බුද්ධි අංශ ජෝක් කරමින් කොළඹට ආරක්ෂාව දැම්මේ ඇයි?

ඔබ දකින්න ඇති කොළඹ විශ්ව විද්‍යාලයෙන් ‘රජයට එරෙහිව විරෝධතා පවත්වමින් කැරළිකාර ආකාරයෙන්‘ හැසිරෙන්න උත්සාහ කළ බවට බුද්ධි අංශ වාර්තාවක් ලැබිච්ච නිසා, කොළඹ අවට ආරක්ෂාව තර කළා කියලා ප්‍රවෘත්තියක් මාධ්‍යවල පළ කළා. හැමෝම දැන් හිනාවෙනවා, යකෝ කොළඹ විශ්වවිද්‍යාලෙ කැරලි ගහන්නෙ කවුද කියලා.

පසුව විශේෂ සිදුවීමක් අපට දකින්න ලැබුණා. ඒ රනිල් වික්‍රමසිංහට කොළඹ විශ්වවිද්‍යාලයෙන් මොකක්දෝ පිරිනමන උත්සවයක්. ඒ උත්සවේදී රනිල්ට හූ කියාවි කියන බයට මේ වගේ මගුලක් කළාය කියන එක අලුත් තියරියක්.

කුමන අරමුණක් තිබුණත්, ආණ්ඩුව හිතනවාද මේ බුද්ධි වාර්තාව ඇත්ත කියලා මේ රටේ එක ස්වාධීන පුරවැසියෙක් පිළිගනීවි කියලා? මොකද, කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළේ රජයට එරෙහිව තියා ඒ විශ්වවිද්‍යාලෙ ඇතුළෙ ප්‍රශ්නෙකටවත් හරියට දැවැන්ත ගේමක් ගහගන්න පුළුවන්කමක් තියෙන ශක්තිමත් සහ සංවිධානාත්මක ශිෂ්‍ය ව්‍යාපාරයක් නෑ. සමහරු කොළඹට කියන්නේ තුම්මුල්ලේ මොන්ටිසෝරිය වගේ කතා.

‘බුද්ධි අංශ ළමයෙක්ට දීපං‘ කියලා බුද්ධි අංශවල රෙදි ගැලවෙන්නට අපේ සමාජය හිනාවෙන එක තමයි අන්තිමට වුණේ.

හරියට ගත්තොත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ අහවල් දවසෙ අහවල් උං ගහනවා කියලා නම් ගම් එක්ක කියලා පිට රටක ඔත්තු සේවයක් කියාදීලා තියෙද්දීත් කිසි ලබ්බක් කරගන්න බැරිවෙච්ච බුද්ධි අංශ අපතයොන්ට හිනා වෙන්න ඕනෑ බව ජනතාවට හිතෙනවා ඇති.

හැබැයි පාස්කු ප්‍රහාරයේදී වගේම, මේ කොළඹ සිසුන් රාජ්‍ය විරෝධී කැරැල්ලක් ගහනවාය කියන වැරදි බුද්ධි තොරතුරේත් සැබෑ අරමුණ වෙන එකක් නම්. හුදෙක් ඒ බුද්ධි තොරතුරෙන් එහා ගිය යටි අරමුණක් තියෙනවා නම්. වෙන ගේමක් තියෙනවා නම්. එහෙනම් අපි පරෙස්සං වෙන්න ඕනෑ.

අපේ රටේ බුද්ධි අංශවල ප්‍රශ්නය මෝඩකමද? රටේ මිනිස්සු දෙසිය ගණන් නෙවෙයි දහස් ගණන් මැරිලා ගියත්, පාලකයන්ට කඹුරන බුද්ධි අංශ කියන සංකල්පයම පාවාදෙන ලැජ්ජා නැති වහල්කමද? තවදුරටත් මේ රාජ්‍යය ආරක්ෂා කරන බුද්ධි අංශ කියලා එකක් නෑ. රාජ්‍යයක් හැදිලා තියෙන්නේ භූමිය, ජනතාව, ආණ්ඩුව සහ ස්වෛරීත්වය කියන හතරෙන්. ලංකාවෙ බුද්ධි අංශ අද රකින්නේ ආණ්ඩුව කියන එකෙනුත්, ආණ්ඩු බලයේ ඉන්න දේශපාලුවන් කිහිපදෙනෙක්ව විතරයි.

