සජිත්ට අගමැතිකම බාරගන්න කීවායැයි පළ වූ ප්‍රවෘත්ති වාර්තා මනෝ ප්‍රතික්ෂේප කරයි!

තමන් රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවකට සහභාගී වූ නමුත්, එහිදී සජිත් ප්‍රේමදාසට අගමැතිකම භාරගන්නැයි යෝජනාවක් ඉදිරිපත් නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රකාශ කරනවා.

මේ පිළිබඳ අප වෙත එවන ලද නිවේදනයක මෙසේ සඳහන්.

‘එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් එක සංධානයකට ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මා සාකච්ඡා පැවැත්වූ බව ඇත්ත.

නමුත් මේ සාකච්ඡාවේ කිසිදු අවස්ථාවක අගමැති තනතුර පිළිබදව කතා කළේ නැහැ. ඒ ගැන අදහස් ඉඅදිරිපත් කිරීමට ඉක්මන් වැඩිය යන අවබෝධය මා තුළ තිබුණා.

කෙසේ වෙතත් මේ සංධානගත වීම පිළිබඳ, විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ නිසා එම සාකච්ඡාව ඉදිරියට ගෙනයෑම මා විසින් අත්හිටුවා දැම්මා.

එසේ තිබිය දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අගමැති තනතුර ලබා දීමට සූදානම් බවට මා හරහා පණිවිඩයක් ලබා දී ඇතැයි පවසමින් ඇතැම්
මාධ්‍යයන් විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යක්.

ඒ වගේම මම පණිවිඩකරුවන් නොවෙමි. සද්භාවයෙන් මතවාදීව යම් සාකච්ඡාවක දී මැදිහත්කරුවකු ලෙස ඉදිරිපත් වීමට හැකියාවක් ඇතැත් පණිවිඩකරුවාගේ භූමිකාව මා විසින් නොකරන බවත් ප්‍රකාශ කර සිටීමට කැමැත්තෙමි.‘

මේ පිළිබඳ පළ වූ වාර්තා කිහිපයක් අප විසින් පළ කරන ලද වීඩියෝවකදීත් උපුටා දැක්වුවා. එහෙත්, එහිදී අපගේ වීඩියෝව පදනම් වී තිබුණේ මෙම යෝජනාව මත නොවන අතර, ආණ්ඩුවට අදාලව පළ වූ වාර්තා උපුටා දැක්වීමේදී මෙම වාර්තාව ගැනත් අප අවධානය යොමු කළා.