(මෙම සටහන ආර්ථික විශ්ලේෂක- ආචාර්ය කල්ප රාජපක්ෂ අප්‍රේල් 04 වැනිදා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වූ විශේෂ දේශනය ඇසුරෙනි.)
අයිඑම්එෆ් එකේ අරමුණ මොකක්ද? අපි ග්‍රීසියේ අත්දැකීමෙන් විමසා බලමු.
අයිඑම්එෆ් එකට ග්‍රීසියේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය වුණේ නෑ. ඔවුන්ට අවශ්‍ය වුණේ යුරෝපයේ ද්‍රවශීලතාව පවත්වාගෙන යන්න. යුරෝපය තුල ග්‍රීක ප්‍රාග්ධනයේ අර්බුදය අනෙකුත් රටවල්වලට පැතිර යෑම වැළැක්වීම.
ඒක තමයි පළමු කොන්දේසිය ග්‍රීසියේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් IMF සහ යුරෝපානු මහ බැංකුව ඇතුළු බලවත් රටවල් ඉදිරිපත් කරපු. යානිස් වරුඵකිස් මේ බල දේශපාලනය ගැන ඉතා දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරනවා. අයිඑම්එෆ් යෑමෙන් ලංකාවේ ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් ලැබෙන්නේ නෑ. ලංකාවේ ණය අර්බුදයට අයිඑම්එෆ් ඉදිරිපත් කරන විසඳුමට එකම එක අරමුණයි තියෙන්නේ. ඒ තමයි ණය හිමියන්ගේ ණය නැවත ගෙවීම පමණයි. මෙතැන මතුවෙලා තියෙන ද්‍රවශීලතා ප්‍රශ්නය විසඳීම පමණයි මේකෙන් කරන්නේ.
මම දැක්කා පහුගිය දවස්වල අපේ මාක්ස්වාදී මිත්‍රයනුත් කියනවා අයිඑම්එෆ් කියන්නේ ජාත්‍යන්තර නීතිය යටතේ තියන, පොදු ආයතනයක් කියලා. සම්පූර්ණ වැරදි අදහසක්. මේක හදලා තියෙන්නේම ගෝලීය ප්‍රාග්ධනයට අවශ්‍ය විදියට. අයිඑම්එෆ් එකේ සමස්ත ප්‍රාග්ධනයට දායකවෙන අනුපාත මත තීරණය කරන බලයක් මත තමයි තීන්දු ගන්නේ. ගෝලීය මුල්‍ය අධිපත්‍යයේ ප්‍රතිනිරූපණයක් එතන තියනවා. මේක පොදු ආයතනයක් නෙවෙයි, ගෝලීය දකුණ නියෝජනය කරන ආයතනයක් නෙවෙයි.
අයිඑම්එෆ් විසින් ‘අපව ගලවාගැනීමට‘ යෝජනා කරන ප්‍රතිපත්තිය, වැඩපිළිවෙල.
මේ වෙද්දී අපි කොහෙද ඉන්නේ කියා බලමු. අපි ඉන්නේ මැක්‍රොඉකොනොමික් කන්ට්‍රැක්ෂන්, සාර්ව ආර්ථිකය හැකිළෙන වාතාවරණයක (Macroeconomic contraction).
මේ තත්වය ඇතුළේ නිර්මාණය වෙන්නේ අඩමාන ආර්ථික සම්බන්ධතා ප්‍රමාණයක් (Economic precariousness). කර්මාන්ත ක්ෂේත්‍රය කඩාවැටිලා. ආයෝජන කඩාවැටිලා. සේවා නියුක්තිය කඩාවැටිලා. සේවා නියුක්තිය පිළිබඳ බරපතල ප්‍රශ්න තියෙනවා. ඵලදායීතාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න තියෙනවා. යෙදවුම් ජාලය කඩා වැටිලා. මේ තත්වය යටතේ තමයි ඊළග ආර්ථික සංවිධාන ව්‍යුහය, පශ්චාත් IMF ආර්ථික සංවිධාන ව්‍යුහය ගොඩනංවන්නේ.
