නීතීඥ සංගමයෙන් නිවේදනයක්! සීමිත හේතූන් මත මිස ප්‍රතික්ෂේප කරන්න බෑ – සාලිය පීරිස්! සාලිය පීරිස් හරක් කටාගේ නීතිඥයාද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති මෙන්ම ජනාධිපති නීතීඥවරයෙකුද වන සාලිය පීරිස් මහතාගේ වෘත්තීය රාජකාරි සහ ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතීඥ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලමින් මාර්තු 30 වන දින නිවේදයක් නිකුත් කොට ඇත.

නීතිඥ සාලිය පීරිස් සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාව සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට ඔහුට ඇති අයිතියට බරපතළ බාධාවක් පමණක් නොව, නීතියෙන් සුරක්ෂිත කර ඇති වෘත්තීය අයිතියටද විශාල ප්‍රහාරයක් බවත් එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.

අධිකරණ පනතේ 41 වැනි වගන්තිය පැහැදිලිව සේවාදායකයකු නියෝජනය කිරීමේ අයිතිය දක්වා ඇති බවත් එහි සදහන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාවේ නෛතික නියෝජනය සඳහා ඇති අයිතිය විශේෂයෙන් සහතික වන බවත් සෑම පුද්ගලයෙකුටම සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතියක් ඇති බවත්, තමන් කැමති නීතිඥයෙකු ව නියෝජනය කිරීමට අයිතියක් ඇති බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.

අපරාධ නඩු විධාන සංග්රහය අපරාධ නඩු වලදී නීතිමය නියෝජනය කිරීමේ අයිතිය ලබා දෙයි. නීති සංග්‍රහයේ 260 වගන්තියේ සඳහන් වන්නේ චූදිතයෙකුට නීතීඥවරයෙකු පෙනී සිටීමට අයිතියක් ඇති බවත්, අගතියට පත් සෑම පාර්ශ්වයකටම නීතිඥයෙකු අධිකරණයේ පෙනී සිටීමට අයිතියක් ඇති බවත් එම නිවේදනයේ පෙන්වා දී ඇත.

නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ කෞෂල්‍ය නවරත්න සහ එහි ලේකම් ඉසුරු බාලපටබැදි යන අයගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

සාලිය පීරිස් හරක් කටාගේ නීතිඥයාද?

මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින් ප්‍රශ්ණ කරනු ලබන නදුන් චින්තක (හරක් කටා) සහ සලිදු මල්ෂිත ( කුඩු සලිදු) යන දෙදෙනාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා, ඔවුන්ගේ මව්පියන් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබුණු රීට් පෙත්සමක් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මාර්තු 20 දින කැඳවනු ලැබීය.

මෙහිදී ‘හරක් කටා’ නමැති සැකකරු වෙනුවෙන් ඔහුගේ පියා ඉදිරිපත් කළ පෙත්සම සඳහා ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා යටතේ වන අතර ‘කුඩු සළිඳු’ නමැති විත්තිකරුගේ පියා ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාය.

පසුගිය කාලයේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටි ‘මාකඳුරේ මධුෂ්’ වැනි සැකකරුවන් රැඳවුම් නියෝග අවසන් වී දින කිහිපයකින් පසුව විමර්ශන කටයුතු සඳහා පිටස්තර ස්ථානයකට රැගෙන ගිය අවස්ථාවේදී වෙඩි තබා මරා දැමු බව පෙන්වා දීම ඇතුළුව, පෙත්සම්කාර පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දෙපළම අධිකරණය හමුවේ කරුණු දක්වන්නේ තම සේවාදායකයින්ගේ ජීවිත ආරක්ෂාවට දැඩි තර්ජනයකට ලක් වී තිබෙන බව පෙත්සමේ පෙන්වා දී තිබුණි.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා තිබුණේ එම පෙත්සම් මුළුමනින්ම උපකල්පනය කරන ලද කරුණු මත ගොනුකර තිබු හෙයින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසය.

