බිත්තර, කුකුළුමස් කර්මාන්තය විනාශ කරලා, දැන් අස්වැන්න පැහැරගන්නවා! දේශීය කුකුළුමස් කර්මාන්තයේ අවසානය

බිත්තර ආනයනය කිරීමේ උත්සාහය අසාර්ථක වූ පසු දේශීය ගොවිපළවලට පාරිභෝගික අධිකාරිය කඩාවැදී දින ගණනක බිත්තර අස්වැන්න බලහත්කාරයෙන් පටවාගෙන යන බව කුකුළු ගොවීන් සුරැකීමේ එකමුතුවේ කැඳවුම්කරු සංජීව කරුණාසාගර කියා තිබේ.

කොවිඩ් සමරයේ මෙරට කුකුළුමස් සහ බිත්තර නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වූ නිසා කුකුළු ගොවියන් වැඩි දෙනෙකු කර්මාන්තය අත්හැර ගිය බවත්, දැන් ඉතිරි වී සිටින්නේ සීමිත ගොවීන් පිරිසක් බවත්, ඒ අයද දැන් පවතින තත්වය හේතුවෙන් කුකුළුමස් කර්මාන්තය අත්හරිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා තිබේ.

මෙරට කුකුළු ගොවීන් සඳහා බලපා ඇති සාධක කිහිපයක් ඔහු පෙන්වා තිබේ.

01. පිටරටින් බිත්තර ආනයනය

02. දේශීය වෙළඳපොළේ පාලන මිලක් ගැසට් කිරීම.

03. සත්ව ආහාර ඇතුළු අනෙකුත් පහසුකම්වලට ඇති ඉතා ඉහළ බදු බර.

ඒ අතරින් ප්‍රධානය. මෙරට ජනතාවට කුකුළුමස් මිල ඉහළ යද්දී අපේම රටේ අපේම ගොවීන් සමග විශාල කේන්තියක් ඇති වූ අතර, මෙරට ගොවීන්ගේ ඒකාධිකරයට ‘පාඩමක් උගන්වන්නට‘ පිටරටින් බිත්තර ගෙන ඒමට සැලකිය යුතු පිරිසක් සහයෝගය දුන්නේය. එහෙත්, සැබැවින්ම මෙරටදී නිෂ්පාදනය කරමින් පවතින භාණ්ඩයක් පිටරටින් ගෙන එන්නට සිදුවීම සියල්ල ආනයනය කරන දුර්වල ආර්ථිකයක් දේශීය කර්මාන්ත තව තවත් දුර්වල කරමින්, ආනයනවලටම යොමු වීම අර්බුදයේ තවත් පතුලට යෑමක් බව බොහෝ අය තේරුම් ගෙන තිබුණේ නැත.

එමෙන්ම, ඇමතිවරුන් හපන්කමක් ලෙස දේශීය ගොවීන් විනාශ කරන පියවරවලට තව තවත් යොමු වූ අතර, කුඩා කර්මාන්ත රැකගැනීමේ කිසිම වුවමනාවක් ආණ්ඩුවට තිබුණේ නැත. කුකුළුමස් ගොවීන් දුර්වල වීම පසුපස අයිඑම්එෆ් ආයතනයට සමගාමීව මෙරට ක්‍රියාත්මක කරන ආර්ථිකය හකුළන අන්දමේ පියවර තිබේ.

අප්‍රේල් 16 වැනිදා මැල්සිරිපුර පැවති මාධ්‍ය හමුවකදී සංජීව කරුණාසාගර ප්‍රකාශ කළේ මෙස්ය.

‘වර්තමානය වන විට දේශීය වෙළඳපොළේ බිත්තරයක් හොයාගන්න බැරි තත්වයක් උද්ගත වෙලා තිබෙනවා. උත්සව සමරයේදී වෙනත් කාලවලට දකින්න නොලැබෙන බිත්තර හා කුකුළුමස් මේ සැරේ දකින්න නැහැ. කොටින්ම මේ සිංහල අවුරුද්ද අපේ රටේ ජනතාවට බිත්තර හා කුකුළුමස් නැති අවුරුද්දක් වුණා. ඒක තමයි ඇත්ත තත්වය.

