දෙමළ සහ මුස්ලිම් ජනතාව විසින් ත්‍රිකුණාමලයේ පුල්මුඩේහි පැවති පොන්මාලයිකුඩා ප්‍රදේශයේ බලහත්කාරයෙන් බෞද්ධ ඉදිකිරීම් සිදු කිරීමකට එරෙහිව පැවැත්වූ විරෝධයකට තුවක්කුවක් රැගත් ඇමති ආරක්ෂකයෙකු සමග හාමුදුරුවරුන් පිරිසක් කඩාවැදී ඇත.
එම කඩාවැදීමෙන් පසු, කෝපයට පත් වූ ප්‍රදේශවාසියෙකු ආවේගශීලීව අදහස් දක්වා ඇති අතර ‘මමත් මේ රටේ ඉපදුණු කෙනෙක්‘ කියා පවසමින්, තමන් හාමුදුරුවරුන්ට ගරු කරන බවද පවසමින් ආවේගශීලීව හැසිරී ඇත. එම ප්‍රදේශවාසියාව බියගැන්වීම සඳහා පිස්තෝලයක් රැගත් ඇමති ආරක්ෂක නිලධාරියෙකු ඉදිරියට පැමිණ ඇත.
දෙමළ ජනතාව යන එන මුහුදු වෙරළ අයිනේ පිහිටා ඇති ප්‍රදේශයක් ‘පුරාවිද්‍යා වටිනාකමක් ඇති ප්‍රදේශයක්‘ ලෙස නම් කරමින් අලුත් ‘බෞද්ධ ඉදිකිරීමක්‘ ඇරඹීමට උත්සාහ කර තිබේ. එහිදී හිමිනමකගේ රියදුරෙකු ගොවියෙකුගේ වැටක් කඩා දමා ඇති අතර, ඉඩම අල්ලාගැනීමට උත්සාහ කර ඇත. මෙයට දෙමළ හා මුස්ලිම් ජනතාව එරෙහි වී තිබේ.
සිතාමතා දෙමළ හා මුස්ලිම් ජනතාව ජීවත්වෙන ප්‍රදේශවල මිලිටරි අනුග්‍රහය ඇතිව සිංහලකරණයක නිරත වීම පිළිබඳ පර්ල් සංවිධානය විසින් 2019 දී නිකුත් කළ වාර්තාවක ඉස්මතු කර ඇත.
මේ වෙද්දී බෞද්ධ හිමිවරුන් උතුරු-නැගෙනහිර ප්‍රදේශවල ඉඩම්වලට ගොස් මුහුදු වෙරළවල් අද්දර හෝ වෙනත් ඉඩම් බලා, ඒවායේ පන්සල් ඉදි කිරීමට හුරු වී ඇත. මේ තත්වය සැක, බිය ඇති කරන තත්වයක් වන්නේ මෙය ප්‍රවණතාවක් විදියට වෙනත් තැන්වල ගොස් ඇති දුර සලකා බලද්දීය. සාධාරණ බියක් ඒ ඒ ප්‍රදේශවල සිටින දෙමළ ජනතාවට ඇතිව තිබේ.
ඉන් පසු, දකුණේ සිටින ජනකොටස් අතර ‘බෞද්ධ සංචාරක ගමනාන්ත‘ ලෙස එම ස්ථාන ප්‍රවර්ධනය කරන අතර, ඉන් පසු එම ස්ථානවලට ‘වන්දනා නඩ‘ ගෙන්වාගනී. මෙම ස්ථානවල ආරම්භ කරන විහාර සංවර්ධනය වෙනුවෙන් කියා එවැනි නඩවලින් මෙන්ම ධනවත් පිරිස්වලින් මුදල් එකතු කිරීමට පටන් ගනී. මෙම ස්ථානවල ‘සුන්දර පරිසරය‘ නිසා ‘භාවනාවට හොඳ තැනක්‘ වැනි අදහස් ප්‍රචාරය කරමින් එවැනි ක්‍රියා සිදු කරයි. පන්සල් ආශ්‍රිතව සිංහල පිරිස් පදිංචි කරවාගෙන වෙළඳසැල් ආදියද අරඹන අතර ඒ වෙනුවෙන් තව තවත් ඉඩම් ඇල්ලීමටත් යොමු වේ.
තවත් කාලයක් ගිය පසු, මෙම ඉඩම් ‘බේරාගැනීමට‘ යැයි කියමින් අලුත් ව්‍යාපාර ආරම්භ වේ. අහවල් පන්සල බේරාගමු කියමින්, විශාල ජාතිවාදී ප්‍රචාරක ව්‍යාපෘති සිංහල ජනතාව අතර පැතිරේ.
මෙවැනි ක්‍රියා සඳහා සිංහලයන්ගෙන් සැදුම්ලත් හමුදා, පොලිසි මෙන්ම ඇමති ආරක්ෂක කණ්ඩායම් යොදාගන්නා අතර, සම්පූර්ණයෙන්ම සිංහල දෘෂ්ඨිවාදයෙන් සන්නද්ධ වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි ආයතන ඒවාට සහයෝගය ලබා දේ.
මේ රටේ විනාශයන් රැසකට වගකිවයුතු පාර්ශ්ව අතර දේශපාලනය සමග ගැටගැසුණු ඇතැම් ආගමික නායකයන්ද සිටින බව අලුතින් කිව යුතු නොවේ. මෙවැනි ආගමික නායකයන්ට බෞද්ධ ඉදිකිරීම් සිදුකිරීමේ දැඩි වුවමනාවක් තිබෙන අතර ඒ වෙනුවෙන් බලහත්කාරයත් පාවිච්චි කරන අවස්ථා තිබේ.
එහෙත්, මෙවැනි ක්‍රියාකාරකම්වලින් නැවත විශාල ජාතිවාදයක් ඇවිස්සීමේ ඉඩකඩක් ඇත. මේවා පාවිච්චි කරමින් දැනටමත් සරත් වීරසේකර වැනි ජාතිවාදී දේශපාලනඥයන් බිහිසුණු අදහස් දැක්වීම් සිදු කර ඇත.
එමෙන්ම උපක්‍රමික බල වුවමනා මත මෙරට නැවත ජාතිවාදය ඇවිස්සීමේ රහසිගත බුද්ධි මෙහෙයුම් ගැනත් අප සැලකිල්ලට ගත යුතුය. දෙමළ ජනතාව තුළ ඇති වෙන මෙවන් සාධාරණ සැකයන් මත ඔවුන් දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙනු ඇත. එයට ප්‍රතිචාර විදියට දකුණේත් ජාතිවාදී කණ්ඩායම් නැවත නැගිටිනු ඇත. කල්ලි ගැසී මෙවැනි ප්‍රදේශවලට ගොස් තර්ජනාත්මක අයුරින් හැසිරෙනු ඇත.
ඉරාජ් වීරරත්න වැනි පුද්ගලයන්ද, ඩෑන් ප්‍රියසාද්, අමිත් වීරසිංහ වැනි පුද්ගලයන්ද, ඇතැම් හිමිවරුන්ද නැවත දැඩි ජාතිවාදී පදනමකින් කටයුතු ආරම්භ කරනු ඇත.