අවුරුදු 17ක් වයස පෙම්වතියව නිරුවත් කරලා, ජංගම දූරකථනයෙන් වීඩියෝ කරලා, ඇගේ ලිංගික අවයවවලට මිරිස් කුඩුවලින් පහරදුන් පෙම්වතෙකු අප්‍රේල් 25 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න කියා මිනුවන්ගොඩ දිසා විනිසුරු හේෂාන්ත මෙල් 11 වැනිදා නියෝග කළ බව ගම්පහ ටෝනි කරුණානායක වාර්තා කර තිබුණා.
ඇතැම් මාධ්‍ය ආයතන ආචාරධර්ම විරෝධී ලෙස මේ සැකකාර තරුණයාගේ නම වාර්තා කර තිබුණත්, අප මෙතැන ඔහුගේ නම සඳහන් කරන්නේ නැහැ. එහෙත්, දැනට වාර්තා කර ඇති තොරතුරු අනුව මේ තරුණයා මෙතරම් බිහිසුණු ක්‍රියාවක් තමන් ‘ආදරය කරන‘ පෙම්වතියට කරලා තියෙන්නේ ඇය තවත් කෙනෙකු එක්ක නොදන්වා ගමනක් ගියා කියලයි.
මේ ප්‍රවෘත්තිය අපගේ තරුණ සමාජය ‘ආදරය‘ වැනි මාතෘකාවක් ගැන සිතන අන්දම ගැන වේදනා ඇති කරන පුවතක්. හැම කෙනාම මෙතරම් දරුණු ක්‍රියා නොකරන බව ඇත්ත. එහෙත්, සැකය මෙතරම් දරුණු ස්වරූපයකින් තරුණ ආදර සම්බන්ධතාවල පවතිනවා.
මෙම සිදුවීමට හේතු වූ ප්‍රේම සම්බන්ධය දෙපාර්ශ්වයේම මාපියන්ගේ අනුදැනුම මත පැවතුණ එකක්ලු.
මේ තරුණයා මෝටර් සයිකලයෙන් තමන්ගේ මිතුරෙකුගේ නිවසකට තරුණිය රැගෙන ගියාලු. ඉන්පසු ඇති වූ ගැටුමක් දුර දිග ගිහින්, ඈව නිරුවත් කොට කුස්සියේ තිබුණු මිරිස් කුඩු බෝතලය ඇගේ ලිංගික අවයවවලට හලා තිබෙනවාලු.
පැමිණිලිකාර දැරියගේ ප්‍රකාශය මත එසේ කර ඇත්තේ ‘උඹ කවදාවත් හැදෙන්නේ නෑ. ඇත්ත කියපන්‘ යැයි කියමින්.
මෙහිදී බැලූ බැල්මට වරද ඇත්තේ මේ ලාබාල තරුණයාගේ. මෙතරම් හිංසනකාරී වීම ඔහුගේ වරදක්.
එහෙත්, මෙවැනි දරුණු ක්‍රියාවක් තමන් ආදරය කරන තරුණියට කිරීම සඳහා තමන්ට ‘අයිතියක්‘ ඇති බව ඔහු හිතනවා නම් ඒ මානසික තත්වය හැදුවේ කවුද? පෙම්වතිය පමණක් නෙවෙයි, ඕනෑම ගැටලුවක් විසඳාගන්නට මෙවැනි හිංසනකාරී ක්‍රියා සිදු කිරීම සාධාරණයැයි සිතුවේ කෙලෙසද?
කලාව, ජනමාධ්‍ය, අධ්‍යාපනය හා ආගම විසින් ඕනෑ කෙනෙකුගේ මනස හැඩගස්වනවා. මේ හතර කෙළින් ඇසුරු නොකරන කෙනෙකුට වක්‍රව හෝ ඒවායින් ඇති වෙන බලපෑම ගලා යනවා.
ලංකාවේ කාන්තාවන් භාණ්ඩකරණය සඳහා ජනමාධ්‍ය කෙළින්ම යොමු වෙනවා. සංස්කෘතික වශයෙන් කාන්තාව ගැන නොයෙකුත් කතාන්දර කියනවා. ගීතවල කතා කරන්නේ අහිංසක පෙම්වතුන් සහ ඒ අයට දුක් වේදනා දී ගියපු නරක ගැහැණුන් ගැන ගීත. ආදරයක් කඩාවැටෙන හැටි, සැකය ඇතිවෙන හැටි වඩා සාධාරණ විදියට දකින ගීත ආදිය නැහැ.
අපේ හාමුදුරුවරුන් බණට කියන්නේ ඉතා අහිංසක තරුණයන්ව අමාරුවේ දමන තරුණියන් ගැන. මෑතකදීත් හිමිනමක් එවැනි බණක් කියා තිබුණු හැටි සමාජ මාධ්‍යවල කියා තිබුණා.
අධ්‍යාපන ආයතනවලදී විද්‍යා ගුරුවරුන් මනුෂ්‍ය සම්බන්ධතා ගැන කියා දෙන කතාන්දර පවා එකිනෙකා තේරුම් ගත්ත දියුණු සංස්කෘතියකට අපව තල්ලු කරන්නේ නෑ.
ඉතින්! තමන්ගේ ආදර සම්බන්ධය තුළට සැකය-බිය-අවිනිශ්චිතතාව එද්දී දරුණු වෙන්නට පෙළඹුණු අවුරුදු 18ක ලාබාල තරුණයාත් ඇත්තටම ඒ අපරාධයේ වින්දිතයෙක්.
වගඋත්තරකරුවන් නිදැල්ලේ.