උත්සව සමයේ ජනතාවට සහන සලසන්න කියලා ආණ්ඩුවට පිටරටින් බිත්තර ආනයනය කරලා ඒවා බේකරිවලට ලබා දුන්නා. නමුත් මොකක්ද ජනතාවට ලැබුණු සහනය. ජනතාවට බිත්තර ලැබුණේත් නෑ. අඩු මිලට කේක් ලැබුණේත් නෑ. එහෙම තියෙද්දී ආණ්ඩුව නැවත නැවතත් බිත්තර ආනයනය කරනවා.

ආණ්ඩුව බිත්තර ගෙන්නන්න හදනකොට අපි කිව්වා බිත්තර ගේන එක නෙවෙයි විසඳුම, අපේ දේශීය කුකුළු ගොවියාට අවශ්‍ය සත්ව ආහාර ඇතුළු අනෙකුත් පහසුකම්වල අධික බදු බර අඩු කරලා සහනදායී මිලකට ඒවා ගෙනල්ලා දෙන්න කියලා.

එහෙම වුණා නම් අපේ රටට අවශ්‍ය බිත්තර ප්‍රමාණය අපට රට ඇතුළේම නිෂ්පාදනය කරලා අඩු මිලට ජනතාවට ලබා දෙන්න හැකි වෙනවා.

නමුත් ආණ්ඩුවේ මැති ඇමතිවරු මොකක්ද කළේ, දේශීය කුකුළු ගොවියාට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නැතිව බිත්තර විතරක් ආනයනය කළා. එහෙම ගෙනාපු බිත්තරත් දේශීය වෙළඳපොළට දාන්නේ නැතිව බේකරිවලට දුන්නා. එහෙම දීලා ගැසට් එකක් ගැහුවා රුපියල් 44ක පාලන මිලක් දාලා.

දැන් පාරිභෝගික අධිකාරියෙන් අපේ කුකුළු ගොවිපළවලට එනවා බිත්තර හොයාගෙන. ඇවිල්ලා අපේ ගොවිපළවල දින ගණනක බිත්තර අස්වැන්න බලහත්කාරයෙන් පටවාගෙන යනවා අපි වැඩි මිලට ඒවා විකුණනවා කියලා.

පසුගිය කොවිඩ් සමයේ අපේ රටේ කුකුළුමස් හා බිත්තර නිෂ්පාදන අලෙවි කරගන්න බැරි වීම හේතුවෙන් අපේ කුකුළු ගොවීන් වැඩිදෙනෙක් කර්මාන්තය අත්හැරලා ගියා.

දැන් රටේ ඉතිරිවෙලා ඉන්නේ සීමිත ගොවීන් පිරිසක්. ආණ්ඩුව දැන් මේ නටන නාඩගමත් එක්ක ඒ ඉතුරු ගොවීනුත් කුකුළු කර්මාන්තය අත්හරින්න දන්නේ.

ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේත් ඒක. එහෙම වුණාම අපේ රට බිත්තර, කුකුළුමස් නිෂ්පාදනය කරන්නේ නැති රටක්. එතකොට සීයට සීයක්ම ඒවා ගේන්න වෙනවා පිටරටින්. මරු වැඩේ. විදේශීය කොමිස් කුට්ටි පිටින් කෙළින්ම ඇමති සාක්කුවට.

ඒ නිසා අපි ආණ්ඩුවට නැවත නැවතත් බල කරනවා මේ සත්ව ආහාරවලට ගහලා තියෙන අධික බදු බරට අඩු කරලා දේශීය කුකුළු ගොවියාට ඔලුව උස්සන්න පුළුවන් වටපිටාවක් ඇති කරන්න කියලා.

එහෙම නැත්නම් ඉදිරියේදී මේ මහ වැඩ්ඩෙක් කියලා කියාගන්න පිං ජනාධිපතියි එයාගේ හොර ඇමතිලායි ප්‍රමුඛ කොමිස් ආණ්ඩුව එකට තියලා මඩවන්න අපි සූදානම්.‘