මහින්ද දිවුරුම් දෙන කතන්දරේ!

එකපාරම අපට ආරංචියක් ආවා. ‘හෙට උදේ 10.02ට මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙනවා. නැකත ඒක.‘

මහින්ද දිවුරුම් දෙනවාද, නැද්ද කියලා පහුගිය දවස්වල ගිය කතාවලින් පසු යම්කිසි විධිමත් කතාවක් විදියට ආවේ ඔය කතාව තමයි.

අපිත් ඉතින් කතාව ගැන විස්තර දැනගන්නට එහෙට මෙහෙට කෝල් කරන්න ගත්තා. එක එක අය විවිධ පැතිවල කතා කීවා. හැබැයි අපට විවෘතව සඳහන් කරන්න පුළුවන් මූලාශ්‍රයක් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්. ඔහු කියන්නේ, මහින්ද රාජපක්ෂ අගමැතිකම ගන්නේ නැහැ කියලයි.

කොහොමහරි අපට අහන්න ලැබුණ ප්‍රවණතා ටික මේවායි.

01. මහින්දට ඕනෑ දේශපාලනයෙන් ලොකු සංදර්ශනයක් විදියට විශ්‍රාම අරන් අනුප්‍රාප්තිකයෙක්ට පොහොට්ටුව බාර දෙන්න. ඊට කලින් අගමැතිකම මාස හයකට ඉල්ලනවා.

02. රනිල් වික්‍රමසිංහ මහින්දව පත් කරන්න කැමති නෑ. රනිල් මහින්ද පාර්ශ්වයට කියනවා දිනේෂ්ව කැමති කරවන්න කියලා.

03. දිනේෂ් ගුණවර්ධන ඉල්ලා අස්වෙන්න කැමති නැහැ.

04. 10.02ට නැකත මහින්දනාගේ පැත්තෙන් හැදුවා කියලා එක මූලාශ්‍රයක් කියද්දී, තව මූලාශ්‍රයක් කීවේ ඒ නැකත මීඩියාවලට ලීක් කළේ රනිල් පාර්ශ්වයෙන් බව. එතකොට විරෝධයක් හැදෙන නිසා.

05. මහින්දට අගමැතිකම නෙවෙයි, පොහොට්ටුවේ පිරිසකට ඇමතිකමුත් ඉල්ලලා තියෙනවා. ඇමතිකම් නොලැබෙන තෙක් පොහොට්ටුවේ සමහර ප්‍රබලයන් ආණ්ඩු පක්ෂ රැස්වීම්වලට යන්නේත් නෑ. ඒ වගේම ඉදිරියේදී ඔවුන් විපක්ෂයේ ඉඳගන්නවා කියලාත්, තැන් කිහිපයක කියා තියෙනවා. මේ බව ඉරිදා ලංකාදීප වාර්තා කරලාත් තියෙනවා.

06. නාමල් රාජපක්ෂ ඇතුළු යම් පිරිසක් ඉන්නේත් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕනෑ කියන මතයේ. හැබැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් අපි ෆෝන් එකෙන් විමසුවාට පස්සේ, නිල ප්‍රකාශයක් විදියට කීවේ ආණ්ඩුවෙන් අයින් වෙන්න දැනට තීන්දු කරලා නැහැ කියලයි. එහෙම තීන්දුවක් ඉදිරියේ ගනීවිද කියලා දැන්ම කියන්නට බැරි බව ඔහු කීවා.

අපට සීයට සීයක්ම, කියන්න බැහැ මහින්ද අගමැති වෙන ප්‍රවෘත්තිය ඇත්තද, නැත්තද කියලා. මේ වගේ දේවල් සිද්ධ වෙනතුරු දේශපාලනයේ තිරය පසුපස සාකච්ඡා වශයෙන් පවතිනවා.

අපි මේ වගේ ප්‍රවෘත්තිවලදී අනුගමනය කරන අංක එකේ ප්‍රතිපත්තිය තමයි, හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එළියේ කියන එක. මහින්ද දිවුරුම් දෙනවාද, නැද්ද කියන එක අනාගතයේදී දැනගන්න පුළුවන්.

මෙතැන 10.02ට නැකතත් තියෙනවා කියන කතාව ප්‍රචාරය කළේ ඇත්තටම මහින්දලාගේ පැත්තෙන් නෙවෙයි, රනිල්ලාගේ පැත්තෙන්. ඒකට හේතුව, පොහොට්ටු පාර්ශ්වය තුළ මහින්ද අගමැති වෙන කතාව ස්ථාවර වෙන්නට නොදී, මහින්ද අගමැති වෙන්නට කලින් සමාජ විරෝධයක් හදවන්න අවශ්‍ය නිසා.

හැබැයි රනිල්ලා මේ කතා ප්‍රචාරය කරවමින්, මහින්ද රාජපක්ෂව නිකං පීචං කරනවා. හමුදාව රට වටේ දාලා අගමැති වෙන්න යනවා, මිනිස්සුන්ගෙ විරෝධය මැද අගමැති වෙන්න යනවා, හොර පාරෙන් අගමැති වෙන්න යනවා වගේ කතා මේ වෙලාවෙ පොහොට්ටුවට ලැජ්ජා හිතෙන කතන්දර. මහින්දගේ මන්ත්‍රී කණ්ඩායම එක්ක ආණ්ඩුවක් කරන අතරේම, මහින්දට ලැජ්ජා කරන එක ක්ලැසික් රනිල් වික්‍රමසිංහ ස්ටයිල් වැඩක්. ඕක මෛත්‍රීපාල සිරිසේනටත් රනිල් වික්‍රමසිංහ කළා.

