යුරෝපා තානාපතිගෙන් ප්‍රකාශයක්! අලුත් ත්‍රස්ත පනත නිසා ජීඑස්පී+ නැති වේවි?

යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවේ නව ත්‍රස්ත විරෝධී පනත පිළිබඳ ගැටලුවක් ඇති බවත් මෙම ත්‍රස්ත පනත ශ්‍රී ලංකාව සමග යුරෝපා සංගමය අත්සන් කර ඇති ජීඑස්පී+ සහනය අලුත් කිරීම පිළිබඳ තීන්දුවට බලපාන ප්‍රධාන සාධකය වනු ඇති බවත් යුරෝපා සංගමයේ කොළඹ නියෝජිතයා ප්‍රකාශ කර ඇත.

මීළඟ වසරේදී ජීඑස්පී ප්ලස් සහනය අලුත් කිරීමට නියමිත අතර යුරෝපා සංගමය මේ වෙද්දී එය අලුත් කරනවාද යන්න සලකා බලමින් සිටී. එහිදී මෙරට පවතින ‘ත්‍රස්ත නීති‘ හරහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සීමා කිරීම ප්‍රධාන කාරණයක් ලෙස ඔවුන් සලකා තිබේ.

‘ස්ථීර අදහසක් කියන්නට තවම ඉක්මන් වැඩියි. එහෙත්, අපට පෙනෙන්නට තිබෙනවා ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය, පුද්ගලයන් රඳවා තබාගැනීමේ බලය සහ ඇතැම් සංවිධාන ත්‍රස්ත සංවිධාන ලෙස නම් කිරීමට බලය ලබා දෙන ප්‍රතිපාදන සැලකිල්ලට ගත් කළ (එකඟ වීමට) අසීරුතාවක් පෙනෙන්නට තිබෙනවා.‘ යනුවෙන් ඔහු මාර්තු 28 වැනිදා ඉකොනොමි නෙක්ස්ට් වෙත ලබා දුන් මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුණි.

ඔහු පෙන්වා දුන්නේ යුරෝපා සංගමයටද ත්‍රස්ත සංවිධාන නම් කිරීමේ ක්‍රමවේදයක් ඇති බවය. එහෙත්, එම ක්‍රමවේදය පොදු තොරතුරු මත පදනම්ව, අධිකරණමය ආයතනවලින් ප්‍රති-පරීක්ෂාවට ලක් කළ හැකි ආකාරයට සිදු කරන කටයුත්තක් බව පෙන්වා දී තිබේ. ඒ අනුව සංවරණ-තුළන (එක් ආයතනයකින් වැරැද්දක් කළොත්, ඒක නවත්වන්න තවත් ආයතනයකට දීලා තියෙන බලය.) ක්‍රමවේදයක් තිබෙන බව ඔහු කියා තිබේ.

එහෙත් ශ්‍රී ලංකාවේ නව ත්‍රස්ත පනත අනුව ජනාධිපතිවරයාට හිතුමතේට පුද්ගලයන්ව හා සංවිධාන ත්‍රස්ත ලෙස නම් කර තහනම් කළ හැකිය. එසේ කළහොත් එයට එරෙහිව පියවර ගැනීමේ ක්‍රමයක් නොමැත.

‘ජනාධිපතිවරයාට යම් පුද්ගලයෙක්ව සිරගත කළ යුතු ත්‍රස්තවාදියෙක් විදියට තීන්දු කිරීමට තියෙන බලය දැන් පවතින ඉතා දරුණු බලතලයක්. පෙනෙන විදියට ඒක දිගටම පවතිනවා. අවසාන ලේඛනය කියවනතුරු සමහරවිට ඉන්න සිදු වේවි.‘

යුරෝපා සංගම් නියෝජිතයාගේ මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ජීඑස්පී+ අලුත් කිරීම පිළිබඳ තීන්දුව මෙම වසරේ අග ගැනීමට නියමිත පසුබිමකය. වසරකට ඩොලර් මිලියන 500ක පමණ වටිනාකමක් ඇති වෙළඳ ගිවිසුමක් මෙම ත්‍රස්ත පනත නිසා අහිමි වීමේ ඉඩක් ඇත. 2009 දී මානව හිමිකම් පිළිබඳ මතු වූ කරුණුවලට මහින්ද රාජපක්ෂ රජය ප්‍රතිචාර නොදැක්වූ නිසා ජීඑස්පී ප්ලස් සහනය අහිමි විය.

‘කිසිම කෙනෙකු ජීඑස්පී ප්ලස් අයදුම් කරන්න කියා ශ්‍රී ලාංකිකයන්ට බල කරලා නැහැ. ආර්ථික වාසි තිබෙනවාද කියා සලකා බලා එය තබාගැනීම හෝ අහිමි කරගැනීම ශ්‍රී ලාංකිකයන්ගේ තීන්දුවක්.‘ යනුවෙන්ද යුරෝපා සංගම් තානාපතිවරයා වැඩිදුරටත් කියා තිබුණි.