ඉතින්, අන්න ඒ අරමුණ පෙරදැරි කරගෙන බුද්ධි අංශ මේ කරපු වැඩේ මෝඩකමක් නෙවෙයි. ඊට එහා ගිය ගේමක්. අපි ඒකට අදාල වන පසුබිම පැහැදිලි කරන්නම්.

සෝෂල් මීඩියා ඔස්තාර්ලා

මාර්තු 12 වැනිදා හැන්දෑ වෙද්දී රටම කැළඹුණා. රෑ 10ට විතර එකදිගට අපේ දූරකථන නාද වුණේ මොකක්හරි විශේෂ දෙයක් ගැන ‘තොරතුරක්‘ තියෙනවාද කියල අහන්න. ඊට පස්සේ තමයි අපිත් සමාජ මාධ්‍යවලයි, පිළිගත් මාධ්‍යවලයි, අපි දන්න කියන අනෙක් මූලාශ්‍රවලයි වටයක් ගහලා බැලුවේ, මොකක්ද මේ කතන්දරේ කියලා අවබෝධ කරගන්න.

මිනිස්සු කැළඹෙන්න හේතු වෙලා තිබුණේ, ‘රතිඤ්ඤා දාන්න ලෑස්ති වෙන්න‘, ‘ඒ නිව්ස් එක ඇත්ත නම් ලොකු දෙයක්‘ වගේ කෙළින් නොවන වක්‍ර පණිවිඩ ගත්ත පෝස්ට් ටිකක්. පොඩි කලබලයක් වුණත්, ඔය වගේ මොන පැත්තටත් නැති පෝස්ට් දාන ඔස්තාර්ලා ගණනාවක් සමාජ මාධ්‍යවල ඉන්නවා. හැබැයි ඇත්තටම කිසිම තොරතුරක් ඇත්තේත් නෑ.

අපි හොයා බලද්දී නම්, යම් යම් ප්‍රවණතා කිහිපයක් පේන්න තිබුණා. හැබැයි කිසිම එකක් හදිසියේ පත්තු වෙන බවක් හරියට තහවුරු වුණේ නෑ. එහෙම එකපාර රතිඤ්ඤා පත්තු කරන්න හිතෙන හදිසි වෙනසකට වඩා එහා ගිය යටි අරමුණක් තමයි අපට නම් ආරංචි වුණේ.

පසුබිම

කොළඹ ආරක්ෂාව තද කරන්නට ක්ෂණිකව අවශ්‍ය වුණ හේතු කිහිපයකුත් තිබුණා. ඒකෙන් ආරම්භ කරපු.

එක් පැත්තකින් දැන් ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සහ අයිඑම්එෆ් නියෝජිතයන් පිරිසකගේ පැමිණීමක් තිබුණා. අයිඑම්එෆ් එක ලොකු බයකින් ඉන්නවා, රට ඇතුළේ අයිඑම්එෆ් එකට විරුද්ධව විරෝධයක් ඇති වේවි කියලා. ඒ අනුව මේ සාකච්ඡා යනතුරු යම්කිසි ‘හදිසි තත්වයක් වගේ‘ එකක් පෙන්නමින් ඉඳීවි.

හැබැයි ඊට එහා ගිය දීර්ඝකාලීන දේශපාලන පසුබිම් කතාවකුත් මෙතැන තියෙනවා.