මේ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, පෙත්සම්වලට අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 4 වන දා ට පෙර ගොනුකරන ලෙස නීතිපතිවරයාට නියෝග කරනු ලැබීය.

මෙම රිට් පෙත්සමේ අඩංගු කරුණු සළකා බැලූ විට පෙනී යන්නේ ‘හරක් කටාගේ ජීවිතාරක්ෂාව සදහා ’ ඔහුගේ පියා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම වෙනුවෙන් පමණක් සාලිය පීරිස් මහතා පෙනී සිටින බවය.

සාලිය පිරිස් පෙනී සිටින රීට් පෙත්සමේ අඩංගු කරුණු මොනවා ද?

පෙත්සමේ සඳහන් වන්නේ නදුන් චින්තකගේ පියා වන පෙත්සම්කරු විසින් තම පුතාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට සබැඳි ඉල්ලීම් පෙළක් පමණක් බවත්, නදුන් චින්තක(‘හරක් කටා’) නිදොස් බව දක්වමින් සඳහන් කරුණු කිසිවක් එහි නොමැති බවත් පෙත්සමේ අඩංගු කරුණු කියවා බලද්දී පෙනී යන්නේය.

පෙත්සම්කරු විසින් වගඋත්තරකාර පාර්ශව ලෙස පොලිස් දෙපාර්තමේන්තුව ,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ශ්‍රී ලංකා පොලිස් සේවයේ ප්‍රධානියා වන පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා , ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතිපතිවරයා මෙම රීට් අයදුම්පතෙහි පාර්ශවකරුවෙකු බවට පත්කර ඇත.

එම පෙත්සම මඟින් පවසා ඇත්තේ ආයුධ සොයා ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් ඝාතනය වූ අවස්ථා ඕනෑ තරම් ඇති බැවින් එවැනි ඝාතන වලින් අනතුරුව පොලිසිය මගින් සිදු කරනු ලබන පැහැදිලි කිරීම් වලට අනුව සැකකරු ආයුධයක් සොයා ගැනීමට උත්සාහ කිරීමේදී පලා යාමට උත්සාහ කළ බවත් ඉන් අනතුරුව ඇති වූ අරගලයේදී සැකකරුට වෙඩි තැබීම වැනි සිදුවීම් දැකගනන්ට ලැබුණු බවත්ය.

මේ හේතුවෙන් වගඋත්තරකරුවන්ගෙන් කිසිවකුට සහ ඔවුන්ගේ අධිකාරිය යටතේ ක්‍රියා කරන පුද්ගලයන්ට, මෙම රැඳවියාගේ ’ මැණික් කටුව ආරක්ෂා කරන මාංචු දැමීමකින් සහ, රැඳවියා අදාළ මහේස්ත්‍රාත්වරයාට නොදන්වා හෝ අධීක්‍ෂණයකින් තොරව කිසියම් රැඳවුම් ස්ථානයකින් පිටතට ගෙන යාම වළක්වන අතුරු නියෝගයක් පනවන ලෙස පෙත්සම්කරු වන ඔහුගේ පියා මෙහිදී ඉල්ලා ඇත.

ඉතා මෑතකදී 2023-01-12 දින පවා ශ්‍රේෂ්ඨාධිකරණය විජේවික්‍රම මනම්පේරිගේ ලීලාවතී උඩහවත්ත එදිරිව ප්‍රියන්ත කුලතුංග යන අය ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් ‘මාකඳුරේ මධුෂ්’ පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනය කළ බවය.

