ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවන් මැදිහත්ව ක්‍රියාකරන අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුට පහර දී මර්ණ තර්ජනය කර තිබෙන බවට ඉකුත් අප්‍රේල් 11 වන දින පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී අනාවරණය කළේය.
මාධ්‍ය සාකච්ඡාව
ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානයේ (PARL) පාර්ශවකරුවෙකු සහ අම්පාර දිස්ත්‍රික්ක ඉඩම් අයිතිය සන්ධානයේ කැඳවුම්කරු මෙන්ම ‘හියුමන් එලවේෂන් ඕගනයිසේෂන්’ (Human Elevation Organization/ HEO) ආයතනයේ අධ්‍යක්ෂක නිහාල් අහමඩ්, අම්පාර දිස්ත්‍රික්ක ඉඩම් අයිතිය සන්ධානයේ සභාපති පී. කයිරුදීන් සහ එම සංවිධානයේ උපදේශක එම්. එම්. ඉෆ්තිකාර් ඇතුළු පිරිසකට මෙසේ පහර දී තර්ජනය කළ බව එහිදී මාධ්‍යය වෙත අදහස් පළකරමින් ඔවුහු කියා සිටියහ.
අප්‍රේල් 5 වෙනිදා මොරවිල ආර ප්‍රදේශයේ දී ගොවීන් සමග ක්ෂේත්‍ර චාරිකාවක යෙදී සිටිය දී ගල්ඔය වැවිලි සමාගමේ නිලධාරින්යැ යි පැවසු පිරිසක් විසින් තමන් ඇතුළු පිරිසට පහර දී මරණ තර්ජනය කළ බව මානව හිමිකම් ක්‍රියාධරයකු වන නිහාල් අහමඩ් පැවසීය.
“අපි මිනිස්සුන්ගේ නැතිවෙච්ච ඉඩම් කිහිපයක් බලන්න ගියා. ඒ ඉඩම් උක් වගාවට කියලා අරගෙන ඒ ඉඩමට විකල්ප ඉඩමක් හෝ වන්දියක් දීලා නෑ කියලා ගොවියන්ගේ ප්‍රශ්නයක් තිබුණා. ඒ ගොවි මහත්තුරු අපිව එක්කගෙන ගියා ඒ අයගේ ඉඩම් තියෙන තැන් පෙන්වන්න. අපි මොරවිල් ආර තියෙන ඉඩමකට ගියා බලන්න. එතනට ගිහින් අපි ඉඩම බලලා ලොකේෂන් එක අරගෙන එනකොට මෝටර් බයිසිකල් හතර පහකින් අට දෙනෙක් විතර ඇවිත් ඇවිල්ලා වට කරා. වට කරලා, ‘මේ පාරෙන් එන්න බැහැ, අපි ගල් ඔය වැවිලි සමාගමෙන් ඇවිල්ලා ඉන්නේ, අපිට අයිති පාර මේක, මේ පාරෙන් එන්න බැහැ ආපහු හරවගෙන එන්න පොලිසියට බාර දෙන්න ඕනේ ඕගොල්ලන්ව’ කියලා අපිව ඒ අයගේ උක් වගාවක් තියෙන තැනකට එක්කගෙන ගිහිල්ලා අපිට හොඳටම ගැහුවා.”
පැය තුනකට වැඩි කාලයක් ඔවුන් රඳවාගෙන වධහිංසාවට ලක්කර, නිරුවත්කර විඩියෝගත කිරිමෙන් අනතුරුව මෙම සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කළහොත් එම විඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කළ බව ද එහිදී කියා සිටියේය.
“එතන විස්සක් විසිපහක් විතර හිටියා. අපිව මරන්නම වගේ ඒ අය අපිට ගැහුවා. එතන හිටපු ඔක්කොම ගල්ඔය ප්ලාන්ටේෂන් එකේ වැඩ කරන නිලධාරින් තමයි. ගැහුවා විතරක් නෙමෙයි අපි තුන්දෙනාගේ ඇඳුම් ගලවලා විඩියෝ කරලා කිව්වා, මෙතන ගහපු එක, මෙතන වෙච්ච දේ එළියට ගිහිල්ලා කිව්වොත්, පොලිසියට ගිහිල්ලා කිව්වොත් මේ ටික සෝෂල් මීඩියා එකට දානවා කියලා අපිට තර්ජනය කළා,” නිහාල් අහමඩ් පැවසීය.
පොලිස් පැමිණිල්ල
මෙම සිදුවීම සම්බන්ධයෙන් නිහාල් අහමඩ් සමන්තුරේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර ඇත.
එම පැමිණිල්ල විභාග කිරීමට පසුගිය අප්‍රේල් 11 වෙනිදා පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද විත්තිකාර ගල් ඔය වැවිලි සමාගමේ පාර්ශවකරුවන් එදින පොලිසියට පැමිණ නැත.
