රනිල් මාරයි! මැතිවරණ කොමිසම රනිල්ට ජනාධිපතිවරණයක් දෙන්න ඕනෑ! – රංගේගේ ෆුල් ෆැසිස්ට් කතාවේ තේරුම!

රට ගොඩදැමූ ජනාධිපතිවරයා නැවත පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරණයක් පවත්වන්න ඕනෑ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කර තිබෙනවා.

‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා සංචාරක, කෘෂි, ධීවර ආදී කර්මාන්ත නගා සිටුවීමට පියවර ගෙන තිබෙන බවත්, රටේ ජනතාව මෙම තත්වය තේරුම් ගෙන තිබෙන බවත් මහලේකම්වරයා කියා තිබුණා.

එහෙත් පසුගිය කාලසීමාවේ දඹුල්ලේ එළවලු ගොවීන් එළවළු විකුණාගන්න බැරි බව කීවා. බිත්තර හා කුකුළුමස් ගොවිපළ හිමියන්, තමන්ගේ ආහාර නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම විනාශ වී, මෙච්චර කාලයක් එම කර්මාන්තයේ යෙදුණ අය ඒක අත්හරිමින් සිටින බව ප්‍රකාශ කළා. ගොවීන් අපහසුතා රැසක් නිසා රූපවාහිනියේ හඬා වැටුණා. රනිල් ආණ්ඩුව උතුරේ ධීවරයාව මෙච්චරකල් නීතිවිරෝධීව කොල්ල කෑ ඉන්දීය ධීවරයන්ට, නිත්‍යානුකූලවම ඒ කොල්ලය කරගෙන යෑමට පහසුකම් සපයනවා.

‘නගාසිටුවන්න ඇති පාලිත රංගේගෙ….‘ විනය ආරක්ෂා කරගන්න ඕනෑ නිසා මෙහි සටහන් කරන්න බෑ.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඔය කතාව කියා තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙකුත් නීතිවලින් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා ප්‍රතිපාදන තිබෙනවා. නීතිය අනුව මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයක් අනුව මුලින් පැවැත්විය යුත්තේ එම මැතිවරණ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දෙවැනි වර පත් වෙන ජනාධිපතිවරයෙක්ට කලින් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වනතුරු ජනාධිපතිවරණයක් පවත්වන්න බැහැ. ඒ කියන්නේ තව අවුරුද්දක් හා මාස හයකටත් වැඩි කාලයක් ජනාධිපතිවරණයක් නෑ.

ඒත්, ව්‍යවස්ථා සහ අධිකරණ තීන්දු මොකටද? රනිල්ගෙ පක්ෂෙ ලේකම්ට හිතුණාම. රටේ මිනිස්සුන්ගෙ වුවමනා මොකටද? රංගේට ‘රනිල් රට හැදුවා‘ කියල හිතිලා, ඒ ‘රට හැදූ රනිල්‘ බලයේ තබාගන්නට සියලු ඡන්ද කල්දාන්න හිතුණාම. රංගේට හිතෙනවාලු රනිල් වික්‍රමසිංහ නිසි කළමණාකරණයක් සහිත අත්දැකීම් බහුල නායකයෙක් බව. ඒ නිසා මුළු රටේම ජනතාව තමන්ගේ ව්‍යවස්ථානුකූල අයිතීන් නැති කරගෙන, රනිල්ට මුළු ප්‍රජාතන්ත්‍රවාදී ආත්මයම පාවා දෙන්න ඕනෑ බව තමයි රංගේ නොකියා කියන්නේ.

ඔහු කියා තියෙනවා, මැතිවරණ පැවැත්වීම ගැන තමන්ට තීන්දු කරන්න බැරි බව. ඒක තීන්දු කරන්න ඕනෑ මැතිවරණ කොමිසම බව. ඒත්, මැතිවරණ කොමිසම ‘අහවල් පක්ෂෙ අහවල් එකා මාර විදියට වැඩ කළා. එයාට ඕන විදියට ජනාධිපතිවරණයක් තියන්න දෙමු නේද?‘ කියල කතා වෙලා, එයාට ඕන මැතිවරණය දෙන්නෙ නෑ. මැතිවරණ කොමිසමක් තිබීමේ අරමුණම, එහෙම එක එකාට ඕනෑ මැතිවරණ ඕනෑ ඕනෑ විදියට නොපවත්වා, ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කටයුතු කරන්නයි.