එබැවින් එම පුද්ගලයාට කිසිදු අධිකරණයක් ඉදිරියේ තම නිර්දෝෂීභාවය තහවුරු කිරීමට අවස්ථාවක් නොලැබූනු බවත්, කෙසේ වෙතත්, එම ඝාතනය සඳහා පැමිණි බව කියන ඝාතන කල්ලියේ සාමාජිකයින් අද වනතුරුත් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, එම ඝාතනයට අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් ලබා නොමැති බවත් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

එසේම පසුගිය වසර කිහිපයේ දී පොලිස් අත්අඩංගුවේ සිටියදී හෝ ඇප මත මුදාහැරීමෙන් පසුව පවා පුද්ගලයන් කිහිප දෙනෙකු ඝාතනයට ලක්වූ බව පෙත්සම්කරු වැඩිදුරටත් පවසා ඇති අතර උදාහරණ ලෙස තාරක පෙරේරා විජේසේකර හෙවත් ‘කොස්ගොඩ තාරක’ පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක් වූ බවත්, දිනෙත් මෙලන් මාබුල හෙවත් ‘ඌරුජුවා’ නමැති තවත් පුද්ගලයෙකු ද ඝාතනයට ලක්වූයේ එලෙස බවත් පෙත්සම්කරු පවසා ඇත.

ඉහත කරුණු අනුව ඇතැම් අවස්ථාවලදී පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පොලිසියට සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන යද්දී මිය ගොස් ඇති බව පෙනී යන බව පෙත්සම්කරු පවසා ඇත.

පෙත්සම්කරු පවසන්නේ එවැනි බොහෝ අවස්ථා වලදී මරණ පිළිබඳ පරීක්ෂණ ස්වාධීන අධිකාරියක් සහ/හෝ පොලිසියේ ස්වාධීන ඒකකයක් සිදු කර නොමැති බවත් පොලීසියට දඬුවම් විරහිතව කටයුතු කිරීමට අවසර දී ඇති බවත් ය.

සැකකරුවෙකු ආරක්ෂිතව අත්අඩංගුවේ පසුවුවහොත්, පොලිසිය කියන ආකාරයෙන් පොලිස් නිලධාරීන්ට පහරදීමට සැකකරුවෙකුට හැකිවනු ඇතැයි සිතිය නොහැකි අතර ඒ නිසා එවැනි අත්අඩංගුවේ පසුවන බොහෝ මරණ අධිකරණයෙන් පරිබාහිර ඝාතන බවට පෙත්සම්කරුට වැටහෙන බව පෙත්සම්මේ වැඩිදුරටත් සදහන් කර ඇත.

මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සාලිය පිරිස් මහතා අදහස් දැක්වූ අවස්තාවක් පහතින්.

ඩීඅයිජී කෙනෙක්ට , එස්පී කෙනෙක්ට , පොලිස්පතිට ඉඩ දෙන්න පුළුවන්ද පුද්ගලයන්ගේ ජීවිත පිළිබදව තීරණය කරන්න. අහවලා ජීවත් වෙන්න ඕනේ අහවලා මැරෙන්න ඕනේ කියලා පොලිස් නිලධාරීන් අතට දෙන්න පුළුවන්ද?

සේවා දායකයෙක් අපි ගාවට ආවොත් සීමිත හේතූන් මත මිස ප්‍රතික්ෂේප කරන්න බෑ – සාලිය පීරිස්

හරක් කටා වෙනුවෙන් පෙනී සිටින ගමන් පොලිස්පති වෙනස් කරන්න උපදෙස් ලබාදෙන බව කියමින් පසුගිය සතියේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාට විවේචනය එල්ල කළේය. එම චෝදනාවට පිළිතුරු ලබා දෙමින් සාලිය පීරිස් මහතා මාර්තු 24 දින මෙසේ අදහස් දක්වා තිබුණි.

“අපි ජනාධිපතිතුමාට ලිව්වා නිකැලැල් පුද්ගලයෙක් පොළිස්පති ධූරයට පත් කරන්න කියලා. ඊට පස්සෙ තමයි මට ඇහුනේ පොලිස්පතිව තෝරන්නේ අහවල් සංවිධානාත්මක අපරාධකරුගෙ නීතිඥවරයද කියලා ව්‍යවස්ථාදායකය තුළ ප්‍රශ්න කෙරෙනවා. මේ රටේ පොලිස්පති ධූරයට පත් කරන්න ඕනේ නිකැලැල් පුද්ගලයෙක්. අපේ රටේ ආයතනවල දුර්වලවීම තමයි මේ රටේ නීති ආධිපත්‍යට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. විශේෂයෙනම් පොලිසිය හරහා මේ පනත්වල අවභාවිතය සිද්ද වෙන්නේ. මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතත් විවිධ අවස්ථාවල අවභාවිතා කරලා තියෙනවා.

