කළු හෙවත් නලින් ලුසේනා!

අපි කතා කරන්න යන්නේ මේ දවස්වල වීඩියෝ ක්ලිප්වල සමාජ මාධ්‍යවල වයිරල් වුණ කොඩි ගහ යට නාට්‍යයේ කළු ගැන. මේ කතාව පටන් ගන්න ඕනෑ, මේ චරිතය රඟපාන රංගන ශිල්පියා ගැන අධ්‍යක්ෂවරයාගෙන්ම අහන්න ගිහින් වෙච්ච අකරතැබ්බයකින්. ඊට පස්සේ කියන්නම්, මේ රංගන ශිල්පියා කොච්චර විශේෂ චරිතයක්ද, ඔහු කොච්චර වැදගත් කෙනෙක්ද කියලා.

ඊටත් පස්සේ පොඩි දෙයක් කියන්න ඕනෑ මේ විදියේ සමකාමී-විෂමකාමී-සංක්‍රාන්ති චරිත අපේ ටෙලිනාට්‍ය සහ ෆිල්ම්වල පාවිච්චි කරන විදිය ගැනත්, ජගත් මේක කරපු විදිය ගැනත්.

කවුද බං මේ?

යාළුවෙකුගෙ මළගෙදරදී කොඩි ගහ යට අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ මුණගැහුණා. ජගාගේ කොඩි ගහ යට ටෙලිනාට්‍ය ගැන වර්ණනා කරමින්, මේ අතිවිශිෂ්ඨ අධ්‍යක්ෂවරයා සහ රංගන ශිල්පියාව දිරිමත් කරන්න කට පුරා ටෙලිනාට්‍ය වර්ණනා කරන අස්සේ පොඩි ප්‍රශ්නයක් ඇහුවා.

‘අර කළු කියන කැරැක්ටර් එක කරන්නේ කවුද? එයා ඇක්ටර් කෙනෙක්ද? නැත්නම් ට්‍රාන්ස් හරි ගේ එක්කෙනෙක්ද?‘ කියලා.

ජගත් උත්තර දුන්නා ‘නෑ බං ඒ නලින් ලුසේනා.‘ කියලා. ‘දන්නවනෙ නලින් ලුසේනා?‘

එකපාරම මීටර් වුණේ නෑ. ‘නම අහල පුරුදුයි.‘

‘රාජිතගෙ නාට්‍යවල ඉන්නේ?‘ ජගත් කිව්වා.

එකපාරම මීටර් වුණා. යකෝ! නලින් ලුසේනා. ජුලි මාසෙ දවසක් එකේ ප්‍රධාන චරිතය. ‘අඳුරගන්නත් බෑනෙ.‘ කියලා කිව්වා.

‘නෑ, මුලින් මම හිතුවේ ඇත්තටම ට්‍රාන්ස් කෙනෙක්ට වගේ දෙන්න. ඒත් පස්සේ මට ඕන වුණාට පොඩි චැලේන්ජ් එකක් ඇක්ටර් කෙනෙක්ට දෙන්න.‘ ජගත් වැඩේ විස්තර කළා.

කවුද මේ නලින්?

නලින් ලුසේනා කියන්නේ සැබෑම චරිතයක්. මතකයේ හැටියට ඔහු එක්ක ජීවිතේට වචනයක් හුවමාරු කරගෙන නැහැ. හැබැයි කාලයක් තිස්සේ ඔහු ගැන අහලා, දැකලා, කියවලා තියෙනවා. ටෙලිනාට්‍යවලින් සහ චිත්‍රපටිවලින් ‘ප්‍රසිද්ධ‘ වෙලා නැතත්, ඔහු ලංකාවේ පොළොවෙ දැන් ඇවිදින විශිෂ්ඨම රංගන ශිල්පියෙක් බව ඔප්පු කරලා ඉවරයි.

‘ප්‍රසිද්ධියෙන් නම් දක්ෂකම මනින්නම බෑ. ජනප්‍රිය හැමෝටම හොඳම නළුවා වෙන්නත් බෑ.‘ නලින් ලුසේනා 2021 දී සිළුමිණට දුන්න ඉන්ටවීව් එකකදී කියා තිබුණා. ඒක ඇත්ත. නලින් කළුගෙ චරිතය කරන්න කලිනුත්, හොඳම නළුවෙක්.

