ඩයනා අත්අඩංගුවට ගන්නවාද නැද්ද? මහේස්ත්‍රාත් 24 වැනිදා තීන්දුව කියයි! -එහෙම ගන්න බැහැ- නීතිපති ඩයනා වෙනුවෙන් පෙනී සිටී

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට සැක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නවාද, නැද්ද කියා තීන්දුවක් අප්‍රේල් 24 වැනිදා ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ඒ අප්‍රේල් 06 වැනිදා අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී

මෙහිදී සීඅයිඩීය දිගින් දිගටම ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන නොමැති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසට අගතියට පත් පාර්ශ්වය පැත්තෙන් කරන ලද ඉල්ලීම සලකා බලා මහේස්ත්‍රාත්වරයා ඉහත කී නියෝගය නිකුත් කළා.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත් වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිස්නා වර්ණකුලසූරිය කියා තිබුණේ ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබූ බවට තහවුරු කිරීමට සාක්ෂි නැති බවත්, ඒ සම්බන්ධයෙන් දැනටමත් බ්‍රිතාන්‍ය කාර්යාලයෙන් විමසීමක් කර ඇති බවත්. ඒ වාර්තාව එනතුරු ඇය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න බැරි බවත්, දැනටමත් රිට් ආඥාවක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කර ඇති බවත්, ඒකේ තීන්දුව ලැබෙනතුරු කිසිවක් කරන්න බැරි බවත් කියා තිබුණා.

එහෙත්, රිට් ආඥා ඉල්ලා පෙත්සම් ගොනු කළ පමණින්, අතුරු නියෝගයක් නොමැති නම් කිසිවක් නොකර ඉන්නට අවශ්‍ය නැහැ. එමෙන්ම ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගැනීමට හේතු දැනටමත් තිබෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්, ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට කරුණු ඇති බව පෙන්වා දුන්නා. ඇය බරපතල වැරදි කළ බවත්, පොලීසිය ඉල්ලා සිටියහොත් අවශ්‍ය නියෝග නිකුත් කළ හැකි බවත් මහේස්ත්‍රාත්තුමා අවස්ථා කිහිපයකදී කීවා.

එහෙත්, සීඅයිඩීය එම අවස්ථාවලදී කියා තිබුණේ ‘එහෙම හිතුමතේට අත්අඩංගුවට ගන්න බෑ‘ ස්වාමීණි කියායි.

පැහැදිලිව සීඅයිඩීය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඩයනා ගමගේ කර ඇති අපරාධය අනාවරණය කරගැනීම වෙනුවට, ඇගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතිඥයාගේ භූමිකාව ඉටු කරන විහිළු සහගත තත්වයක් මෙම නඩුවේ දිගින් දිගටම පෙනෙන්නට තිබෙනවා.