මේ සියලු කාරණාවලින් පස්සේ අවශ්‍ය වෙනවා මේ නවලිබරල් රාජ්‍යයට සහ අයිඑම්එෆ් එකට අතිරික්තයක් ජනනය කරන්න. Surplus එකක් ජනනය කරන්න. ඒක හදන්නේ කොහොමද? ශ්‍රමයෙන්. ශ්‍රමයට පමණයි එය කළ හැක්කේ.
ඒ නිසා ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර තියන බලය වෙනස් කිරීම IMF ගිවිසුම තුල අනිවාර්ය එකක්. එතකොට සේවා නියුක්තිය පැත්තෙන් ඇති කරන බලපෑම. සූරාකෑම සහ පීඩනය වර්ධනය වෙනවා (Economic precariousness: Exploitation of labor, Suppression of the working class) . ඒ නිසා හිතන්න එපා, පීටීඒ එක සහ මහබැංකුව ස්වාධීනකරණය කිරීම කියන ක්‍රියාවලින් එන්නේ හුදකලාව කියලා. ඒවා එන්නේ තීරණාත්මකව අයිඑම්එෆ් කොන්දේසි ඉෂ්ඨ කිරීම සඳහා.
ත්‍රස්ත පනත නැතුව අයිඑම්එෆ් කොන්දේසි ඉටු කරන්න බෑ. විවේචනය තබා, දේශපාලකයෙකුගෙ නමක්වත් කියන්න බැරි තත්වයට නීති හදනවා. ඒ ඉදිරියේදී ශ්‍රමය සහ ප්‍රාග්ධනයේ සාපේක්ෂ බලය මොනවගේද කියන එක වෙනස් කිරීමේ අභිලාෂයෙන්.
ලංකාවේ වැඩි වශයෙන් ජනනය වෙන්නේ ප්‍රොෆිට් ඕන් එක්ස්ජේන්ජ් (profit on exchange) හෙවත් හුවමාරුව මගින් බිහිවන ලාභය. එක වර්ධනය වෙනවා.
මේවා හරහා තමයි අතිරික්තය එක නිර්මාණය වෙන්නේ.
ඒක උරා ගන්නවා නව ලිබරල්වාදී රාජ්‍යය. බදුකරණය හරහා එක් පැත්තකිනුත්, අනෙක් පැත්තෙන් ධනපති පන්තිය හුවමාරුවේ ලාභය මගිනුත් උරා ගන්නවා. පහළින් නිෂ්පාදනය වන අතිරික්තය ඉහළට උරාගන්නට තමයි ඔවුන්ට ඕනෑ. මේක තමයි ඔවුන්ගේ කෝන්දේසිය.
තව තවත් ණය ගැනීම කියන තැනදී බලාපොරෝතතු වෙනවා ලංකාව ඇතුළේ සහ පිටත නිර්මාණය වන අතිරික්තය අනිවාර්ය වශයෙන් විදේශ විනිමය බවට පරිවර්තනය වීමක්. ඒ හරහා ණය පියවීමේ උපක්‍රමයක්.
මෙතැන තියෙන සරල තත්වය ඕක. අපට ලෝකේ උදාහරණ ගණනාවක් පෙන්වන්න පුළුවන්. පහුගිය දවස්වල වැඩමුළු කිහිපයකට අපි සම්බන්ධ වුණා. ඒවායේදී පෙන්වුවා ආජන්ටිනාව, ඝානාව, ග්‍රීසිය මුහුණදුන් අත්දැකීම්. එහි ඇගවුම තමයි මේ අර්බුදය මෙතැනින් නවතින්නේ නැති බව. අපට සිද්ධ වෙනවා නැවත නැවත ණයවලට යන්න. ඒ අනුව අලුත් ණය ස්කන්ධයක් නිර්මාණය වෙනවා.
