මම මාරයි! මම තමයි හොඳටම කළේ! මට විරුද්ධ අය රටට විරුද්ධ අය – අයිඑම්ෆ් ණය අල්ලං රනිල් කළ සම්පූර්ණ කතාව

Sri Lanka's President Ranil Wickremesinghe attends the the country's 75th Independence Day celebrations at Galle Face Green in Colombo, Sri Lanka February 4, 2023. (Photo by Pradeep Dambarage/NurPhoto via Getty Images)

(ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයිඑම්එෆ් වීස්තීරණ  අරමුදල් පහසුකම ලබාගැනීමෙන් පසු, 2023 මාර්තු 22 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාව)

රට යළි ගොඩගන්න මට පුළුවන් කියා විශ්වාසය විතරයි. ඒ විශ්වාසය තහවුරු කරන්ට අතීත අත්දැකීම් ගණනාවක් මට තිබුණා. වසර 2001 වෙද්දී රටේ ආර්ථිකය ඍණ වර්ධනයකට කඩා වැටුණා. නමුත් පාලනය බාර අරන් වසර දෙකට අඩු කාලයක් තුළ රටේ ආර්ථිකය හරි මගට ගෙන්වන්ට මට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි, ටෝකියෝ ආධාර සමුළුව මගින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක ආධාර දිනාගැනීමට මට පුළුවන් වුණා. අවාසනාවට ඊට පස්සේ පාලනය භාර ගත්තේ ඒ මුදල නිසියාකාරයෙන් පාවිච්චියට ගත්තේ නෑ.

2015 දී මම ආර්ථිකය බාර ගනිද්දී තිබුණේ දුර්වල තත්වයක්. නමුත් 2018 වන විට අයවැයේ ප්‍රාථමික අතිරික්තයක් ලබාගන්න අපට හැකි වුණා. විවිධ සහන දෙන ගමන් වැටුප් 106කින් පමණ වැඩි කරන්නත් ක්‍රියා කළා. මේ බරපතල අභියෝගය භාර ගනිද්දී මා සතුව තිබුණේ අතීත අත්දැකීම් ඔස්සේ ඇති කරගත් විශ්වාසය පමණයි. මම වැටුණත් රට වැටෙන්නෑ කියන අදහස ඇතිව මම අභියෝගය භාර ගත්තා. ගරු කථානායකතුමනි, අයිඑම්එෆ් එකඟතාව ලැබීමත් සමගම තරුණ තරුණියන්ගේ අනාගතය ගොඩනංගවන්ට අපට මාවතක් විවෘත වී තියෙනවා. අපේ මාතෘභූමිය යළිත් ඔසවා තබන්ට අවකාශ උදා වී තියෙනවා. මේ ණය පහසුකම් යටතේ වසර හතරක කාලයක් තුළ අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ ආධාරයක් හිමිවෙනවා.

ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක ප්‍රමාණයක් එහි පළමු වාරිකය වශයෙන් දැන් අපට ලැබී තියෙනවා. ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන 7ක පමණ කඩිනම් ණය ආධාර අප බලාපොරොත්තු වෙනවා.

අයිඑම්එෆ් විස්තීරණ ණය පහසුකම් කියන්නේ ගිනි පොළියට ගන්නා තවත් ණයක් විතරයි කියලා අර්ථ දක්වන අයත් ඉන්නවා. මේ ලැබෙන මුදලින් මුළු රටේම ණය බර ගෙවා ඉවර කරන්න බෑ කියමින් ඝෝෂා කරන අයත් ඉන්නවා. එවැනි ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ එක්කෝ ඒ අයගේ නොදැනුවත්කම, නැත්නම් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා බොරුවෙන් මේ රට අහිංසක ජනතාව රැවටීමට ගන්නා උත්සාහය. අයිඑම්එෆ් විස්තීර්ණ ණය කියන්‍නේ වැටුණ රටක් යළි යථාතත්වයට පත් කරගැනීම සඳහා දෙන පහසුකමක්. ඒ සඳහා සකස් කර දෙන වේදිකාවක්. මේ පහසුකම ලබා දීමත් සමග අපට ජාත්‍යන්තරය යළිත් පිළිගැනීමක් ලැබෙනවා. ශ්‍රී ලංකාව තවදුරටත් බංකොළොත් රටක් නොවන බවට සහතිකයක් ලැබෙනවා.