ආණ්ඩුවේ කඩාවැටීම

ඇත්තටම මේ රට මෙතැනට ඇදලා දාපු අයගෙන් රට බේරාගන්න හිතනවා නම්, රට මෙතැනට දාපු අය කවුද, එයාලගෙ තරම මොකක්ද කියලා ජනතාවට තේරුම් ගන්න එපායැ. ඉතින්, ඒකට රාජපක්ෂලාගෙ ආණ්ඩුවක් එන්න ඕනෑ. රනිල්ගෙ ආණ්ඩුවකුත් ඊට පස්සේ එන්න ඕනෑ. ඒ ආවාම තමයි අපට ඔය හැමෝම එකයි කියලා මිනිස්සුන්ට පෙන්වාදෙන්න චාන්ස් එක ලැබෙන්නේ. අනාගත පරම්පරාව වෙනුවෙන් මේ බලවේගවලින් රට ගලවාගන්න ලැබෙන්නේ එහෙම වුණාමයි.

කොහොමහරි දැන් ආණ්ඩුව ශක්තිමත් බව පෙන්වන්න කොච්චර උත්සාහ කළත්, ආණ්ඩුව අන්තිම දුර්වලයි. ඒකට බලපාන සාධක කිහිපයක් අපි පෙන්වන්නම්.

මුලින්ම ආණ්ඩුව ඇතුළේ දේශපාලන ස්ථාවරත්වය. ඒක කඩාවැටෙන්නේ පොහොට්ටුවේ ඉවසීමේ සීමාව ඉවරවෙමින් තියෙන නිසා.

මහින්ද රාජපක්ෂ ආපහු අගමැතිකම බලාපොරොත්තු වෙනවා. මේකට පොහොට්ටුවේම සමහරු එකඟ නැතත්, පොහොට්ටුව හිතන්නේ එයාලාට ආණ්ඩු බලය නැත්නම්, එයාලා දුර්වල බලවේගයක් විදියට කඩාවැටේවි කියලයි. අගමැති වගේ තනතුරකට එයාලාට යන්න ඕනෑ ඒ නිසා.

මේ වෙද්දී අමාත්‍යධුර නොලැබිච්ච නිසා තද වෙච්ච පොහොට්ටුවේ දේශපාලුවන් 10ක විතර කණ්ඩායමක් විපක්ෂයේ ගිහින් ඉඳගන්න සැලසුම් හදමින් යනවා. මේ කරුණ ඉරිදා ලංකාදීපයේ ප්‍රධාන ප්‍රවෘත්තිය විදියට අජන්ත කුමාර අගලකඩ වාර්තා කරලා තියෙනවා. ඒ සමහර අය දැනටමත් ආණ්ඩු පක්ෂ රැස්වීම් වර්ජනය කරනවා. ආණ්ඩුව දැන් බයේ ඉන්නෙ තීරණාත්මක පනතක් දැම්මොත් සරල බහුතරයවත් නැති වේවි කියලා.

ඒ අස්සේ ආණ්ඩුවට ජාත්‍යන්තර වශයෙන් හිතූ තරම් සපෝට් එකක් ලැබෙන්නේත් නෑ. අවශ්‍ය තරමට බටහිර රටවල්වලින් විරෝධයකුත් නැති බව ඇත්ත. ඒත්, ලොකු සපෝට් එකකුත් නෑ.

රටවල් එහෙම වෙද්දී, වෙනත් සංවිධාන සහ ආයතනවලින් ආණ්ඩුවට බාල්දි වැටෙනවා. යූඑන් එකේ විශේෂ නියෝජිතයන්ගෙන්, තානාපති කාර්යාලවලින් වගේම ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර සංවිධානයෙන් පවා දැවැන්ත බලපෑමක් එල්ලවෙලා තියෙනවා දිගින් දිගටම මානව හිමිකම් කැඩීම ගැන. ඇමිනෙස්ටි ජාත්‍යන්තර සංවිධානය ඇමෙරිකාවට පවා බලපෑමක් එල්ල කළා, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කතා කළ යුතුයි කියලා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමත්, විරෝධතා පාලනය ගැන රාජ්‍ය සේවකයන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කළේ මැයි 12 වැනිදා.