අයිඑම්එෆ් එක ලංකාව ගැන පිටු 150ක ඩොකියුමන්ට් එකක් තියෙනවා ලංකාව ගැන. එහි සරල තර්කය තමයි ණය ගෙවන්න ණය ගන්න කියන එක. අයිඑම්එෆ් වැඩසටහන හරහා ණය ස්කන්ධය වර්ධනය වීම සහ අභ්‍යන්තරික ආර්ථික වඩාත් විනාශකාරී එකක් වෙනවා හැර වෙන වෙනත් යමක් ඉටු වෙන්නේ නැති බව පැහැදිලියි.
අයිඑම්එෆ් එක ඇතුළේ පොදු බවක් නෑ. අසමාන අයට සලකන්නේ අසමාන විදියට. ප්‍රාග්ධනයේ ස්වභාවය අනුව තමයි විවිධ රටවල්වලට සැලකීම කරන්නේ.
ණය කියන එක අලුත් දෙයක් නෙවෙයි. ණය කියන්නේ පරණ සංකල්පයක්. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය ස්කන්ධයේ පැහැදිලි වෙනසක් ඇතිවෙලා තියනවා. 1970-80 පස්සේ දියුණු වෙමින් පවතින රටවල්වල, අඩු සංවර්ධිත රටවල අලුත් ණය වර්ගයක් මතු වෙනවා පේනවා. ලංකාවේ අසූවට කලින් තිබුණේ නෑ පෞද්ගලික ණය හිමියන්ගේ ණය. ණය තිබුණේ ද්වි පාර්ශ්වික-බහුපාර්ශ්වික. දැන් අලුත් තත්වය ඇතුළේ ණය හිමියන් පෞද්ගලික වෙලා තියෙනවා.
අපට දකින්න පුළුවන් 2007-08 මූල්‍ය අර්බුදයෙන් පස්සේ බටහිර ලොකු ආර්ථික අවපාතයක් ඇති වෙනවා. ඒ අවපාතය ඇතුළේ ධනේෂ්වර රාජ්‍යයන් සහ මහබැංකුව මූල්‍යමය සහයෝගය අතිවිශාල වශයෙන් ලබා දෙනවා. පොඩ්ඩක් හොයල වලන්න බලන්න ශූන්‍යයට ආසන්න පොළී අනුපාතයක් තියෙන ණය වර්ග තමයි ලෝකයේ මේ කාලසීමාව ඇතුලේ මහා පරිමාණයෙන් ගලා යන්නේ. මේ තත්වය හමුවේ තමයි ණය හිමියන් අපි වගේ රටවලට ණය දෙන්න පෙළඹෙන්නේ.
බටහිර රටවල, දියුණු ධනේශ්වර රටවලට ණය දෙන්න බැරි, ණය ප්‍රසරණයේ සිමා පවතින වාතාවරණයක් ඇතුළේ මේ රටවල් උත්සාහ කළා සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ලබා දෙන්න. මේ ණය උගුලට හේතුව අපේ ණ්‍ය අභිලාෂයන්ට වඩා ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනය හැසිරෙන ආකාරයට බලපාලා තියෙනවා. ණය සැපයුම (Debt supply and its nature) කියන එක අර්බුදයට බලපෑ තීරණාත්මක කාරණයක්.
අපට අඳුනගන්න පුළුවන් මූලධර්ම කිහිපයක් මේ ණය අර්බුදය සහ පශ්චාත් IMF ගිවිසුම ඇතුළේ.
- පද්ධතිය, ආර්ථික පද්ධතිය ද්‍රවශීලව පවත්වාගෙන යෑම.
- ණය හිමියන්ගේ අවශ්‍යතා මූලික ලෙස සලකන්න.
