාරය විදියට කම්කරුවාගේ දෛනික වැටුප වැඩි කරන්න කීවාම, කනිෂ්ක වීරසිංහලා දෙන්න බෑ කිව්වා. අපි අරගල කරලා තමයි රුපියල් 1000 වැඩි කරලා තියෙන්නේ. එහෙම වැඩි කරපු රුපියල් දාහත් අද වතු කම්කරුවාගේ අතට ලැබෙන්නේ නෑ. ඒ වගේමම සමාගම් බලපෑම් කරමින් ඉන්නවා මේ පඩිපාලක සභාව අහෝසි කරවාගැනීම සඳහා. ඒ
මේ රටේ ආර්ථික කොදු නාරටිය විදියට. වෙළඳ කලාප සහ වතු කම්කරුවන් කොවිඩ් කාලයේත් ආර්ථිකය ගෙනිච්චා.. ශ්‍රමය කුණුකොල්ලයට සූරාකෑමට අලුත් වටයකින් රනිල් රාජපක්ෂ දරණ උත්සාහය පරාජය කළ යුතුයි. ඒ සඳහා සියලු ජනතාවටත්, සියලු රාජය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සහෝදර සහෝදරියන්ටත්, රටේ අනාගතය ගැන හිතන සියලු දෙනාටත් ආරාධනා කරනවා සාකච්ඡා වටයේදීම මේ ප්‍රයත්නය පරාජය කරමු කියලා..
රනිල්ට ඉදිරි අවුරුදු 20ක් සඳහා ආර්තික-දේශපාලන තත්වය හැඩගැස්වීම සඳහා අපි ඉඩ දෙන්නේ නෑ.