ඒ අතරේ මෑත මාස කිහිපයේදී ආණ්ඩුව එකදිගට පරාජයන් ගණනාවක් ලැබුවා. බොහෝ දේවල් රිවස් කරන්න වුණා. වසන්තව හිර කරන්න හදපු ආණ්ඩුවට, අන්තිමේ වසන්ත එළියට දාන්න වුණාට පස්සේ එකක් දෙකක් ජයග්‍රහණ ආණ්ඩුව ලැබුවාට, වැඩිපුරම ඔවුන් ලැබුවේ පරාජයන්. විශේෂයෙන් අඩිය පස්සට ගන්න වුණා අවස්ථා ගණනාවකදී.

ඔබට මතක නම්, ආණ්ඩුවට අධිආරක්ෂක කලාප අකුළාගන්න වුණා.

ත්‍රස්ත විරෝධී පනත රෝල් කරලා පස්ස පැත්තේ ගහගන්න වෙන තත්වයක් තියෙන්නේ. මොකද, ඕක කවදා දාන්න හැදුවත්, අධිකරණයේ නඩු තොගයකින් වගේම විරෝධතා රැල්ලකින් ඒකට විරුද්ධ වෙනවා.

මහබැංකු පනතෙන් ශ්‍රී ලංකා මහබැංකුව කෙළින්ම මහජනතාවට වගකියන තැනින් අයින් කරලා, වෙනම එලීට් එකකට හෝටල් කාමර ඇතුළෙ කන්ට්‍රෝල් කරන්න පුළුවන් තත්වයකට තල්ලු කරන්න හැදුවා. හැබැයි, ඒ පනතත් දින නියමයක් නැතිව කල් දාන්න සිද්ධ වුණා.

අපට මඟහැරිච්ච, රනිල්ලා රිවස් කරපු යෝජනා ඔබටත් මතක ඇති.

ඒ අතරේ තවත් බොහෝ දේවල් රිවස් වෙන්න නියමිතයි. ඒවා රිවස් කරන්න තරම් දැවැන්ත බලවේග ගොඩනැගෙමින් යනවා, ආණ්ඩුව ඒවා ගේන්නත් කලින්ම. දැන් ඊපීඑෆ්/ඊටීඑෆ් දෙකට කෙළින විදියට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ආණ්ඩුව ලෑස්ති වෙනවා. ඒකට විරුද්ධ දැවැන්ත වෘත්තිය සමිති එකතුවක් දැනටමත් හදලා ඉවරයි. එකට වැඩ කරන්නෙ නෑ කියපු ජේවීපී සහ පෙරටුගාමී වෘත්තිය සමිති පවා ඒ එකතුවේ ඉන්නවා.

කම්කරු නීති සංශෝධනය එන්නත් කලින්ම පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති පෙළගැහිලා, බලාගෙන ඉන්නේ පළවැනි නිමේශයේදීම ඒක පරද්දන්න.

බොහෝ දේවල් සිද්ධවෙද්දී ආණ්ඩුව ඇත්තටම දුර්වලයි. ආණ්ඩුව, ප්‍රයිවෙට් සෙක්ටර් එකේ ව්‍යාපාරිකයන්ගේ එකමුතු සහ ඇතැම් ජාත්‍යන්තර සංවිධානවලින් සල්ලි දීලා නඩත්තු කරන කුඩා පිරිසක් හැර, ඇත්තටම ආණ්ඩුව වෙනුවෙන් කවුරුත් කතා කරන්නෙ නෑ.

ආණ්ඩුව මහජන සහයෝගය, පාර්ලිමේන්තුවේ ස්ථාවරත්වය ආදී බොහෝ පෙරමුණුවලදී අසාර්ථකයි.

ආණ්ඩුවට තියෙන එකම දේ ඕනෑ පක්කලි සර්විස් එකකට ලෑස්ති කරපු හමුදාවක් විතරයි. මේ වගේ වැඩවලට දක්කන, එක පොලිස්-හමුදා ලොක්කෙක්ට කොන්දක් නෑ උඹලට පක්කලි සර්විස් කරන්න අපි ලෑස්ති නෑ. අපි වැඩ කරන්නේ ව්‍යවස්ථාවට අනුව කියලා.