එහෙත්, ‘රනිල් මාරයි-මැතිවරණ කොමිසම රනිල්ට ජනාධිපතිවරණයක් දෙන්න ඕනෑ‘ කියා රංගේ බණ්ඩාර ප්‍රකාශ කිරීම අතිශය තද ෆැසිස්ට්වාදී අදහස් දැක්වීමක්.

ඒ සියල්ලට අමතරව රංගේ බණ්ඩාර තවත් නිහීන කතාවක් කියා තිබුණා. ‘පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව දේශපාලන පක්ෂ මිලියන ගණනක් ඇප මුදල් තැන්පත් කර තිබියදී මැතිවරණය නොපැවැත්වීම මගින් මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා විශාල අපරාධයක් සිදු කර තිබෙන බව. එයාලා ඇපත් බැන්දාලු. පක්ෂයට පාඩුවක් වුණාලු.

පාලිත රංගේ බණ්ඩාර මෙහෙම කියන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ මූසල සිනහවක් සමග, කල් දාන්න මැතිවරණයක් නැහැ කියලා කෑමොරදුන් පසුබිමක. මැතිවරණය කල්දැමීම සඳහා මැතිවරණය ප්‍රකාශයට පත් කළාය කියන එක පවා ප්‍රතික්ෂේප කරපු පසුබිමක. කොමිසමේ සාමාජිකයන් අතර ගැටුම් හැදීම, කොමිසමේ සභාපතිවරයා ඉල්ලා අස්වුණායැයි කතා පැතිරවීම, මුදල් නොදී සිටීම, පොලිස් නිලධාරීන් නොදී සිටීම, අධිකරණයට සාවද්‍ය කරුණු ඉදිරිපත් කිරීම සහ අන්තිමේ අධිකරණයේදී තමන්ගේ වුවමනාව පරාජයට පත් වූ පසුව, සම්පූර්ණයෙන්ම අධිකරණය නොතකා කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළා.

එහෙම පසුබිමක රංගේ දැන් මැතිවරණ කොමිසමේ සභාපතිට ඇඟිල්ල දිගු කරනවා. ඔහුට ජනතාවගේ පැත්තෙන් ඇඟිල්ල දිගු වෙන්න ඕනෑ තමයි. කොමිසමට කොන්දක් තිබුණා නම්, මේ තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. එහෙත්, රංගේ ඒක කිරීම කෙතරම් මුග්ධද?

ඉතින් මේ කයිවාරු, පණ්ඩිතකම් සියල්ල මෙසේ තිබියදී, විපක්ෂය කරන්නේ මොකක්ද? අනේ අපි ආණ්ඩුවට යන්නේ නැහැ, මාධ්‍ය බොරු ලියනවා කිය කියා නිවේදන දමමින් ඉන්න එකද?

අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නඩු දමනවා කිව්වා. තවම කිසිවක් නැහැ. ත්‍රස්ත විරෝධී පනත ගැන පුළුල් විරෝධයක් සංවිධානය වෙන්න ඕනෑ. තවම එවැන්නක් ආරම්භ වෙලා නෑ. මැතිවරණ කල්දැමීම ගැන මහා හඬක් නැගෙන්න ඕනෑ.

ඒ අස්සේ ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීලා ‘අනේ අපි ආණ්ඩුවට යමුකො. රනිල් හරි හොඳයි රනිල්ට තව ටිකක් කඩේ යමුකො. මම රනිල් එක්ක ඩීල් එකක් කතා කළා, වැඩේ හරි ගියේ නැහැනෙ.‘ කිය කියා තිරය පිටිපස්සේ සහ සමහරවිට ප්‍රසිද්ධියේත් ඥරුඥුරු ගානවා.