මහින්ද පීචං විදියට අගමැතිකම ගන්නේ නෑ! විපක්ෂයට යන්න තවම තීන්දුවක් නෑ – සාගර කාරියවසම්

මහින්ද රාජපක්ෂ හමුදාව දමා, ආරක්ෂාව තරකොට ‘පීචං ආකාරයට‘ අගමැතිකම ගැනීමට සූදානම් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් දූරකථනයෙන් අප කළ විමසීමකදී ප්‍රකාශ කළා.

මහින්ද රාජපක්ෂ සඳුදා උදෑසන 10.02ට යෙදෙන නැකතකින් දිවුරුම් දීමට සූදානම්ව සිටිනවාදැයි අප කළ විමසීමකදී ඔහු ඒ බව ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මහින්ද රාජපක්ෂ විශාල ‘ජනාදරයක් ඇති‘ නායකයෙකු බවත්, ‘යුද්ධය අවසන් කළ‘ නායකයා බවත්, ‘රට සංවර්ධනය කළ‘ නායකයා බවත්. එවැනි නායකයෙකු හමුදාව හා පොලීසිය තැනින් තැන යොදා අගමැතිකම බාර නොගන්නා බව පැවසූ ඔහු, මෙවැනි ප්‍රචාරවලට පිළිතුරු දීමට සිදුවීම පවා කණගාටුදායක තත්වයක් බව අවධාරණය කරමින් සිය අදහස් ප්‍රකාශ කළා. නැවත ජනවරමක් සහිතව මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත් වෙනවා නම් පත් වෙන බව ඔහු කීවා.

දැනට සිටින අගමැති දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්දයෙන් පත් වූ කෙනෙකු බවත් ඔහු කීවා.

ඔහු වැඩිදුරටත් කීවේ, මැයි 15 සඳුදා පත්වන මාධ්‍ය සාකච්ඡාවකදීත්, මේ ගැන වැඩිදුර කරුණු ප්‍රකාශ කිරීමට සූදානම් වන බවයි.

ඉදිරියේදී ආණ්ඩුවේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂයට යෑමට සූදානම්ව සිටීදැයි අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, එවැනි තීන්දුවක් නොමැති බවයි. දැන් ආණ්ඩුවේ සිටිමින් සහයෝගය ලබා දීමට තීන්දු කර සිටින බවත්, ඉදිරියේදී ඉවත් වන්නේ නම් ඒ ගැන තීන්දුවක් ගත යුතු බවත් ඔහු කීවා.