“පැමිණිල්ලක් තියෙනවා, ඒ අයට එන්න කියලා තිබුනා, ඒ අය ආවේ නැහැ. අපි ඒ ගැන අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. ඒ අය අපේ ඒරියා එකේ නෙමෙයි. අදාළ පොලිසියට අපි මැසේජ් දීලා තියෙනවා මේ අය වහාම පොලිසියට ඉදිරිපත් කරන්න කියලා. ඒත් තවමත් ඒ ගොල්ලෝ ඉදිරිපත් වෙලත් නැහැ,” සමන්තුරේ පොලිස් ස්ථානාධිපති බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
සැකකරුවන් පොලිසියට ඉදිරිපත් කරන ලෙස ගල් ඔය වැවිලි සමාගමට ද දන්වා ඇති බව කී පොලිස් ස්ථානාධිපති සුරවීර ජයලත්, ඔවුන් ඉදිරිපත් නොවුනහොත් අධිකරණ වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව තවදුරටත් කියා සිටියේය.
‘කතාබහක් සිදුවෙලා තිබුණා, පහර දීලා නැහැ’
ප්‍රහාරය සම්බන්ධ චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන ගල් ඔය වැවිලි සමාගම, මෙම සිදුවීම තම අයතනය සහ නිලධාරින් අපකීර්තියට පත් කිරිමට ගොතන ලද බොරු පැමිණිල්ලක් බව කියා සිටියේය.
පහරදීමක් හෝ එවැනි කිසිදු සිදුවීමක් නොවුන බවත්, තම ආයතනයේ ක්ෂේත්‍ර චාරිකාවේ නිරතවන අවස්ථාවේදී පිරිසක් හමුවු බව සහ ඔවුන් අතර කතාබහක් සිදු වී තිබුණ ද පහර දීමක් සිදුනොවු බව වැවිලි සමාගමේ සමාන්‍යාධිකාරි වරුණ මධුෂාන් බිබිසි සිංහල සේවය වෙත කියා සිටියේය.
“එහෙම පහරදීමක් නම් අපි කරලා නැහැ. අපේ ස්ටාෆ් එක ෆිල්ඩ් විසිට් එකක් යන වෙලාවේ ඒ කට්ටියක් ෆිල්ඩ් එකේ ඇවිල්ලා තිබුණා. අපේ ෆිල්ඩ්වල අපේ කට්ටිය විසිට් කරන වෙලාවේ ඒ කට්ටිය ඇවිල්ලා තියෙනවා. ඒ ෆිල්ඩ් සම්බන්ධව යම් කතාබහක් ඇතිවෙලා තිබුණා. ඒ ඇරෙන්න වෙන දෙයක් එතන සිද්ධ වෙලා නැහැ,”යි ඔහු පැවසීය.

‘උක් වගාව සඳහා පමණක්’
අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් විසින් පාරම්පරිකව ගොවිතැන් කරන ලද ඉඩම් අක්කර 7250කට ආසන්න ප්‍රමාණයක් 1965 දී එවක රජය විසින් පවරා ගන්නා ලදී. “උක් වගාව සඳහා පමණක්” යන කොන්දේසිය යටතේ ඉඩම් අත්පත් කරගත් ගොවීන්ගෙන් පිරිසකට විකල්ප ඉඩම් ලබා දී ඇති අතර තවත් ගොවීන් පිරිසකට වන්දි ලබා දී ඇත.
එහෙත් අද වනතුරුම ගොවීන් බොහෝ දෙනෙකුටම වන්දි හෝ ඉඩම් ලබා දී නැත.
සීනි සංස්ථාව ක්‍රියා විරහිත වීමෙන් පසුව ගොවීන් මෙම ඉඩම්වල වී වගාව ආරම්භ කර ඇති අතර 2007 වසරේ සිට මෙම ඉඩම් කළමනාකරණය කර ඇත්තේ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයෙන් යුත් ගල්ඔය වැවිලි සමාගම විසිනි.
දැනට උක් වගාකර පාඩු ලැබු ගොවීන් හමුවීමට සහ රජයට පවරාගන්නා ලද තම පාරම්පරික ඉඩම් නිරික්ෂණයට ගිය අවස්ථාවේ දී ක්‍රියාකාරීන් පවසන ආකාරයට ඔවුන් ඇතුළු ගොවීන් පිරිස මෙසේ මැර ප්‍රහාරයට ලක්ව තිබේ.
“උක් වගාව සඳහා පමණක්” යන කොන්දේසිය යටතේ විකල්ප ලෙස ලබා දුන් ඉඩම් සහ රජයට පවරා ගෙන මේ වන විට උක් වගා නොකරනු ලබන ඉඩම් වී ගොවිතැන සඳහා නැවත ගොවීන්ට ලබා දෙන ලෙසට නිහාල් අහමඩ් ඇතුළු ක්‍රියාකාරීන් සහ ගොවීන් විසින් වසර ගණනාවක් තිස්සේ ඉල්ලිම් කොට තිබේ.
කෙසේ වෙතත් අදාළ පහරදීම තමන් පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත්, සිදුවීමට සම්බන්ධවූවන් නීතිය හමුවට පමුණුවන ලෙසත් ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය රජයට බලකර සිටියි.
“ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය වශයෙන් අපි මෙම පහරදීම තරයේ හෙලා දකින අතර, මෙයට අදාළ පහරදුන් පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒම සඳහා මෙන්ම ඉඩම් අහිමිවූ ගොවීන්ට සාධාරණය ඉෂ්ඨ කිරීම සඳහා කඩිනමින් අදාල සියලු බලධරයන්ගේ අවදානය යොමුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු,” එම සංවිධානයේ සඳුන් තුඩුගලගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
උපුටා ගැනීම – http://www.bbc.com/sinhala
ගොවියන්ගේ කතාව