රුහුණ උපකුලපතිගේ භීෂණය ගැන වාර්තා දෙකක් සජිත් සභාගත කරයි

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේනගේ මර්දනකාරී ක්‍රියාකලාපය ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිසුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ විරෝධතා පෙන්වදෙමින් ඒ පිළිබඳ වාර්තා දෙකක් සභාගත කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළේය.

මෙයට ප්‍රතිචාර ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කළේ, උපකුලපති පත් කරන්නේ ජනාධිපති බවත් ඇමති විදියට තමන්ට කරන්නට දෙයක් නොමැති බවත්ය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සකස් කරන ලද වාර්තාවක් සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සකස් කළ සාක්ෂි 86ක් සහිත විශේෂ වාර්තාවක් මෙසේ සභාගත කර ඇත.

රොහාන් ලක්සිරි ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනයට චෝදනා ඇති බවත්, ඒ පිළිබඳ කර ඇත්තේ කුමක්ද යන්නත් විපක්ෂ නායකවරයා විමසා සිටියේය.

මෙම උපකුලපතිවරයා පිරිමි-ගැහැණු ශිෂ්‍යයන් එක ළඟ ඉඳගැනීමත්, සමාජ මාධ්‍ය ජාලා මගින් සම්මේලනයත් සීමා කර ඇති බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත.

ශිෂ්‍යභාවය අහෝසි කිරීම් 11ක්, තාවකාලික අහෝසි කිරීම් 37ක් ආදී ලෙස උපකුලපතිවරයාගේ ක්‍රියාමාර්ග ගැන ලැයිස්තුවක්ද එම වාර්තාවේ සඳහන් වේ. විශ්ව විද්‍යාලයේ 500ක පමණ වැටුප් තහනම් කර ඇති බවද විපක්ෂ නායකවරයා එම වාර්තා සභාගත කරන අවස්ථාවේදී කියා ඇත.