- අයවැය කපන්න. ඒකට හේතුව තමයි ඔයාලට වියදම් කරනවා වැඩියි. දීර්ඝ කාලීන වියදම් තමයි ප්‍රශ්නය. ජනතාවට පටි තද කරගන්න කියන්න. ඔබ මිලකරණයෙන් සහ රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් වෙන්න. ඒකෙන් වෙන්නේ සුභසාධනය කප්පාදු වෙනවා. දරිද්‍රතාව වැඩි වෙනවා.
- පංති බලය තවදුරටත් ප්‍රතිස්ථාපනය කිරීම ඊළඟ දේ. රනිල් මීට මාස කිහිපයකට කලින් දුර්වල පාලකයෙක්. දැන් ඔහු ශක්තිමත් පාලකයෙක් බවට පත් වෙලා. දැන් සංස්ථාපිතය ඔහුට දැනුවත්ව හෝ නොදැනුවත්ව අනුග්‍රහය සපයමින් ඉන්නවා. රනිල් මෑතකදී විශ්වවිද්‍යාල ගුරුවරුන්ට දේශනයක් දුන්නා තමන්ගේ වැඩසටහන ගැන කතාව. එතැන වැදගත් රනිල්ගේ කතාව නෙවෙයි. වැදගත් වෙන්නේ ඒකට ගුරුවරුන් දක්වන ප්‍රතිචාරය. එක ගුරුවරයෙක් මෙහෙම කියනවා. අපි කැමතියි ඔබතුමා බලාපොරොත්තු නොවුනත් ඔබතුමාගේ කරගෙන යන මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙන්න කියලා. මේක තමයි දෘෂ්ඨිවාදයේ ස්වභාවය. ආර්ථික විද්‍යාව කියන්නේ මිනිස්සුන්ගෙ ජීවිත පාලනය කරන විෂයක්. මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ දෘෂ්ටිවාදී තල්ලුව දෙන්න (Ideological push) තමයි මේ වගේ රැස්වීම් කැදවන්නේ. අනිත් දේ, අලුත්ම ප්‍රවෘත්තිය තමයි අයිඑම්එෆ් කොන්දේසි නීති බවට පත් කරන්න යන බව. මේවා විහිළු නෙවෙයි. මහබැංකුව ස්වාධීනකරණය පිළිබඳ අලුත්ම නීතිය බලන්න. මේක බරපතල නීතියක්. මේකෙන් පස්සේ සංවර්ධන මූල්‍යනය පැත්තට මහබැංකුව තල්ලු කරන්න බැහැ. අපට ඉතා අවශ්‍යයි ආයෝජන බැංකුවක්. ඒකට රජයට මැදිහත් වෙන්න තියෙන හැකියාව අහෝසි වෙනවා. ඒවා හැරුණාම මහබැංකුවේ කාර්ය පටිපාටිය බවට පත්වෙන්නේ උද්ධමනය සහ විනිමය අනුපාත පාලනය විතරයි. මේක බරපතල විදියේ පංතිමය ප්‍රහාරයක් බව අමතක කරන්න එපා (Attack on the working class).
- අවසාන වශයෙන්, මේ මෙහෙයුම අවසන් වෙන්නේ අලුත් ණය තොගයකට ශ්‍රී ලංකාව යටත් වීමෙන්.
දැන් ජල පාරිභෝගිකයන් අසූහත්දාහකගේ ජල සැපයුම අහෝසි කරලා තියෙනවා වෝටර්බෝඩ් එක. අධ්‍යක්ෂ හේතුව විදියට කියන්නේ ගෙවන්න බැරි බව.
මේක තමයි මේ ආර්ථික අර්බුදයේ ඇත්තම ප්‍රතිඵලය. ඒ වගේම විදුලිබල පරිභෝජය සීයට විස්සකින් අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අවම ඒකක තිහ, තිස්පහ වගේ පරිභෝජයක් තියෙන පංතිවලට තමයි මිල වැඩි කරලා තියෙන්නේ. ඒ එක්කම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සීයට 7ක ණය ගෙවීමේ නොහැකියාවක් තියෙනවා. ඒ එක්කම මේ බලන්න මේ IMF වාර්තාවේ තියෙනවා ඉලක්ක.
