මීතොටමුල්ලට අවුරුදු හයක්! එදා රනිල්ට මරණ දඬුවම දෙන්නැයි කී කතාව!

Sri Lanka's Prime Minister Ranil Wickremesinghe and Minister of Law and Order and Southern Development Sagala Ratnayaka (L) visit the site of a massive garbage mountain collapse in the Meethotamulla suburb of Colombo on April 19, 2017. Hundreds of tonnes of rotting garbage piled up in Sri Lanka's capital on April 18 after the main rubbish dump was shut following an accident that killed at least 31 people. Authorities sealed the massive 300-foot (90-metre) rubbish mountain on the northeastern edge of Colombo after it collapsed Friday, destroying 145 homes nearby and burying victims in a garbage landslide. / AFP PHOTO / Ishara S. KODIKARA

රනිල් වික්‍රමසිංහට මරණ දඬුවම දෙන්නැයි, මීට අවුරුදු හයකට කලින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී තරුණ නීතිඥ නුවන් බෝපගේ ඉතා සංවේදීව කීවා. අප මෙහිදී හැරිලා බලන්න යන්නේ ඒ ඉතිහාසයට. මේ අසාධාරණයන්ට එරෙහිව ජීවිතේම කැප කරන්නට හිතෙන විදියේ ආවේගාත්මක කතාවක් එදා නුවන් බෝපගේ නම්, අද තරම් ප්‍රකට නැති තරුණ නීතිඥයා කළා. මීතොටමුල්ල ගමේ ඉඳන්, මේ කුණුකන්දට එරෙහිව දිගටම සටන් කරලා, බීරන් වගේ හිටපු පාලකයන්ගෙන් කඳුළු ගෑස් ප්‍රහාර පවා කෑ තරුණ නුවන් බෝපගේ එදා කීවේ, රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ කුණු විකුණන් කෑව පාලකයන්ට උරුම මරණ දඬුවම කියලයි.

ඒත්! ඒ මුග්ධ, නීච පාලකයන් හෙට දිනයටත් රට හදන්න පොරොන්දු දෙනවා. රනිල් 2015 පෙබරවාරි මාසයේදී මහමැතිවරණවලට කලින්, මීතොටමුල්ලේ කුණුකන්ද මාස හයෙන් අයින් කරනවා කියලා පොරොන්දු වුණේ, ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නවායැයි අද නන් දොඩවන කටින්මයි.

මීටතොටමුල්ලේදී වුණේ සමූළඝාතනයක්. ජීවිත 32ක් විනාශ කරලා, පවුල් දෙසිය ගණනකට උන්හිටිතැන් අහිමි කළා. ඒක හුදෙක් ඉබේ වුණ විනාශයක් නෙවෙයි, මේ අවදානම ඊට කලින් ඉඳලාම අපි රාවය පත්තරේ ලියා තිබුණා. අනෙක මීතොටමුල්ල කඩාවැටෙද්දී සිද්ධවෙච්ච මරණ විතරක් නෙවෙයි, ඊට කලින් ඉඳලා හමේ ලෙඩ හැදිලා, ශ්වසන රෝග හැදිලා පණපිටින් මරාදාපු ජීවිත ගණන විශාලයි. කුණුකන්ද නිසා ඉඩම විකුණලා වෙන තැනකට යන්නත් බැරිව, එතැන ජීවත්වෙන්නත් බැරිව අසරණ කරලා, හුස්ම හිර කරලා දාපු ජීවිත ගණන ගණන් කරන්න බැහැ. ඒ රනිල් වික්‍රමසිංහලා කරපු විනාශය.