එහෙම පසුබිමක ආණ්ඩුවට ඕනෑ අලුත් වටයකින් මර්දනය තද කරන්න. විශේෂයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ ශිෂ්‍ය ව්‍යාපාරය සහ වෘත්තිය සමිති ව්‍යාපාරය ගැන තමයි ආණ්ඩුව විශාලම බියක් දක්වන්නේ.

විශේෂයෙන් අන්තරයට තමයි දැවැන්ත විරෝධයකින්, ආයෙමත් මේ රටේ ජනතාව අසාධාරණයට සහ අයුක්තියට එරෙහිව පෙළගස්වන්න තරම් හයිය තියෙන කණ්ඩායම. අන්තරයට පාරට බහින්න දෙන්නම එපා කියලා ආණ්ඩුව දැන් හිතනවා.

අන්න ඒ වෙනුවෙන් තමයි ඇහුව ගමන් සාමාන්‍ය මනුස්සයටත් පුකෙන් හිනායන මට්ටමේ, අතාත්වික සහ අභව්‍ය ‘බුද්ධි වාර්තාවක්‘ එන්නේ. අපි ඒකට හිනා වුණාට, ‘බුද්ධි වාර්තා‘ කිය කියා ඕනෑ කතන්දරයක් ගොතන්න ආණ්ඩුව ලෑස්තියි. ඒ කතන්දරේ මත ක්‍රියාත්මක වෙන්නත් එයාලා ලෑස්තියි.

එයාලා එයාලාටම බොරුවක් කියාගන්නවා. ඒ බොරුව අධිකරණයට අරගෙන යනවා, ආයතන මට්ටමට යවනවා. මොකද, නිකම්ම ‘ක්‍රියාත්මක වෙන්න‘ බැහැනේ.

‘කොළඹ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව යම් පිරිසක් සංවිධානාත්මකව රජයට යම් බලපෑමක් එල්ල කිරීමට සූදානම් බවට ලද තොරතුරකට අනුව එම පියවර ගෙන ඇති බව වාර්තා විය.

කෙසේවෙතත් මෙලෙස කොළඹ විශ්වවිද්‍යාලය අවට ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගැනීමත් සමග කැරළිකාරී ලෙස හැසීරීමට සංවිධානයවී සිටි පිරිසේ එම උත්සාහය මේ වනවිට ආසාර්ථක වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ විශ්වවිද්‍යාලය තුළ සිට 750 දෙනෙකුගෙන් පමණ පිරිසක් කැරළිකාරී ලෙස හැසිරෙන බවට ලද බුද්ධි තොරතුරකට අනුව කොළඹ නගරයේ ආරක්ෂව තර කිරීමට ආරක්ෂක අංශ එලෙස පියවර ගෙන ඇත.

පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ යම් සංවිධානාත්මක පිරිසක් විසින් රජයට එරෙහිව විරෝධතා දක්වමින් කැරළිකාරී ලෙස හැසීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බවය.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයට පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය, පෙලිස් කැරළි මර්දන ඒකකය සහ ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.

පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවන්ට අමතරව ගිනි නිවන රථද කැඳවීමට පියවර ගෙන තිබුණි.

එමෙන්ම කොළඹ නිදහස් චතුරාස්‍රය අවට, කොල්ලුපිටිය මංසන්ධිය අවට සහ අරලියගහ මන්දිරය අවට ආරක්ෂාව ද තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.‘

මේ තියෙන්නේ අද දෙරණ ප්‍රවෘත්තිය. මේක වාර්තාව ‘ඇත්තක්‘ වුණත් ඒක හමුදාව යෙදවිය යුතු වරදක් නෙවෙයි. ‘සංවිධානාත්මක‘ කියන එක වරදක් නෙවෙයි. මිනිස්සුන්ට සංවිධානය වෙන්න අයිතිය තියෙනවා.