මම එක නඩුවක් කරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. ඒ කාන්තාව අවුරුදු 4ක් රිමාන්ඩ් භාරයේ  හිටියා. චෝදනාව තමයි පොලිසියට තොරතුරු ලබා දුන්නෙ නැහැයි කියලා. ඒ පොලිසිය කරපු ප්‍රකාශය කියවගෙන යනකොට පේනවා ඒ කාන්තාව කියලා තියෙන්නේ අහවල් අහවල් අය එල්.ටී.ටී සංවිධානයට සම්බන්ධයි මම ඒ පිළිබඳව පොලිසියට දැනුම් දුන්නා. ඒ වුණාට ඒ කාන්තාව පොලිසියට අරගෙන. ඇයට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ චෝදනා මත ඩීඕ ගහලා, නීතිපතිවරයා මඟින් අධි චෝදනාවක් ගොනු කරලා තමයි නඩුව ඉවර කරන්නේ. ඒකට වගකියන්න ඕනෙ ඒ විවිධ ආයතන.

පොලිසියේ ක්‍රියාපටිපාටිය  නිවැරදි කරන්නෙ නැතුව මම හිතන්නෙ නැ අපේ මේ නීතිය අවභාවිතා කරන එක නවත්වන්න පුළුවන් කියලා. දෙවැනි කාරණාව තමයි සමාජ ආකල්ප. 2009 ආරක්ෂක ආමාත්‍යංශේ වෙබ්සයිට් එකේ මේ රටේ ජ්‍යෙෂ්ඨතම නීතිවරු කීප දෙනෙක්ගේ ඡායාරූප දාලා ද්‍රෝහී නීතිඥවරු කියලා දාලා තිබුණා. මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සමාජ සැකකරුවන් වෙනුවෙන් පෙනීහිටියා කියලා.

නීතිඥවරුන්ගේ කාර්‍යභාරය කියන්නේ නීතියට අනුව නඩු අහලා දඬුවම් කරන්න හෝ නිදහස් කරන එකයි. අපිට ඩීඅයිජී කෙනෙක්ට , එස්පී කෙනෙක්ට , පොලිස්පතිට ඉඩ දෙන්න පුළුවන්ද පුද්ගලයන්ගේ ජීවිත පිළිබදව තීරණය කරන්න. අහවලා ජීවත් වෙන්න ඕනේ අහවලා මැරෙන්න ඕනේ කියලා පොලිස් නිලධාරීන් අතට දෙන්න පුළුවන්ද?

එක කාලයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ද්‍රවිඩ සැකකරුවන්ට විරුද්ධව චෝදනා තියෙනකොට ඒ වෙනුවෙන් නීතිඥවරු පෙනී ඉන්න කොට, මාත් පෙනී ඉඳලා තියෙනවා. අපිව විවේචනය කරන්න පටන් ගත්තා, අපි ද්‍රෝහීන් කියලා. මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ නීතියේ ක්‍රියාදාමය තියෙන්නෙ ඇයි කියලා.

අපි ගාවට සේවා දායකයෙක් ආවොත් සීමිත හේතූන් මත මිස අපිට ඒ සේවා දායකයගේ නඩුව ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඕනම ශිෂ්ඨසම්පන්න රටක පොලිසිය විසින් මරන්න අවසරයක් නැහැ. කට්ටියම ගෙනිහිල්ල එහෙනම් ගෝල්ෆේස් එකට ගිහිල්ලා මරන්න පුළුවන්. ඒකට ඉඩ දෙන්නෙ නැත්තේ ශිෂ්ඨසම්පන්න රටවල නීතියේ ආධිපත්‍ය තියෙන නිසා. ඔය සමාජ මාධ්‍යවල කතා කරන අය පවා ඒ අයට නඩු පැවරුනාමත් තේරුම් ගන්න වෙයි නීතිඥවරුන්ගේ කාර්‍යයභාරය මොනවද කියලා.