මේ රිවිෂන්වලට යන්න ඕනෑ. ඊළඟ අවුරුද්දේ ණය ගෙවන්න රිවිෂන් එකකට යන්න ඕනෑ. මෙකේ තියෙන දේශපාලන පණිවිඩය තමයි. රනිල් කියන්න නියමිතයි. මේ රිවිෂන්වලට යන්න එකම සුදුස්සා මමයි. මම පාලකයා බවට පත් කරන්න කියලා ඔහු කියන්න නියමිතයි. ඉලක්ක ගත දළ විදේශ සම්පත් ප්‍රමාණය අන්තිම පේළියේ තියෙනවා. අපේක්ෂාව සමස්ත විදේශ විනිමය ප්‍රමාණය බිලියන 14කට ගේන්න. දැන් තියෙන්නේ බිලියන 1.8ක් විතර. මේක බිලියන 14ක් දක්වා පත් කරන්න පුළුවන්ද? මම හිතන්නේ ඉතා අතාර්කික උත්සාහයක් තියෙන්නේ.
රිපෝට් එකේ මෙන්න මේ ඉලක්ක තියෙනවා.
- එකක් තමයි ආදායම් මත පදනම් වූ ෆිස්කල් ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම. 2024 වෙද්දී අයවැයේ ප්‍රාථමික අතිරික්තයක් ඇති කරගන්න ඕනෑ බව කියනවා. ඒ සඳහා බදු වැඩි කිරීම සහ සුභසාධක වියදම් කප්පාදු කරන්න සිද්ධ වෙනවා. මේක කරද්දී ඇති වෙන පීඩනයට රජයට උත්තරයක් හොයන්න වෙනවා. ඒක තමයි අපි අත්දකිමින් ඉන්නේ. මේකේ ප්‍රතිඵලය තමයි, නැවත පටි තද කරගැනීමකට යන්න සිදු වීම.
- ඒක ඇතුළේ තියෙනවා සමාජ ආරක්ෂණ දැල්. මේක සම්පූර්ණ මුලාවක්. ලංකාවේ සමාජ ප්‍රශ්න, අසමානතාව පිළිබඳ ප්‍රශ්න, අතිරික්තය බෙදීයෑම පිළිබඳ ප්‍රශ්නය වගේ දේවල් කිසිදෙයක් නිවැරදිව අමාන්ත්‍රණය කළ නොහැකියි.
- රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මේකේ විශේෂ ඉලක්කයක්
- රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය, මිලකරණය ස්ථායීකරණය සහ බාහිර බෆර්ස් ගොඩනගන එක තවත් ඉලක්කයක්.
- පස්වැන්න මූල්‍ය ස්ථායිතාව සකස් කිරීම.
- හයවැනි එක තමයි දූෂණ සහ වංචා අවම කිරිම.
- අවසාන වශයෙන් ලංකාව ආර්ථික වෘද්ධි මාවතට නැවත ගෙන ඒම. අපට පේනවා පහුගිය අවුරුදු තුන-හතර ඇතුළත ලංකාවේ ආර්ථිකය සීයට 20කින් සංකෝචනය වෙලා තියෙනවා. ලංකාවේ ආර්ථිකයෙන් පහෙන් එකක් නැති වෙලා තියෙනවා. ඉලක්කය තමයි සීයට 4ක වගේ ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම. මං හිතන්නේ මෙය කළ නොහැකියි. ඊළඟට උද්ධමනය පිළිබඳ සීයට 10% ට අඩු මට්ටමකට ගේන්න ඕනෑ. දැන් තියෙනවා 53% ක්. ලංකාව ගෝලීය උද්ධමනයෙන් හුදකලා නෑ. එකට බලපෑ ගෝලීය සාර්ව ආර්ථික කොන්දේසි තියෙනවා. ඒ අනුව මේක යථාර්තවාදීද කියා බලන්න ඕනෑ.