වේදිකාවේ ඉන්න අතිප්‍රබල, ලංකාවේ හොඳම නළුවෙක් එකපාරම මිනිස්සු අඳුගන්නවා. ‘කවුද යකෝ මේ? මාර ඇක්ටින්! පිස්සු හැදෙනවා ඕයි!‘ වගේ රිවීව්ස් ලැබෙනවා. මේක අලුත් අත්දැකීමක් නෙවෙයි. දශක ගාණක් තිස්සේ වේදිකාවේ හිටපු අතිවිශිෂ්ඨයන් බොහොමයක් එකපාරම ටෙලිනාට්‍යයකින් හැමෝම අඳුගනත්ත අවස්ථා තියෙනවා.

රාජිත දිසානායකගේ නාට්‍ය කණ්ඩායමේ දීර්ඝ කාලයක් කරපු, අදටත් කරමින් ඉන්න කාර්යභාරය නිසා තමයි නලින්ව බොහෝ අය දන්නේ. ලංකාවේ ‘නාට්‍ය කණ්ඩායම්‘ කියලා ඒවා ඉතාම අඩුයි. රාජිත දිසානායක තමයි අපි සාර්ථකවම නාට්‍ය කණ්ඩායමක් කරගෙන යනවා දැකලා තියෙන්නේ. අසංක සායක්කාර තමයි ඒ වැඩේ කරන්න මහන්සි වෙන අනෙක් තරුණයා.

නාට්‍ය ක්ෂේත්‍රයේදී මෑත කාලයේ රාජිතගේ නාට්‍ය කණ්ඩායමේ ප්‍රධානම භූමිකාවක් කරන නිසා, නලින් කියන්නේ කෙළින්ම ලෙජන්ඩ් කෙනෙක්. ඔහු 2010 දී තමයි රාජිතගේ නාට්‍ය කණ්ඩායමට එකතු වුණේ. මේ වෙද්දී රාජිතගේ නාට්‍ය 7ක රඟපාලා තියෙනවා.

ජුලි මාසයේ එකේ, නැතුව බැරි මිනිහෙක් එකේ, සිහින හොරු අරන් අලුත් නිෂ්පාදනය ආදී තැන්වල නලින් වැඩ.

වීරයා මැරිලා එකේ චරිත හතරක් නලින් කරපු බව නාට්‍ය කණ්ඩායමේ කෙනෙකු කීවා. ගිහාන් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස් වගේ අය නැති අවස්ථාවල ඒ අය කරපු චරිත නලින් කරලා තියෙනවා.

දැන් ටෙලිනාට්‍ය හරහා අවධානයට ලක් වුණාට. සිහින හොරු අරන් එකේ සහ ජුලි මාසයේ දවසක් කියන එකේ ඔහු කරපු රංගනයන් ගැන ඒ නාට්‍ය බලපු අය වර්ණනා කරනවා අපි දැකලා තියෙනවා. විශේෂයෙන් ‘2019 ජුලි මාසයේ දවසක්‘ කියන රාජිතගේ අතිවිශිෂ්ඨ නාට්‍යයේ ප්‍රධාන චරිතය ඔහු විශිෂ්ඨ විදියට කරනවා. ජාතිවාදය ඇවිස්සුණු 2019 අවුරුද්දේ, නොසිතූ සිදුවීමකට මැදිවෙලා හිරවෙච්ච මැදිවියේ සැමියෙකුගෙ චරිතය ඔහු කරනවා. ඒක මේ කළුගෙ චරිතයට වඩා සම්පූර්ණයෙන් වෙනස්.

ඇත්තටම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න එක ලේසි පහසු කට්ටක් නෙවෙයි. සිනමා නළුවො වගේ සමාජය පිළිගැනීමකුත් නෑ. රියැලිටි, අවුරුදු උත්සව, සෝෂල් මීඩියාවලින් බ්‍රෑන්ඩ් ප්‍රමෝට් කිරීම්, උත්සව අවස්ථා දක්වා ටීවී එකේ සහ එළියේ නොයෙකුත් ක්‍රමවලින් අද කාලෙ සෙලිබ්‍රිටිලා සල්ලි හොයන ක්‍රම ගොඩක් වේදිකා නළුවන්ට ලැබෙන්නේ නෑ. කට්ට කාගෙන කරන මහන්සියකින් පස්සේ විශිෂ්ඨ වැඩක් කළාය කියන ආතල් එක තමයි ලැබෙන්නේ.

