රෝයල් පාක්හි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියමව සිටි ජූඩ් ශ්‍යාමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති සමාව දීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ලද තීරණය අඩංගු ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මාර්තු 30 වන දින නීතිපතිවරයාට දැනුම් දී ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
එම ජනාධිපති සමාව දීමට එරෙහිව කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ මේ දැනුම් දීම කරන ලදි.
එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම කැඳවන ලදි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් රටම දන්නා ක්‍රෑර සහ පිළිකුල් සහගත ඝාතනයක් මෙම විත්තිකරු සිදු කර ඇති බවත්, එම මරණකාරියගේ හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බවත් පවසා ඇත.
වරදකරුවකුට ජනාධිපති සමාව දීමට නීතිය මඟින් පනවා ඇති ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව එම සමාව දීමට කටයුතු කළ හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මුදල් හුවමාරුවක් සිදුව ඇති බවට පසුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ අවධානයට ලක් කර ඇත..
ජනාධිපති සමාව දීමේදී අදාළ මුල් නඩුව විභාග කළ විනිසුරු මඬුල්ලෙන් හෝ විනිසුරුවරයාගේ වාර්තාවක් ලබාගැනීම කළ යුතු අතර, එම වාර්තාව නීතිපතිවරයාට යොමු කර තවත් වාර්තාවක් ලබාගත යුතු බවද ඒ මහතා සඳහන් කර ඇත. අනතුරුව එම වාර්තා දෙකම අධිකරණ ඇමැතිවරයා වෙත යොමු කිරීමෙන් පසු විත්තිකරුවකුට සමාව දිය හැකිද යන්න සලකා බැලීම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය බවත්, එහෙත් එම ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමකින් තොරව මෙම සමාව දී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර ඇත.
විත්තිකරුට සමාව දීම සහ එම ක්‍රියා පටිපාටියට අදාළ දින වකවානු සහ ලිපි ලේඛන සම්බන්ධයෙන් අධිකරණය විශේෂ අවධානය මෙහිදී යොමු කළ අතර, මෙම විත්තිකරුට ජනාධිපති සමාව දීමට ජනාධිපතිවරයා ගත් තීරණය සඳහන් ලේඛනය අදාළ නිල ලිපි ගොනුවේ නොමැති බව විනිසුරු මඬුල්ලේ අවධානයට ලක් වී ඇත.
ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් වන කරුණකදී ඉතාම වැදගත් ලියවිල්ල වන්නේ සමාව දීමට ගත් තීරණය වන අතර, එය මෙහි අඩංගු නොවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කර ඇත.
ජනාධිපති සමාව දීමේ තීරණය ඇතුළත් ලේඛනය ගොනු කිරීමට පියවර ගන්නා බවට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. පෙත්සම සම්බන්ධ වැඩිදුර විභාගය ජූනි මස 09දා සිදු කිරීමටද තීරණය කර ඇත.
රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේ දී 2005 වසරේ දී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නම් තරුණිය මරා දැමීම සම්බන්ධයෙන් ජූඩ් ශ්‍යාමන්ත ඇන්තනී ජයමහ නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් වසර 12ක සිරදඬුවමක් නියම කර තිබිණි. ඊට එරෙහිව ඔහු සහ නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණය 2012 වසරේදී එහි තීන්දුව දෙමින් ඔහුට නියම කළ සිරදඬුවම වෙනුවට මරණ දඬුවම පැනවීමට තීරණය කර තිබුණි.
ඊට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම මරණ දඬුවම තහවුරු කළේය.
ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී සිටි ශ්‍යාමන්ත ජයමහ නමැත්තාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ජනාධිපති සමාවක් ලබා දුන් අතර එලෙස ජනාධිපති සමාව දීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) විධිවිධානය මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි.
මේ පෙත්සම් විභාගයට ගැනීමට මීට පෙර තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණයේ අවසරයකින් තොරව ජූඩ් ශ්‍යාමන්ත ජයමහ නමැත්තාට විදෙස්ගත වීමට අවසර නොදෙන ලෙස ආගමන විගමන පාලකවරයාට නියම කර ඇත.