ත්‍රස්ත පනත අවභාවිතා කරන හැටි- පනත එන්නත් කලින් මධුර රටටම කියයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විභාග උත්තර නොබලා සිටීම පවා ත්‍රස්තවාදයක් ලෙස හුවා දක්වන හැටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පෙන්වා දීලා තියෙනවා.

දැනට මේවා මාධ්‍යවලින් කියන්න විතරයි ඔවුන්ට පුළුවන්. නුදුරේදීම අලුත් ත්‍රස්ත පනත සම්මත කරලා මේවා ත්‍රස්තවාදය ලෙස නම් කර දඬුවම් කරන්නත් ඔවුන්ට හැකියාව ලැබේවි.

මධුර විතානගේ මන්ත්‍රීවරයා මව්බිම පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් කියා තිබෙන්නේ විභාග උත්තර පත්තර බැලීම ප්‍රමාද කිරීම තුළින් දරුවන් තුළ අසහනයක් ඇති කර 88-89 කාලයේ වැනි ලේ ගංගාවක් කිරීමේ කුමන්ත්‍රණයක් ගැන තොරතුරු තියෙනවාලු. (අම්මපා කියන්න මන්ත්‍රීතුමා)

එතකොට විභාග අස්සේ ලයිට් කපලා ඔබේ පක්ෂය මේ ආණ්ඩුව දරුවන්ගෙ හිතේ සහනයක් ඇති කළාද?

ත්‍රස්ත විරෝධී පනත සම්මත කරගන්නේ මෙවැනි හුදු සංකල්ප මත පදනම් වී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහායි. ඕනෑම ක්‍රියාවක් නහය අල්ලන්නට ඔලුව වටේ අත කරකවනවා වාගේ වටයක් ගෙන ගොස්, ත්‍රස්තවාදය පැත්තට හරවන්න පුළුවන්. ආණ්ඩුව කරන ජනපීඩාකාරී ක්‍රියා හැර අනෙක් ඕනෑම ක්‍රියාවක් ‘රට ගිනිතියන‘ ක්‍රියාවක් ලෙස අර්ථකතනය කරන්න පුළුවන්.

මේ ගිය සතියේම පොලීසිය විසින් අසූ ගණන්වල බාල්දිය කියපං කීවා වාගේ, මුස්ලිම් ජනතාවගේ ආගමික පාඨය කියන්න කියා ජනතාව වාර්ගික බෙදීම්වලට ලක් කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු, ඇමති ආරක්ෂක අංශ සහ හාමුදුරුවරුන් ගිහින් උතුරේ පන්සල් හදන්නට (සංචාරක හෝටල් හදනවා වාගේ) ඉඩම් බලන්නට ගිහින් දෙමළ මිනිසුන් අවුස්සමින් ඉන්නවා.

එහෙම රටක ආචාර්යවරුන් තමන්ගේ ප්‍රශ්නයක් විසඳාගන්නට කරන ලද වර්ජනයක් (ඒ වර්ජනය අවසන් කරන්න තීන්දු කරලායි දැන් තියෙන්නේ.) පවා ත්‍රස්තවාදය විදියට අර්ථකතනය කිරීමට ආණ්ඩුව පෙළඹෙනවා.

වර්ජනයක් කරන එක සදාචාරය අනුව හෝ වෙනත් යම්කිසි නීතිරීති අනුව වරදක් වීම වෙනයි. එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම් කරලා, ඒ අයගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන් නැති කරමින් ඒ අයව හිර කරලා දාන එකයි මෙහි තිබෙන භයානකකම.