හැබැයි ඒ ක්ෂේත්‍රයේ ඉන්න එක ගැන කළකිරීමක් නලින්ට නෑ.

‘වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය කර්මාන්තයක් ලෙස ස්ථාපිත වූවක් නෙමෙයි. අපිව කවුරුවත් බලෙන් මේ ක්ෂේත්‍රයට ඇදලා දැම්මේ නෑ. ආසාවෙන් කැමැත්තෙනුයි මේ තුළ වැඩ කරන්නේ. සමහර අතෘප්තිමත් අත්දැකීම් තිබුණත් කලකිරීමක් නෑ. කලකිරුණොත් කරන්න තියෙන දේ ගැන සතුටු වෙන්න බැරිවෙනවා.‘ නලින් සිළුමිණ ඉන්ටවීව් එකකදී එහෙම කියා තිබුණා.

‘ශ්‍යාම් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ප්‍රනාන්දු වගේ ලෙවල් එකක අතිවිශේෂ චරිතයක් විදියට හඳුනාගත්ත කෙනෙක්.‘ බව වේදිකාවත් එක්ක ගොඩක් සමීප දැවැන්ත චරිතයක් නලින්ගේ රංගනය ගැන කීවේ එහෙම.

නලින් කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා පිළිබඳ විශේෂ උපාධියක් හැදෑරුවා. ඊට පස්සේ ශ්‍රීපාලි මණ්ඩලයේ සහය කථිකාචාර්යවරයෙක් විදියට වැඩ කළා. ඒ විදියට රංගනය ඉගැන්වූ කෙනෙක් නලින් ලුසේනා. ඔහු කෙටි නාට්‍ය නිර්මාණය කරලා තියෙනවා. ඒ අතරින් නොකියා හිටපු දෙයක් කියන කෙටි නාට්‍ය ගැන අපි අහලා තිබුණා. (දකින්න ලැබුණේ නැහැ.) ඒ නාට්‍යය 2019 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම කෙටි නාට්‍ය ලෙස සම්මාන ලැබුවා.

පහුගිය කාලයේ සිනෙමා එල්එකේ එකේ යූටියුබ් ඉන්ටවීව් එකක නලින් මෙහෙම කියා තිබුණා. ‘මම මගෙන් මිදිලා, වෙනත් කායික හෝ මානසික තත්වයක් ප්‍රතිනිර්මාණය කිරීම තමයි රංගනය විදියට දකින්නේ. විවිධ ස්ටයිල් තියෙන්න පුළුවන්.‘

ඒ ඉන්ටවීව් එකේදීම ඔහු වැඩිදුරටත් මෙහෙම කීවා.

‘ක්ෂේත්‍රය හරි ස්ටීරියෝඑටයිප්. මම පොලිස් කාරයෙක් නම් කලින් කළේ, දිගටම පොලිස්කාරයන්. දිගටම හාමුදුරුවරුන්. අපේ අය දක්ෂයි විවිධ චරිත කරන්න. රචකයන් ඒකට ලෑස්තිද කියන ප්‍රශ්නය තියෙනවා. අපේ ක්ෂේත්‍රයේ ඉන්නේ ඉන්දියන් මෙගා නාට්‍ය වගේ ලස්සන උස සුදු කෙල්ලයි, කොණ්ඩය ලස්සන කෙල්ලයි. සාම්ප්‍රදායික චරිතවලට නළුවන් හිර කරන එක, ලේබල් කරන තත්වයක් තියෙනවා. ඊට වඩා රංගනය පිළිබඳ නළුවන් පිළිබඳ විශ්වාසය තබමින් ඔවුන්ට ඒක කරන්න අභියෝගයක් ලබා දෙනවා නම් තරුණ, ප්‍රවීණ, කලින් පරම්පරාවේ විශාල පිරිසක් ඉන්නවා. ඊට අදාල කර්මාන්තයක් හැදෙන එක තමයි සිදුවිය යුත්තේ.‘

ඉතින්! නලින්ට වෙනස් චරිතයක් දුන්න, ස්ටීරියෝටයිප් කඩපු අධ්‍යක්ෂවරයා තමයි ජගත් මනුවර්ණ. ජගත් කොහොමත් විශිෂ්ඨයෙක්.