ඉස්සර පොතුවිල් කුඹුර කියලා සුන්දර කුඹුරු ඉඩම් අද්දර ගෙවල් හදපු මිනිස්සු ළඟට ගෙනල්ලා දාපු කුණුකන්දක් තමයි මීතොටමුල්ල. මේ කුණු ප්‍රතිචක්‍රිකරණ ව්‍යාපෘති තිබුණා. ‘පිළිසරු‘ වගේ නම්වලින්. ඒත්, කුණු කියන්නේ බිස්නස් එකක්. ඒ වගේම පාලන බලය තිබිච්ච කාටවත් කුණු කළමණාකරණය වගේ විෂයක් ගැන සතපහක උනන්දුවක් තිබුණේ නෑ. ඒ වෙනුවට කුණු අදින ලොරි, ටෙන්ඩර් සියල්ල අතිවිශාල මුදලක් යටකරපු බිස්නස් බවට පත් වුණා.

2011 ඉඳන් කොළොන්නාව කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරය කරපු උද්ඝෝෂණ 15කට කඳුළුගෑස් ගැහුවා. පරයෝ! මේ තමයි ජනතා ඡන්දයෙන් පත් වූ පාහරයන් තමන්ගෙ ප්‍රශ්න විසඳන්න කියලා පාරට බහින මිනිස්සුන්ට අදටත් කරන්නේ ඒක. අන්තිමේ කුණුකන්ද වෙනුවෙන් සටන් කරපු කීර්තිරත්න මහත්තයාගෙ පවුලේ හතරදෙනෙක් ඝාතනය කළා.

මෙතරම් විනාශයක් කළාට පස්සේ එක පරයෙක් ඉල්ලා අස් වුණේ නෑ. රනිල් වික්‍රමසිංහ සාගල රත්නායක මාස්ක් එකක් දාගෙන එන්න හැදුවා කඩාවැටුණ කුණුකන්ද බලන්න. පාදඩ නරුමයෝ! ගමේ මිනිස්සු එන්න දුන්නේ නෑ. අන්තිමේ හමුදාව වට කරගෙන රාහුල විද්‍යාලයට ගිහින් රනිල් මාරු වුණා. ගමට එන්න හදපු එස්.එම්. මරික්කාර්ට හූ කියලා එළෙව්වා.

මේ පාලක පරයෝ ආණ්ඩුව විදියට නිවේදනයක් දැම්මා කුණුකන්ද ළඟ ඉන්න එක අවදානම් කියලා කඩාවැටෙන්න කලින් ගම්වාසීන්ට දැනුම්දීලා තිබිච්ච බව. එහෙම හරි දැනුම්දීමක් කරලා තිබුණේත් නෑ. අනෙක, මේ මිනිස්සු ජීවත්වුණ තැන කුණුකන්දක් හදපු උං, අන්තිමේ ‘අවදානම් සහගතයි‘ කීවත් මිනිස්සුන් කොහේ යන්නද? මෙතැන හිටියේ ඔය පාලක පරයන් වාගේ මිනිස්සුන්ව කොල්ලකාලා ගත්ත සල්ලිවලින් කොළඹ අපාට්මන්ට් හතරපහ ගත්ත උං නෙවෙයි. හිතෙන හිතෙන හැටියට ගෙවල් මාරු කරන්න.

ඒ සියල්ල අන්තිමේ, ඒ වෙද්දී කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ලට මාසෙකට ලක්ෂ දෙසීයක කුලියක් ගෙව්ව රනිල් වික්‍රමසිංහ පාදඩ ආණ්ඩුව, එක මිනියකට රුපියල් ලක්ෂය ගාණේ ගෙවනවා කිව්වා. මිනීපෙට්ටිය නිකම් දෙනවා කිව්වා.

මේ ඝාතනවලින් මියගිය මිනිස්සුන්ගෙ අවමංගල්‍ය පෙරහැර කවදාවත් අමතක වෙන්නෙ නෑ. ආණ්ඩුවෙන් දුන්නා මිනීපෙට්ටි. නොමිලේ. මැරිච්ච මිනිස්සුන්ට. ඒත්, පෙරහැර යද්දී ගමේ මිනිස්සුන්ට කිහිප වතාවක් මිනීපෙට්ටි බිම තියන්න වුණා. ඒ බාල මිනීපෙට්ටි පුපුරලා ගිය හින්දා. කෑලි කෑලි විදියට විකෘතිවෙලා තිබිච්ච ඒ සිරුරු නිරාවරණය වෙන්න නොදී, සීල් කරලායි මිනීපෙට්ටි කිහිපයක් තිබුණේ.