මම දැක්කා එක පොලිස් නිලධාරියෙක් කියනවා අපි පැමිණිල්ලේ කාරණාව විතරයි විභාග කරන්නේ. අපි විත්තිය කියන දේ විමර්ශනය කරන්නෙ නැහැයි කියලා. ඒක එහෙම වෙන්න බැහැ. ඒක පර්ශවික විමර්ශන කරලා සැකකරුවන්ව අත්අඩංගුවට ගන්නවා. 80 ගනං වල හෙක්ටර් කොබ්බෑකඩුව ජනාධිපති අපේක්ෂකයට නීතිපතිවරයා විසින්  නඩු පැවරුවා ව්‍යාජ ලේඛනයක් මුද්‍රණය කරයි කියලා. පහුගිය කාලේ විටින් විටින් විට විධායකය විසින් අධිකරණයට බලපැම එල්ල කරන්න උත්සහ කරනවා. ඒක කවුරු ජනාධිපති වුණත් ඒ බලපෑම විටින් විට තියෙනවා. නමුත් අධිකරණයේ ස්වාධීනත්වය අපි ආරක්ෂා කරන්න ඕනේ.”  

සාලිය පීරිස්ට එරෙහි විරෝධතා

නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සම්බන්ධයෙන් සාලිය පීරිස් සිය වෘත්තීය කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ඔහුගේ කාර්යාලය ඉදිරිපිට පිරිසක් විරෝධතාවක් සිදු කර තිබුණු අතර එම පිරිසව සුදු පැහැති වෑන් රථයකින් එම ස්ථානයට ගෙන එන විඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත පසුගිය සතියේ නිකුත් වී තිබුණි.

අදාල විරෝධතා මාර්තු 24 දින දහවල් පවත්වා තිබුණි.

කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ කාර්යාලය ඉදිරිපිට පිරිසක් සිදු කළ විරෝධතාවයෙන් පසුව මාර්තු 24 වන දින නීතිඥ සාරංග වාදසිංහ ඔහුගේ මුහුණු පොතේ මෙසේ සටහනක් තබා තිබුණි.

මාගේ මිතුරෙකු වූ මිදිගම ඉෂාර ඝාතනය කළේ ඔබේ පුතා අමිලය.

ඉෂාර ඝාතනය කරන ආකාරය සටහන් වන සීසීටීවී දර්ශන මා සතුවත් පොලීසිය සතුවත් තිබේ.නමුත් අමිල වෙනුවෙන් මිනීමැරීම සම්බන්ධ නඩුවට මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මාතර මහාධිකරණයේ නීතීඥවරයෙකු පෙනී සිටින විට ඔබ ඔය ආකාරයේ පුවරුවක් ප්‍රදර්ශනය කරමින් අමිල වෙනුවෙන් පෙනී නොසිටින ලෙසට ඉල්ලා විරෝධතාවයක නිරත වන අයුරු මා දුටුවේ නැත.

ඔබගේ පුතාට නීතීඥවරයෙකු පත් කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී තිබූ අයිතිය ඊට සමාන ආකාරයෙන්ම චින්තකට ද ඇත.

එසේම ඔබගේ පුතා වෙනුවෙන් පෙනී සිටිමට ඔහුගේ නීතීඥවරයාට තිබූ අයිතිය හා සමාන අයිතියක් චින්තක වෙනුවෙන් පෙනී සිටීමට සාලිය පීරිස් මහතාට හෝ වෙනත් ඕනෑම නීතීඥවරයෙකුට ද ඇත.

මූලික අයිතිවාසිකම් යනු ඔබගේ පුතාට පමණක් හිමි වරප්‍රසාදයක් නොවන බව ඔබට කාරුණිකව මතක් කර දෙමි.