‘රජයට එරෙහිව‘ කියන එක වරදක් නෙවෙයි. රජයට එරෙහි වෙන්න අයිතිය තියෙනවා.

‘විරෝධතා දැක්වීම‘ වරදක් නෙවෙයි. ඒකට අයිතිය තියෙනවා.

‘කැරළිකාරී ලෙස හැසිරීමට‘ කියන එක ක්‍රියාවක් නෙවෙයි. කැරළිකාරී ‘ලෙස‘ කියන්නෙ මොකක්ද? කැරළිකාරී වගේ රඟපානවද? කැරැළි ගහනවා නම් ගහනවා. නැත්නම් නෑ. මොකක්ද මේ ‘ලෙස හැසිරීම?‘

ඉතින්, ඒ කැරළිකාරී ලෙස කියන අපභ්‍රංශය කොහොමත් වරදක් නෙවෙයි.

ඒ අනුව රජයට කලබල වෙන්නට හෝ, මහජන බදු මුදලින් වැටුප් ලබන නිලධාරීන්ව මේ විදියට රස්තියාදු කරවමින්, ඒ අයව ප්‍රවාහනයට සහ ආහාර වියදමට මුදල් නාස්ති කරන්නට කිසිම හේතුවක් නෑ.

මේ ආරක්ෂක අංශ පෙන්වන්නේ, අර කාටූන්වල සහ පරණ සයිලන්ට් ෆිල්ම්වල ඉන්න හේතුවක් නැතිව ඔහේ කෑගගහා දුවන අමු විකාරයෙන් දඟලන ඩයල් එකක මොට්ටකමක්. හරි රාජ්‍යයක නම් මේවා බරපතල සම්පත් අවභාවිතයක් සහ දූෂණයක්.

හැබැයි අපි කලිනුත් කීවා වගේ මේක මේක ‘මොට්ටකමට‘ එහා ගිය කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් වෙන්න පුළුවන්. කොළඹට අද මෙහෙම හමුදාව දාන්නේ මේක ‘සාමාන්‍යකරණය‘ කරන්නට.

ඉදිරියේදී ලොකු විරෝධතාවක් ආවොත්, කැම්පස්වලින් ළමයි පිටත් වෙන්නත් කලින් මේ වගේ පොලීසිය සහ හමුදාව යොදවන්න ඉඩ තියෙනවා. ලංකාවේ විශ්වවිද්‍යාලවල ළමයින්ට කිසිම දේශපාලනයක් කරන්න ඉඩ නොදීම රනිල්-රාජපක්ෂ ආණ්ඩුවේ අරමුණ.

කුරුඳුවත්තෙ මොන්ටිසෝරියට පොලීසිය-හමුදාව දැම්මාම ඉදිරියේදී කැලණියට, රජරටට, රුහුණට සහ පේරෙටත් ඒ වැඩේ කරන්න පුළුවන්. ක්‍රියාකාරී ශිෂ්‍ය ව්‍යාපාරයක් තියෙන තැන් ටිකටත් ඔය වැඩේ කරන්න පෙරහුරුවක් මේක. අනාගතේ සමහරවිට හැම කැම්පස් එකකම එළියේ හමුදා චෙක් පෝස්ට් දායි. ඉස්සර උතුරෙ මිනිස්සුන්ව හිර කරලා චෙක් පෝස්ට් දැම්මා වගේ. දැන් නැගෙනහිර පැත්තේ කරලා තියෙනවා වගේ.

මළමිනී වගේ, ඇවිදින යන්ත්‍ර වගේ කිසිම ජීවයක් නැති ශිෂ්‍යයන් ටිකක් හදයි. අනාගතේ මේ පාලකයන්ටයි ලංකාවේ ව්‍යාපාරික බලවතුන්ටයි කඹුරන මැරිච්ච තරුණ පරම්පරාවක් හදන ගමනක මුල් පියවර වෙන්න පුළුවන් මේක.