ගෝල්ෆේස් ජනතාවගෙන් පැහැරගනී! ජන අයිතිය සීමා කරන්න ඒකාධිපති කැබිනට් තීන්දුක්

ගෝල්ෆේස් පිටිය සඳහා ජනතාව සතු අයිතිවාසිකම් බරපතල ලෙස සීමා කරමින් ඒකාධිපති කැබිනට් තීන්දුවක් ගෙන තිබේ.

මෙය ගෝල්ෆේස් පිටිය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා උල්ලංඝනය කරන අන්දමේ බරපතල කැබිනට් තීන්දුවකි. සැබෑ වශයෙන්ම ශ්‍රී ලංකාව යටත් විජිතයක් කරගෙන සිටි පාලකයන් ජනතාවට විවෘත කළ ගෝල්ෆේස් පිටිය, ශ්‍රී ලංකාවේ ජනතාව දැන් යටත් කරගෙන සිටින මෙරට බලවතුන් අත්පත් කරගැනීමක් ලෙස මෙම කැබිනට් තීන්දුව හැඳින්විය හැක.

අප්‍රේල් 17 දා කැබිනට් මණ්ඩල තීන්දු දැනුම් දීමේ මාධ්‍ය නිවේදනයෙහි මේ ගැන සඳහන් වී තිබේ.

‘මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන් කිරිම

සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් බාරගනු ලැබ ඇති අතර, මේ වන විට සිදු කරනු ලැබ ඇති සංවර්ධන කටයුතු සඳහා එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක් පමණ වැය කරනු ලැබ ඇත.පසුගිය අරගල කාලසීමාව තුළදී සදු වී ඇති දේපළ හානි අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6ක් වැය කර තිබේ.

මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි වන පරිදි මෙම භූමිය පවත්වාගෙන යා යුතු නමුත් සංගීත සංදර්ශන සහ ජනතාව විශාල වශයෙන් එක්රැස්වන ක්‍රියාකාරකම් හේතුවෙන් එම භූමිය නිතර හානි වන අතර පරිශ්‍රයේ සුන්දරත්වය සහ දර්ශනීය ස්වභාවය පවත්වාගෙන යාමට අපහසු වී ඇත. එබැවින් 2023-04-20 දින සිට බලපැවැත්වෙන පරිදි ආගමික කටයුතු සඳහා හැර ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ගාලු මුවදොර පිටිය භාවිත කිරීම පිණිස අවසර ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.‘

ගාලු මුවදොර පිටිය අවට මේ වන විට අතිශය සුඛෝපභෝගී සහ බලවත් පිරිස් සතු කලාපයක් වී තිබෙන අතර, සාමාන්‍ය ජනතාවට ගෝල්ෆේස් පිටිය සහ ඒ අවට ප්‍රදේශය අයත් වේ. ගෝල්ෆේස් පිටිය සමස්ත ජනතාවගේ අයිතිය සඳහා වෙන් කර තිබෙන අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අනුව මෙම විශාල භූමි ප්‍රදේශය ජනතා අයිතියෙන් උදුරාගෙන විකුණා දමා, ගොඩනැගිලි ඉදිකිරීම් හෝ වෙනත් අධිසුඛෝපභෝගී වාණිජ කටයුතු වෙනුවෙන් වෙන් කිරීම සීමා වී තිබේ.

ඊට අමතරව සියවසකට ආසන්න කාලයක් තිස්සේ සාමාන්‍ය ජනතාවගේ තීරණාත්මක දේශපාලන කටයුතු රැසක්ද ගෝල්ෆේස් ආශ්‍රිතව සිදු වී තිබේ. සමසමාජ පක්ෂයේ සිට මේ දක්වා නොයෙකුත් බලවේග තමන්ගේ දේශපාලන කටයුතු සඳහා මෙම භූමිය පාවිච්චි කර ඇත.

ඊට අමතරව සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වූ සැණකෙලි ආදී කටයුතු සඳහාද මෙම භූමිය පාවිච්චි කර ඇති අතර, මෙය අයත් වන්නේ මහජනතාවටය.

එම මහජනතාව සතු අයිතිය සම්පූර්ණයෙන් සීමා කර දැමීමටත්, ආණ්ඩුව අනුමත කරපු සීමිත ක්‍රියාකාරකම් කිහිපයක් හැර අන් කිසිවක් මෙම භූමියෙන් කරන්නට ඉඩ නොදීමටත් මෙම කැබිනට් තීන්දුව බලපානු ඇත.

1956 දී සිංහල පමණයි පනතෙන් වෙන හානිය පෙන්වාදෙන්නට එස්.ජේ.වී. චෙල්වනායගම් ඇතුළු නායකයන්ගේ ප්‍රධානත්වනේ පැවති ගෝල්ෆේස් විරෝධයක්
1947 සමස්ත මහා වැඩවර්ජනයට පෙර පැරණි වමේ නායකයන් ගෝල්ෆේස්හි මැයි දිනයක් සමරමින්
බණ්ඩාරණායක ගෝල්ෆේස්හි ජනතාව අමතමින්
2015-2019 අසාර්ථක රනිල් වික්‍රමසිංහ පාලනයට එරෙහිව ගෝල්ෆේස් පැමිණි ජනකාය
ජාතික ජන බලවේගයේ නැගීමේ මුල්ම අවධිය සංකේතවත් කළ දැවැන්ත ගෝල්ෆේස් රැළිය