අද මේ මොහොතට ඒ අතීත කතාව ගැලපෙන්නේ මේකයි. එදා කඩාවැටුණේ මීතොටමුල්ල කුණුකන්ද. අද මුළු රටේම ආර්ථිකය නම් වූ කුණුකන්ද කඩාවැටිලා තියෙනවා. එදා කුණු වගේම, මේ ආර්ථිකයත් කළමණාකරණය කරන්න තිබුණ එකක්. ඒත්, කුණුකන්දෙන් හම්බකරපු අය වගේම, මේ රටේ මිනිස්සුන්ගෙ දුක මහන්සිය මත හම්බකරපු පාලකයන් හා ගජමිතුරු ව්‍යාපාරිකයන් ගඳගහන ආර්ථික කුණුකන්දෙන් හම්බකළා. ඒක මිනිස්සුන්ගෙ හිසමත කඩාවැටුණා. මිනිස් ජීවිත කීයක් පහුගිය කාලයක් තිස්සේ නැතිවුණාද? බෙහෙත් නැතිකමෙන් සිද්ධවෙච්ච ජීවිත හානි, පෝළිම්වල මරණ විතරක් නෙවෙයි කඳුළුගෑස් ගහලා සහ වෙඩිතියලා කීදෙනෙක් මැරුවාද?

එකෙක්ට ලැජ්ජාවක් තියෙනවාද? තාමත් මිනිස්සුන්ට පහරදෙමින්, විනාශ කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැති කරමින් උංම මේ රට හදන බව කියනවා.

අවුරුදු හයක් තිස්සේ සටනක් කරලා, තමන්ගෙ මිනිස්සුන්ගෙ ජීවිත විනාශ වීමේ වේදනාවෙන් පෙළෙන මේ තරුණ නීතිඥයාගේ කතාව අහන්න. හැම ඇළපිල්ලක්ම අහන්න.

ඒ කතාවම එදා, නුවන් බෝපගේ කුණුකන්දක් ගැන කීව කතාවක් විතරක් නෙවෙයි. මේක රට ගැන කතාවක්. කුණුකන්ද වෙනුවට, මේ මානව හිතවාදී ජනතා නීතිඥයා මුළු රටේම අර්බුදයක් පුපුරා කඩාවැටීමට එරෙහිව අද කතා කරනවා. නිකමට හිතන්න! මේ පාලකයන්ට දෙන්න ඕනෑ දඬුවම මොකක්ද?

මැයි 9 වැනිදා හෝ ජුලි 9 වැනිදා වෙච්ච දේවල් ගැන ඥරුඥුරු ගාගෙන, අඬාගෙන, දොඩාගෙන එන නරුම පාලකයන්ට ජනතාව විදියට අපි අහු වෙන්න ඕනෑද? උංගෙ පාලන සමයන් නිසා මිනිස් ජීවිත කීයක් විනාස කරලා දාලා තියෙනවා.

අපි කියන්නේ මෙච්චරයි. අපි තෝරගෙන තියෙන්නේ හුදෙක් කතා කිරීම. හඬ නැගීම. මේ විනාශයේ කේන්තියට හිත් වේදනාවට කෑගැහුවාට, අදටත් නුවන් බෝපගේ නීතිඥයෙක් විදියට උසාවිය තුළත්, ක්‍රියාකාරිකයෙක් විදියට විරෝධතා, සම්මන්ත්‍රණ, මාධ්‍ය සාකච්ඡා, ලිවීම්වලිනුත් හඬ නගනවා පමණයි. හිංසාකාරී මාවතක් තෝරාගෙන නෑ.