ඒ වගේම අපි අයිඑම්එෆ් එකට ඉතා ඉහළ පොලියක් ගෙවිය යුතුයි. අපට ණය දෙන්නේ ඩොලර්වලින් නෙවෙයි. එස්ඩීආර්වලින් (SDR) හෙවත් විශේෂ ගැණුම් හිමිකම්වලින්. මේක හදලා තියෙන්නේ ලෝකයේ බලවත්ම මුදල් ඒකක හතරක්, පහක් එකතු කරලා. මේකේ විනිමය අනුපාත චලනයට සාපේක්ෂව පොලී අනුපාතයක් එකතු වෙනවා. මේ ගන්න ණය සීයට පහක පමණ ප්‍රමාණයක් නැවත ගෙවිය යුතුයි. ආජන්ටිනාවේ මාටින් ගූස්මන් පෙන්වනවා මේකේ සමීකරණය. ඔහු පෙන්වනවා, මේකට අමතරව පොළියක් එකතු වෙන බව. ඒ පොළිය ගෙවිය යුතුයි.
අපට තියෙන විකල්ප විසඳුම් මොනවාද?
අප 2022 දී පොඩි පොතක් ලීවා ආර්ථික අර්බුදයට ජනතා විසඳුමක් කියලා. මිත්‍රයන් අහනවා අයිඑම්එෆ් නැත්නම් මොකක්ද විසඳුම කියලා. අපි ඒ දේශපාලන තර්කය පහු කරලා තියෙනවා. අපි උත්තරයක් දීලා තියෙනවා. අපි අනිවාර්යයෙන් යා යුතුයි අවුරුදු පහක ණය විරාමයකට. අයිඑම්එෆ් එකත් අපට විරාමයක් දීලා තියෙනවා.
ණය විරාමය ඇතුළේ අපි ඉල්ලිය යුතුයි ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා නම් කැපිටල් එකෙන් යම් ප්‍රමාණයක් කොහොමද නොගෙවා ඉන්නේ කියලා. අප අපේ ණය විගණනය කළ යුතුයි. අපට ඉදිරියේදී ඇත්තටම ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට යන්න වෙනවා ණය හිමියන් සමග. එතැන තමයි අවස්ථාව තියෙන්නේ ණය විගණනයකට යන්න. මේක ඇතුළේ තියෙන පිළිකුල් සහගත ණය මොනවාද? විලෝපික ණය මොනවාද කියලා අධ්‍යනය කළ යුතුයි.
රජය මේ ආර්ථිකයට තදින් මැදිහත් විය යුතුයි. ලෝකයේ බටහිර රටවල ආර්ථික අර්බුද ජයඅරන් තියෙන්නේ කොහොමද කියලා බලන්න. රජය මැදිහත්වීමෙන්. ඒ කාලෙ ඇමෙරිකාව ගොඩ ආවේ කේන්සියානු ප්‍රතිපත්තිවලින්. අපි යෝජනා කරනවා විචක්ෂණශීලී ෆිස්කල් ප්‍රතිපත්තියක මැදිහත්වීමක් අවශ්‍යයි.
