දැවැන්ත ජනතා මැයි රැළියක්! මර්දනයටත්-අසාධාරණ ආර්ථික ප්‍රතිපත්තිවලටත් එරෙහි දැවැන්ත සටන දියත් වේ!

ස්වාධීන වෘත්තිය සමිතිවල සහභාගීත්වයෙන් දැවැන්ත ජනතා මැයි රැළියක් පැවැත්වීම පිළිබඳ මූලික සාකච්ඡා ප්‍රධාන වෘත්තිය සමිති ගණනාවක් අතර ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, ඊටත් වඩා භයානක ත්‍රස්ත විරෝධී පනත පරාජය කිරීම, පෞද්ගලිකකරණය කොට- ජනතාවට සේවා සැපයීමෙන් මුදල් ඉපයීමේ අවස්ථාව විදේශිකයන් සහ ගජමිතුරු ව්‍යාපාරිකයන් වෙත ලබා දීමේ දූෂිත ක්‍රියාවලියට එරෙහි වීම, මෙරටින් විදේශ රටවලට පැන්නූ ඩොලර් බිලියන ගණනක දැවැන්ත ධනස්කන්ධය නැවත රට තුළට ගෙන ඒම, අසාධාරණ බදු වෙනස් කොට වැඩිපුර උපයා ඇති පුද්ගලයන්ගෙන් වැඩිපුර බදු අයකරන ක්‍රමයක් ඇති කරවාගැනීම, කම්කරු නීති සංශෝධනය කරමින් වැඩකරන ජනතාවගේ අයිතීන් වැනසීමට එරෙහි වීම ආදී ක්‍රියාවලීන්ට එරෙහි ඒකාබද්ධ සටන් පෙරමුණක් ගොඩනැගීම මෙම මැයි දිනයේ අරමුණ වනු ඇත.

මෙම මැයි රැළිය ආණ්ඩුවේ දරුණු මර්දනය මෙන්ම ආර්ථික වශයෙන් ජනතාව පීඩාවට පත් කිරීම සඳහා ගනු ලබන ඉහත ක්‍රියාමාර්ග පරාජය කිරීම සඳහා සංවිධානාත්මක දිගු ගමනක් සඳහා පිම්මක් වනු ඇතැයි අප සමග අදහස් දැක්වූ වෘත්තිය සමිති නායකයන් කිහිපදෙනෙකු පැවසීය.

ඒ අනුව වෘත්තිය සමිතිවල සාමාජිකයන්, බහුජන සංවිධාන, ක්‍රියාකාරීන් මෙන්ම පුරවැසියන් සහභාගී කරවාගනිමින් මෙම මැයි රැළිය පැවැත්වීම පිළිබඳ සාකච්ඡා පැවැත්වේ. අප්‍රේල් 19 වැනිදා මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

අප්‍රේල් 10 වැනිදා සියලු වෘත්තිය සමිතිවල සහභාගීත්වයෙන් පැවති වෘත්තිය සමිති නියෝජිත හමුවේදී එක්සත් කම්කරු සම්මේලනය ඒකාබද්ධ මැයි රැළියක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ වන විටත් වෘත්තිය සමිති කිහිපයක් අතර මැයි රැළියක් පිළිබඳ අදහස සාකච්ඡාවකට ලක් වෙමින් තිබුණු බව අප සමග අදස් දැක්වූ වෘත්තිය සමිති නායකයෙකු පැවසීය.

ලංකා ගුරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ටෙලිකොම් වෘත්තිය සමිති ඇතුළු වෘත්තිය සමිති ගණනාවක් මෙම මැයි රැළිය පිළිබඳ මූලික එකඟතාවක සිටින බව වාර්තා වේ.