අපි නම් හිතන්නේ මේ ආණ්ඩුව පවතිනවා නම් මහින්ද අගමැතිකම ඉල්ලන එකේ කොහොමත් වරදක් නෑ. රෝහිත අබේගුණවර්ධන හෝ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිකමක ඉන්න එකේ වරදක් නෑ. එයාලාගෙ පැත්තෙන්.

මොකද, අගමැතිකමක ඇමතිකමක දිනේෂ් හිටියත්, මහින්ද හිටියත් තවමත් ඉන්නේ පෙර ආණ්ඩුවේම දිගුවක් බව අපි දන්නවා. මේ ආණ්ඩුව ජනතා විරෝධී, පරාජය කළ යුතු ආණ්ඩුවක් බව අපි දන්නවා. මහින්දට ඇමතිකම් නොදී, මහින්දලාගේ පාර්ශ්වය එක්ක කරන ආණ්ඩුවක මහලොකු වෙනසක් අපට පේන්නේ නෑ.

අනෙක, මහින්දලාගෙ පාර්ලිමේන්තු ඡන්ද ටික තියාගෙන, මහින්දලාටම පුප්පන්න රනිල්ට කොහොමත් අයිතියක් නෑ. රනිල්ට කියලා පිරිසක් ඇත්තෙත් නෑ. ඉතින්, අභ්‍යන්තර බල තුලනය පැත්තෙන්, මහින්දලා සහ ජොන්ස්ටන්ලා තමන්ගෙ කොටහක් ඉල්ලන එක සාධාරණයි. අපි කොහොමත් ඔය හැමෝටම විරුද්ධයි.

එකක් පැහැදිලියි. එක්කෝ මහින්ද දිවුරුම් දීලා, පොහොට්ටුවේ නැත්නම් ආණ්ඩුව දෙදරනවා. ආණ්ඩුවක දෙදරීම කල් තියා දකින්නට තරම් අත්දැකීම් පසුගිය වසර ගණනාවක් තිස්සේ දේශපාලනය රිපෝට් කරපු අපට තියෙනවා. 2014 රාජපක්ෂ ආණ්ඩුව තුළ චම්පික, මුස්ලිම් කොංග්‍රස්, රාජිත හා මෛත්‍රී ඇතුළු පාර්ශ්වවල පුපුරායෑම කලින් ඉඳලාම අපි දැක්කා. 2015 ආණ්ඩුව රනිල්-මෛත්‍රී පිපිරීම අපි දැක්කා. ගෝඨා ආණ්ඩුවේ පිපිරිම් මුලින්ම අපි රිපෝට් කළා මතක ඇති. ඉතින්, අපට රනිල් ආණ්ඩුවේ සුන්දර මල් සමය අවසන් වෙමින්, දෙදරීම් සහ පිපිරීම් වර්ධනය වෙන අඳුරු කාලයක් උදා වෙන බව පේනවා. ‘ආණ්ඩුව දෙදරයි‘ කියලා අපි දැන්ම කියන්නේ නෑ. හැබැයි, අපේ මේ යූටියුබ් නාළිකාවෙන් ‘ආණ්ඩුව දෙදරයි‘ කියන තම්බ්නේල් එක දාපු වීඩියෝව ළඟදීම ඒවි කියලා තමයි මේ හමන හුළං දැක්කාම හැඟෙන්නේ.

අපි අර කලින් සඳහන් කළ පොහොට්ටුවේ ඇමතිකම් ප්‍රවෘත්තිය ගැන අවධානය යොමු කරමු.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිකම් අපේක්ෂාවෙන් හිටපු ජ්‍යෙෂ්ඨයන් 10ක් විතර විපක්ෂයේ ගිහින් ඉඳගන්නට සාකච්ඡා කරපු බව ඉරිදා ලංකාදීපය වාර්තා කරලා තිබුණා.

ඒ ප්‍රවෘත්තිය අනුව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් 10 දෙනෙක් විතර පාර්ලිමේන්තුවේදී මේ ගැන කතා කරලා තියෙනවා.

විපක්ෂයේ ඉඳගෙන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම කටයුතු කරනවා කියලා තමයි ලංකාදීපය ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක්ව උපුටා දක්වමින් වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ රැස්වීම්වලටත් මේ අය යන්නේ නැහැලු. පහුගිය කාලයේ තිබුණ ආණ්ඩු පක්ෂ රැස්වීම්වලටත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සහභාගී වෙලා තිබුණේ නෑ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිකම් දෙන්න කියලා නියම චේච ලොකු ලැයිස්තුවක් පහුගිය කාලයක් තිස්සේ අපි දැනගෙන හිටියා. ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.බී. දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ, සරත් වීරසේකර සහ විමලවීර දිසානායක කියන අයගේ නම් මේ අතර තිබුණා.

ඒත්, දිගටම මේ අයට ඇමතිකම් දෙන එක ප්‍රමාද වුණේ, මේ අයට ඇමතිකම් දුන්නොත් ආණ්ඩුව ‘රට හදනවා‘ වගේ බයිලා කතාන්දරවලින් ලංකාවේ මිනිස්සුන්ව අන්දන්නට ගන්න උත්සාහය හෙළිදරව් වෙලා, සම්පූර්ණයෙන් නිරුවත් වේවි කියලා රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් හිතන නිසා. රනිල් වික්‍රමසිංහ දන්නේ නෑ එයා දැනටමත් හෙලුවෙන් කියලා. රටේ ජනතාව පාරට නොබැස්සාට ඇන්දිලා නැති බවත්, ඔය අයට ඇමතිකම් දුන්නත් නැතත්, මහින්දට අගමැතිකම දුන්නත් නැතත් එයාලාට රෙදි නැති බව රනිල් වික්‍රමසිංහ දන්නේ නෑ.