ඊළඟට අලුත් ව්‍යවසායන් ප්‍රවර්ධනය කරන්න ඕනෑ. පෞද්ගලික ව්‍යවසායන් ප්‍රවර්ධනයට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න පුළුවන්. ඊළඟ රාජ්‍ය ව්‍යවසායන්. අපට පුළුවන්ද අලුත් ඵලදායී යාන්ත්‍රණයකට ව්‍යවසායන් මැදිහත් කරන්න පුළුවන්ද කියලා. අපි කාර්යක්ෂමතාවපිළිබඳ ප්‍රශ්නයක් නිසා පෞද්ගලිකකරණය පිළිබඳ කොන්දේසියකට මේක යටත් කරනන ඕනෑ නෑ. රජය මැදිහත්වීමෙන් තොරව මේක කළ නොහැකියි. රජය ප්‍රතික්ෂේප කරනවා නම් මේ ආයතන පවත්වානෙ යන්න, මේවා බාර දෙන්න කම්කරුවන්ට. සේවකයන්ට. සේවක පරිපාලනයට යටත් කරන්න.
අපි යෝජනා කරනවා අඩු පොළී අනුපාත රෙජීමයක්. දැන් තියෙන සීයට 35ක පොළී අනුපාතය පහළට ගේන්න ඕනෑ. මේ ආර්ථික විද්‍යාව සලකා බලන්නේ ඉහළ සිට පහළට බලන ක්‍රමයක්. අපි කියන්නේ පහළ සිට ඉහළට සලකන්න කියලා.
අපි ඇයි ආනයන මත පවතින ආර්ථිකයක් සම්බන්ධයෙන් හිතන්නේ. අපි අභ්‍යන්තරික සැපයුම් ජාලය ශක්තිමත් කිරීම වැදගත්. අපට සලකා බලන්න වෙයි පසුගාමී ආර්ථික සම්බන්ධතා වෙනස් කිරිම. ආනයන අනිවාර්ය වශයෙන් ප්‍රමුඛතාවට ලක් කළ යුතුයි. ආනයන සීමා පැනවිය යතුයි, ප්‍රමුඛතා ලබා දි යුතුයි. මේ තරම් ආනයන පාලනය කළත්, අපනයන හොඳට වැඩ කළා. පහුගිය මාසයේ අඩුවීඹක් තිබුණත් ඩොලර් බිලින 8කට එහා ආදායමක් ලබා ගන්න හැකි වුණා.
අපේ විදේශ අරමුදල් ආරක්ෂා කරගන්නවා නම් ආනයන පාලනය කිරීමකට යන්න ඕනෑ.
අවසාන වශයෙන් අපි නැවත සලකා බැලිය යුතුයි ලංකාවේ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, වතු ක්ෂේත්‍රය සම්බන්ධයෙන්. අනුරාධපුරයේ ගොවීන් ඉල්ලූ ප්‍රධාන කාරණයක් තමයි අපේ කෘෂි උපකරණ, යන්ත්‍ර සූත්‍ර, බද්ධ කිරීම් නැතිව ලබා ගන්න ඉඩ දෙන්න කියලා. අපි සුඛෝපභෝගී වාහනවලට බදුවලින් නිදහස් කරනවා නම් ඇයි බැරි ඒ යන්ත්‍ර බදු නැතිව ලබා දෙන්න. අපි මේවාට දැඩි මාක්ස්වාදී ප්‍රතිපත්ති කියන්නේ නෑ. සංක්‍රාන්ති වැඩපිළිවෙලකට රජය යනවා නම් මේ කියන සාර්ව ආර්ථිකය මූලධර්ම පන්ති බලය වෙනස් කරන සුළු විදියට හැසිරිය යුතුයි.
අයිඑම්එෆ් ඩීල් එක ඉතාම ත්‍රස්තවාදී විදියට ඉදිරියට යන්න නියමිතයි. සේවක ප්‍රතිවිරෝධය නැගෙද්දී අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. මේක සාමකාමී විදියට ඉදිරියට යන්නේ නෑ. මේ අරගලයේදී ප්‍රායෝගිකවත්, බුද්ධිමය වශයෙනුත් මැදිහත් වෙන්න සිද්ධවේවි. පංතිමය බලය මේ වෙලාවේ ඉතාම අවශ්‍යයි.
ඒ සහෝදරත්වයෙන් ඒ සඳහා ආරාධනා කරමින් නවතින්නම්