මේ සියල්ල දැක්කාට පස්සේත් අපි කරන්නේ වීඩියෝ කරන එක, ලියන එක, පෝස්ට් ෂෙයා කරන එක, සාමකාමීව පාරට බැහැලා ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ මාස කිහිපයක් කඳවුරු ගහගෙන අව්වට, වැස්සට තෙමීගෙන ඉඳීමේ අවිහිංසාවාදී පාර. හැබැයි! ඒකට කොච්චර ස්වයං පාලනයක් ඕනෑද? කොච්චර ඉවසීමක් ඕනෑද?

විශ්වාස කරන්න! අපි ඉවසනවා.

සාමකාමී පාර. ප්‍රජාතන්ත්‍රවාදී පාර ඔස්සේ අපි යනවා. ජනතා අයිතිවාසිකම්වලට අනුකූල පාර ඔස්සේ අපි යනවා. ඒත්! ඒ පාරේ යන මිනිස්සුන්ට මේ නරුම පාලකයන් හැමදාම සලකන්නේ කොහොමද? ඒ පාර ප්‍රමාණවත් නොවූ අවස්ථාවලයි මහජනතාව මැයි 9 හා ජුලි 9 දක්වා ගියේ. ඒ දවස් පවා ඔය කියන තරම් ප්‍රචණ්ඩද? රටම නැගිට්ටත්, එයාලට හෝද හෝද මඩේ දාන්න පුළුවන් හිංසාකාරී ක්‍රියා කොච්චර සීමිතද?

හෙට ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත් කරනවා. සමාජ මාධ්‍ය මර්දන පනත් කෙටුම්පත් කරනවා. මේ පාලකයන් අර්බුදයට හේතු විදියට මිනිස්සුන්ව ලේබල් කරනවා.

මීතොටමුල්ල කුණුකන්ද කඩාවැටීම මගේ ජීවිතය වෙනස් කළා. එදා මිනිස්සු ළඟ ගඳයි කියලා මාස්ක් එකක් දාගෙන ආපු අසංවේදී නරුම පාලකයා වූ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සියලු පාලකයන්ගෙ නරුම මුහුණ ඉතා පැහැදිලිව 23 හැවිරිදි තරුණයෙක් වෙච්ච මගේ හිතේ සනිටුහන් වුණා. ඒ වගේම කෝට් එක ඇඳගෙන ලෝයර් රස්සාව කිරිල්ලෙන් එහා ගිහින්, තමන්ගේ ජීවිතේම කැප කරලා සාධාරණය, යුක්තිය වෙනුවෙන් සටන් කරපු, ජනතාව මෝටිවේට් කරපු තරුණ සටන්කාමියා නුවන් බෝපගේ තදින් මගේ හිතේ සනිටුහන් වුණා. බෝපගේලා එක්ක අපි ඉදිරියටත් වැඩ කළා. අදටත් වැඩ කරනවා. හෙටත් වැඩ කරනවා.

මේ නරුම පාලන ක්‍රමය වෙනස් කරන විප්ලවයක් දක්වා මේ සටන ගෙනියන්න ඕනෑ බව අපි හිතනවා. එදා නුවන් බෝපගේ කළ කතාව බලන්නැයි අපි ඔබට යෝජනා කරනවා.

අදටත් පාර්ලිමේන්තුවේ කළිසම උස්ස උස්සා කතා කරන්නේ එදා මීතොටමුල්ල මිනීමැරුම්වලටත්, ආර්ථි කඩාවැටීම සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වගේ මිනීමැරුම්වලටත් වගකියන්න ඕනෑ බිහිසුණු පාලක රනිල් වික්‍රමසිංහමයි.

කමක් නෑ! උං බිහිසුණුයි! උං නරුමයි! උං මිනීමරුවන්! ඒත් ජනතාව විදියට අපි දිගින් දිගටම මෙතෙක් ආ සටන් පාරේ ඉදිරියට යමු.