තොරතුරු පනත කැඩූ රත්මලාන වෘත්තීය පුහුණු සරසවියේ කුලපතිට, නිලධාරිනියට නොතීසි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවරූ නඩුවක් සඳහා රත්මලාන වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාලයේ තොරතුරු නිලධාරිනිය වන මේඛලා කාශ්‍යපනී මහත්මියට සහ එහි කුලපතිවරයාට ලබන මැයි මස 23 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මාර්තු නොතීසි නිකුත් කර ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව වෙනුවෙන් ගොනු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර ඇත.

එදිරිසූරිය පටබැඳිගේ රෝහාන් යන අය විසින් 2021 මැයි මස 21 දින තොරතුරු ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීමට අනුව තොරතුරු මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නියෝගය පැහැර හැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ වගන්ති යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බවට තීරණය කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

2022 මැයි මස 31 වන දින හෝ ඊට ආසන්න දිනයක දී මෙම පනත උල්ලංඝනය කර ඇති බවත් 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ අපරාධ නඩුවක් පවරන ලෙස තොරතුරු දැන ගැනීමේ කොම්ෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන ) තීරණය කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.