පාස්කු ප්‍රහාරය වෙනුවෙන් 21 විරෝධයට එක්වෙන්න! සියල්ලන්ගෙන් ඉල්ලයි

පාස්කු ප්‍රහාරයේ සත්‍යය යටගැසීමට එරෙහිව අප්‍රේල් 21 වනිදා පවත්වන ‘ජන පවුර‘ සාමකාමී විරෝධයට ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව එකතු වෙන්න කියා මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමි ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

එදිනට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර 4ක් සම්පූර්ණ වන අතර කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා කොළඹ- මීගමුව ප්‍රධාන මාර්ගය දෙපස ජනතාව පෙළගැසී විරෝධතා ජන පවුරක් ආරම්භ කරන බව කාදිනල් හිමි ප්‍රකාශ කර තිබුණි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ උදෑසන 8.45ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට නියමිත අතර, කාර්යාලවල සිටින පිරිස්වලට ඒ සඳහා සහභාගී විය හැක.

වත්මන් රජය, ජනාධිපතිවරයා හෝ කිසිදු රජයක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍ය හෙළි කිරිමට ක්‍රියා නොකළ බව කාදිනල් මැල්කම් රංජිත් හිමි මෙම අදහස් ප්‍රකාශ කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා තිබුණි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවත්, එම කුමන්ත්‍රණය දේශපාලන බලය ලබාගැනීමට කළ එකක් බවත් කාදිනල් හිමි වැඩිදුරටත් කියා තිබුණි. මෙම ප්‍රහාරයේ සත්‍යය සොයා නොගැනීම රටේ දේශපාලන අනාගතයට සුභදායී පූර්වාදර්ශයක් නොවන බවත් කාදිනල් හිමි කියා තිබුණි.