නාවික හමුදාව බලහත්කාරයෙන් කච්චතිව් දූපතේ බුදුපිළිමයක් සහ බෝ ගසක් ඇතුළු ආගමික වන්දනා ස්ථානයක් නිර්මාණය කිරීම ගැන දෙමළ ජනතාවගෙන් මෙන්ම දේශපාලන පක්ෂවලිනුත් විරෝධයක් එල්ල වී තිබෙනවා.
සිංහල ජාතිකයන් සිහිතබාගත යුතු කාරණයක් තිබෙනවා. මෙය බෞද්ධ සිද්ධස්ථාන කෙරෙහි වෛරයකින් මතු වූ විරෝධයක් නෙවෙයි, විවිධ තැන්වල ඉඩම් අල්ලාගෙන මෙලෙස බුදුමැදුරු තැනීමේ සම්ප්‍රදායට එරෙහිව මතුව ඇති විරෝධයක්.
වන්දනාමාන කරන්නට කිසිදු බෞද්ධ වැසියෙකු නොමැති කච්චතිව් දූපතේ, පොදු ස්ථානයක බුදු පිළිමයක් තැනීම පසුපස තිබෙන්නේ පිවිතුරු ආගමික භක්තියක් නෙවෙයි.
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුර පවතින අතර වාර්ෂිකව කතෝලික භක්තිකයන් ඉන්දියාවේ සිට එම දූපතට පැමිණ පුදපූජාවල නිරත වෙනවා.
බැලූ බැල්මටම ‘බුදුපිළිමයක් තිබුණාට මොකද වෙන්නේ?‘ කියා කෙනෙකුට විමසන්න පුළුවන්. එහෙත්, අප සියලුදෙනා දන්නවා අනවශ්‍ය ස්ථානයක බුදුපිළිමයක් තැනීම හුදෙක් ආගමික විශ්වාසයකට ගරු කිරීමක් නෙවෙයි, ප්‍රදර්ශනකාමී වුවමනාවක් බව.
බෞද්ධයන් නොමැති කච්චතිව් දූපතේ, යටත් විජිත සංකේතයක් ලෙස බුදුපිළිමය යොදාගැනීම තුළින් බෞද්ධ ධර්මයට අපහාසයක් වෙන අතරේම, බුද්ධ රූපය තවත් ජාතියක හිත රිදවන බලහත්කාරී සංකේතයක් බවට පත් වීමත් සිදු වෙනවා.
මීට සියවස් ගණනකට පෙර අශෝක රජතුමා තමන්ගේ ආධිපත්‍යය පෙන්වීම පිණිස රාජ්‍යයන්හි විවිධ තැන්වල අශෝක ස්ථම්භ පිහිටවූවා. එදා මෙදාතුර විවිධාකාර යටත් විජිත පවත්වාගෙන ගිය පාලකයන් තමන්ගේ ආගමික හෝ වෙනත් ජාතික සංකේත පිහිටුවමින්, ඒ ඒ ප්‍රදේශවල සිටින ජාතීන්ගේ ජන ජීවිතය බලහත්කාරී ලෙස අනුන්ගේ ආගමික, සංස්කෘතික සංකේත හුරු කරවීමට උත්සාහ කිරිමක්.
මෙලෙස ආගමික සංකේත අනුන් මත පැටවීම සමාජ විද්‍යාත්මක, සංස්කෘතික වගේම ජනවාර්ගික දේශපාලනය පිළිබඳ සංකල්ප මත පිළි නොගන්නා තත්වයක්.
උතුරේ පමණක් නොව, දකුණේ පවා විවිධ තැන්වල බුදුපිළිම ඉදි කිරීමේ පුරුද්දක් බොහෝ අයට ඇතිව තිබෙනවා. ආධ්‍යාත්මික වශයෙන් පිරිහෙන අතරේ, සමාජයීය වශයෙන් නොදියුණු පාරක යන අතරේ හුදෙක් භෞතික ආගමික සංකේත පමණක් ගොඩගසාගත් පුහු ජාතියක් දක්වා ගමන් කරමින් සිටිනවා.