සපුමල් අයියාහ්!

ලංකාවේ සමකාමී-විෂමකාමී-සංක්‍රාන්ති සමාජභාවී චරිත සිනමාවට හෝ ටෙලිනාට්‍යවලට එන්නේ එකම එක අරමුණක් ඇතිව. ඒ, අරමුණ තමයි හාස්‍යය. ෆ්‍රැන්ජිපානි වගේ චිත්‍රපටියකදී විසාකේස සමකාමී තරුණයන් දෙන්නෙකුගෙ ප්‍රේමයක් ගැන කතා කළා. ඒකෙදී භූමි හරේන්ද්‍රන්ට හරි ආදරණීය චරිතයක් දුන්නා.

ඒත් බහුබූතයෝ, සිකුරු හතේ හෝ තව බොහොමයක් චිත්‍රපටිවල පිරිමි චරිතයක් පස්සේ ඇවිත්, ඇඟේ එල්ලෙන, ඒ පිරිමි චරිතයේ අප්පිරියාවට ලක් වෙන චරිත විදියටයි අපේ සහෝදර ලිංගික ප්‍රජාව නිරූපණය කළේ. එතැන හාස්‍යයට ලක් වෙන්නේත්, පිරිමි පිටිපස්සෙ ඇඟේ එල්ලෙන, ලිංගික ඇසුර හොයන පහත් පිරිසක් විදියට මේ මිනිස්සුන්ව ලේබල් කිරීමෙන්.

කළුගෙ චරිතයට ඊට එහා ගිය වටිනාකමක් තියෙනවා. කළුගෙ හැසිරීමට මේ චිත්‍රපටියෙ ඉන්න අනෙකුත් චරිත දක්වන ප්‍රතිචාරවල පොඩි හාස්‍යයක් තියෙන බව ඇත්ත. මොකද, සහෝදර ලිංගික ප්‍රජාවන්ට ගෞරවයෙන් සලකන හිරගෙදරක් පෙන්නන්න බැහැනෙ, මේක ලංකාව ගැන ටෙලිනාට්‍යයක්නෙ. ඉතින්, අනිවාර්යයෙන්ම එතැන යම්කිසි හාස්‍යයක් තියෙනවා.

කළු ඒ හිරගෙදර ඉන්න මහේෂ් හෝ කනිෂ්ක කරන චරිතය ගැන උනන්දුවක් දක්වන බවත් ඇත්ත.

හැබැයි ඒකෙන් කළුගෙ ආත්ම ගෞරවය නැති වෙන්නේ නෑ. කළුව අනෙක් අය අප්‍රසන්න විදියට ඈතට තල්ලු කරන්නෙ නෑ. ඒ වෙනුවට ටීම් එකේ මෙම්බර් කෙනෙක් විදියට කළු එකතු වෙනවා. මහේෂ් වුණත් කළු දිහා බලන්නෙ පොඩි ගෞරවයක් එක්ක. හිර කරගෙන යම්කිසි ලිංගික ශ්‍රමිකයෙක්ට, නැත්නම් වහලෙක්ට වගේ සලකපු හිර කුටියකින් මහේෂ්ලා කළුව නිදහස් කරගෙන තමන්ගෙ ළඟට ගන්නවා.

ඉතින්, ‘සපුමල් අයියාහ්‘ ගාගෙන පස්සෙන් දුවනවා හැරුණම වෙන කිසි බරක් නැති, හිස් චරිත වෙනුවට මෙන්න මේ කළු වගේ චරිතත් ලියන එක වටිනවා. අපේ සමාජයේ, අවලාද සහ බාධක ගොඩක් මැද, තමන්ගෙ අනන්‍යතාවය අභිමානයෙන් සෙලිබ්‍රේට් කරමින්, මාර හිතේ හයියක් එක්ක නිර්භයව ජීවත් වෙන සහෝදර මිනිස්සු කොටසක් වෙනුවෙන් කලාකරුවන්ට කරන්න පුළුවන් සේවය ඒක.