සබ්රි ලෝකය රවටන්න රැස්වීමක් ගනී! සංහිඳියාව ගැනයි ත්‍රස්ත පනත ගැනයි තානාපතිවරුන් නොමග යවයි!

පියව තුනක් ඔස්සේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පිහිටවූ බව විදේශ අමාත්‍ය අලි සබ්රි ලෝකය ඇන්දවීමේ අරමුණෙන් කියා තිබේ. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීම සඳහා පැවති හමුවකදීය.

මේවාට රැවටෙනවා නම්, ජාත්‍යන්තර සමාජයකින් වැඩක් ඇත්තේ නැත. මෙය නොමග යැවීමක් බව අප කියන්නේ මෙසේය.

මෙය මහා විහිළුවක් වන්නේ මේ වන විටත් රජය ප්‍රායෝගිකව ජාතික සංහිඳියාව ඇති නොකරන ආකාරයට කටයුතු කරමින් සිටින නිසාය. අප්‍රේල් 09 වැනිදා ගෝල්ෆේස්හි අන්තර් ආගමික ඉෆ්තාර් වැඩසටහනකට පැමිණ, ඉස්සර මිනීමරුවන් බාල්දිය කියන්නැයි කීවා සේ, ඉස්ලාම් ආගමික පාඨ කියන්නැයි පොලීසිය බලපෑම් කර තිබුණි. ඉන් පසු මුස්ලිම් නොවන බව එයාලාට සිතුණු අය ඉවත් කර තිබුණි. ඊට අමතරව ඇමති ආරක්ෂකයන් සමග ගොස් පිස්තෝල පෙන්වා උතුරේ ඉඩම්වල පන්සල් හදන්නට දඟලා තිබුණි.

කෙසේ වෙතත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂවල සහයෝගය ගෙන සියලු ලාංකිකයන්ට ලැබිය යුතු ගෞරවය දීම සඳහා පුළුල් එකඟතාවකට පැමිණීම එම කමිටුවේ පළමු පියවර බව අමාත්‍යවරයා කියා තිබුණි. කමිටු හද හදා එකඟතාවලට එන්න කලින් මහපොළාවේ සිදුවන ජාතිවාදී ක්‍රියා නවත්වන්නට සැබෑ ලෙස ඔවුන් කටයුතු කළ යුතුය.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සශෝධනය කරන්නට පෙර සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීම එම කමිටුවේ දෙවැනි පියවර බවත් ඔහු කියා තිබුණි. ඒත්, මේ වෙනකොටත් ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පත් කර හමාරය. එහි ජාත්‍යන්තර ප්‍රමිතිය කෙසේ වෙතත්, මිනිහෙක්ට කතා කිරීමට ඇති අයිතිය පවා සීමා කර තිබේ.

තුන්වැනි පියවර ලෙස ඔහු සඳහන් කර තිබුණේ ‘සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක්‘ ස්ථාපිත කිරීමය. මේ ආණ්ඩුව දුවන්නේ කමල් ගුණරත්නලා ප්‍රමුඛ හමුදාවේ අ දෙන හයියෙන් වන අතර, රාජපක්ෂලා මේ ආණ්ඩුවට සහයෝගය දක්වමින් සිටී. සත්‍ය හෙළි නොවන්නේ සත්‍ය හෙළි වීම එවැනි අයට යහපත් දෙයක් නොවන නිසාය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හමුදාවේ සහයෝගය ලබා ගැනීම පිණිස සත්‍ය හැකි තරම් යටපත් කර තබා ගනු ඇත.

මේ වෙද්දී ශ්‍රී ලංකාව ණය නොගෙවා සිටීමත්, විදේශ ණය ටිකක් ලැබීමත් නිසා ආර්ථිකය ගිය අවුරුද්දේ තිබුණු තරම් ඇඟට දැනෙන මට්ටමක නැත. එහෙත් නිසි වෘද්ධි සැලැස්මක් නැති නිසාත්, ආර්ථිකය තව තවත් හකුළන ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කරමින් සිටින නිසාත් ඉදිරියේදී අර්බුදය තවත් තදින් මතු වීමේ ඉඩක් නැත. අයිඑම්එෆ් ඇතුලු සියලු ණය නැවත ගෙවන්න ඕනෑය.

ශ්‍රී ලංකාව සිටින්නේ අපායේ ඉන්ටර්වල් එකකය.

එවැනි පසුබිමක ආණ්ඩුව මේ කරමින් සිටින්නේ, දැන් පවතින විරාමයෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වීමය. ආර්ථිකය හදන්නේ රනිල් බව කියමින් සිංහල කතා කරන ජනතාවගෙන් කොටසක් ඇන්දවීමත්, ජාතික සංහිඳියාව ගැන පොත්වල තියෙන ඒසී කාමර බයිලා ටිකක් ගසා දෙමළ ජනතාව ඇන්දවීමත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ සැලසුම වී ඇත.

ජනාධිපතිවරණ කැම්පේන් එකට සහයෝගය ගැනීම සඳහා පතරංග කැබිනට් හදා, සියලු පාර්ශ්වවල සහයෝගය ගැනීමත් ඒ සැලසුමේ දිගුවකි.

ප්‍රශ්නය ඇත්තේ ජනතාව මේ බොරුවලට නැවත රැවටෙනවාද යන්නය.