මේ වෙද්දී ප්‍රජාතන්ත්‍රවාදයට බිහිසුණුම තර්ජනය ලෙස මතුව තිබෙන යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ මුල් පිටපත සකස් කිරීම සඳහා පත් කරන ලද කමිටුවක ප්‍රධානියා ලෙස නීතිඥ සංගමයේ වත්මන් උප- සභාපති නලින්ද ඉන්දතිස්ස සම්බන්ධ වී සිටි නිසා මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිසි මැදිහත්වීමක් නොකරනු ඇතැයි නීතිඥ සමාජය තුළ කතාබහක් ඇතිව තිබේ.
නීතිඥ කෞෂල්‍ය නවරත්නගේ සභාපතිත්වයෙන් පත් වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව නිලධාරී මඬුල්ල තුළ නලින්ද ඉන්දතිස්ස ජනාධිපති නීතිඥවරයා උප සභාපතිවරයා ලෙස තේරී පත් විය. එහෙත් මෙම පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් පසු උක්ත පනත කෙටුම්පත් කළ උප සභාපතිවරයා ඒ පිළිබඳ කටයුතු කිරීමෙන් ඉවත්ව, බැඳියාවන් අතර ගැටුමක් තිබෙන බව හඳුනාගෙන නීතිඥ සංගමය කටයුතු කර නොමැත.
ඒ අනුව ජනතා විරෝධී පනත් කෙටුම්පත් කරන අයිතිවාසිකම් ගැන නොතැකූ උප සභාපතිවරයාත් සිටියදීම උක්ත පනත් කෙටුම්පත ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීන්දු තීරණ ගනු ඇති බවක් හැඟී යයි.
සරල බසින් කීවොත්, පනත ගැන ශ්‍රී ලංකාවේ නීතිඥයන්ගේ නිල ප්‍රතිචාරය දක්වන්න ඕනෑ කොහොමද කියා තීන්දු කරන්නට පනත හැදූ අයත් සහභාගී වීමට නියමිතය.
මේ වන විටත් එම පනත පිළිබඳ අධිකරණයේ කරුණු දැක්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට නීතිඥ සංගමයෙන් කමිටුවක් පත් කරන බව ප්‍රකාශ කර ඇති නමුත්, පනත පිළිබඳ මාධ්‍ය නිවේදනයක් පළ කිරීම හැර අන් කිසිදු කටයුත්තක් සිදු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කර නොමැත. ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංවිධානය ඇතුළු දේශීය-විදේශීය පාර්ශ්ව ගණනාවක් මෙම කෙටුම්පත පිළිබඳ නිවේදන පළ කර ඇතත්, මෙරට මානව හිමිකම් රැකීමට ඇති ප්‍රධාන පාර්ශ්වයක් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය කිසිදු නිවේදනයක් පළ කර නැත. හුදෙක් කමිටුවක් පමණක් පත් කිරීම පතෝල මට්ටමේ ක්‍රියාවකි. ‘සලකා බලන කමිටු‘ නම් ආණ්ඩුවත් පත් කරනු ඇත. මේ පනත බැලූ බැල්මටම ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර ‘කමිටු‘ පත් කරන්නට දෙයක් නොමැත.
මෙම පනත මුලින් ‘ජාතික ආරක්ෂක පනත‘ ලෙස නම් කර තිබුණු අතර ඉන් පසු එය ‘ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත‘ යන නමින් යුතුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි. ඉන් පසු එය ගැසට් කරන අවස්ථාව වන විට ‘ත්‍රස්ත විරෝධී පනත‘ ලෙස යළිත් නම වෙනස් කිරීමට කටයුතු කළේය.
ජනවාරි 10 වැනිදා අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සමාජ මාධ්‍ය හරහා පහත නිවේදනය පළ කර තිබුණි.
‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂක පනතක් කෙටුම්පත් කිරීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ සහ ජනාධිපති නීතිඥ නලින් ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුතුව පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් කෙටුම්පත් කළ ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා වෙත භාර දෙන ලදී.
එම අවස්ථාවට ගරු නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ අතිරේක නීති කෙටුම්පත් සම්පාදක ඩී.ඩී. කුලසේන, අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් හිරන්‍යා පෙරේරා, සහකාර ලේකම්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.‘
මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය සාලිය පීරිස්, ජෙෆ්රි අලගරත්නම් සහ උපුල් ජයසූරිය වැනි ජනාධිපති නීතිඥවරන්ගේ නායකත්වයෙන් පැවති කාලසීමාවලදී මෙවැනි පනත්, දෝෂාභියෝග හෝ වෙනත් මර්දනකාරී ක්‍රියා පිළිවෙත් මතු වෙද්දී, ඒවාට එරෙහිව නීතිඥ සංගමය ඍජුව පෙනී සිට ඇත. මාධ්‍ය නිවේදන පළ කිරීමේ සිට, සංගමයේ සභාපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට ඇති අනතුර පිළිබඳ ජනතාවට අනතුරු හඟවමින් අදහස් ප්‍රකාශ කිරීම් දක්වා කටයුතු සිදු කර ඇත.
හුදෙක් අධිකරණය තුළ නඩු ගොනු කිරීම ප්‍රමාණවත් නොවන අතර, අධිකරණයට මෙවැනි පනතක් පරාජය කිරීමේ හැකියාවක් නැත. ඇත්තේ එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ නිර්දේශ ලබා දීම පමණි.