අපේ දේශීය බැංකු යළිත් ලෝකය පිළිගන්නා මට්ටමට පත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ණයවර ලිපිවලට ගරු කරනවා. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ඉතා අඩු පොළියට ණය ආධාර ලබා ගැනීමට පසුබිමක් සැකසෙනවා.

විදේශ ආයෝජකයින් යළිත් ලංකාව ගැන විශ්වාසය තිබෙනවා. ජාත්‍යන්තරයේ පුළුල් අවස්ථා ගණනාවකට අපට දොරගුළු ඇරෙනවා. ශක්තිමත් නව ආර්ථිකයක් ගොඩනැංවීමේ පදනම සකස් වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ එකඟත්වය නිසා අපේ රටේ මූල්‍ය විනය නීතිගත වෙනවා. දූෂණ වංචා වැළැක්වීමේ දැඩි නීතිරීති අලුතෙන් හඳුන්වාදෙනවා. ශ්‍රී ලංකාවේ මෙතෙක් නොතිබුණු නව මූල්‍ය සංස්කෘතියක් හා දූෂණයෙන් තොර පරිසරයක් මේ මගින් නිර්මාණය වෙනවා.

ගරු කතානායකතුමනි, අයිඑම්එෆ් සංවිධානය අපේ රට පිළිබඳ තීන්දු ගැනීමට පෙර රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරන්ට සමහරු උත්සාහ ගත්තා. නොනවතින වර්ජන රැල්ලක් ඇති කරන්ට, ආර්ථිකය කඩා බිඳ දමන්ට රට අරාජික කරන්ට කටයුතු කළා.

ඔවුන් බලාපොරොත්තු වුණේ කඩාකප්පල්කාරී ක්‍රියා මගින් අයිඑම්එෆ් සහයෝගය ලබාගැනීම වළක්වන්නයි.

සමහර දේශපාලන කණ්ඩායම්, සමහර වෘත්තිය සමිති, සමහර ජනමාධ්‍ය මේ වැඩේට සෑහෙන්න මහන්සි වුණා. රට අස්ථාවර නිසා අයිඑම්එෆ් සහයෝගය ලැබෙන්නේ නැහැ කිව්වා. පළාත් පාලන ඡන්දය පවත්වන්නේ නැති නිසා අයිඑම්එෆ් සහයෝගය ලැබෙන්නේ නෑ කිව්වා.

මෙවැනි නොයෙක් බොරු ප්‍රචාර කරමින් රටේ ජනතාව පාරට බස්සන්න දඟ දැම්මා.

රටේ බහුතර ජනතාව මේ කඩාකප්පල්කාරී වැඩවලට සහාය දැක්වුවේ නැහැ. රටේ ඉදිරි ගමන එක් එක් දේශපාලන බල ව්‍යාපෘති වෙනුවෙන් කඩාකප්පල් කරනට බහුතර ජනතාව කැමති වුණේ නෑ. ඔවුන් රට වෙනුවෙන් වගකීමක් ඇතිව ක්‍රියා කළා.

විවිධ දුෂ්කරතා මැද නොයෙකුත් පීඩනයන් මැද ඒ සියල්ල ඉවසමින් දුක් කරදර විඳදරාගනිමින් රටේ බහුතර ජනතාව සන්සුන්ව ඉවසීමෙන් කටයුතු කළා. අපට අයිඑම්එෆ් එකඟතාව ලබාගැනීමට ඔවුන්ගේ කැපවීම විශාල ශක්තියක් වුණා. ඒ නිසා මුලින්ම මේ රටේ ජනතාවට මගේ ප්‍රණාමය පළ කරන්ට කැමතියි.

මේ කටයුත්තේදී අපේ නිලධාරීන් දිවා රෑ නොබලා ඊට වෙහෙස වුණා. සමහර අයට තර්ජනයත් කළා. ඇමතිවරුන් කැපවී කටයුතු කළා. මේ සභාවේ ගරු සාමාජිකයන් බොහොමයක් ඊට සහාය දුන්නා. සමහරු ප්‍රසිද්ධියේ තවත් සමහරු අප්‍රසිද්ධියේ.

ඔවුන් සියලු දෙනාටමත් මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීමේ කාර්යයේදී අපේ ප්‍රධාන ණය හිමියන් අපට සහාය දුන්නා. විදේශීය රටවල්, ජාත්‍යන්තර සංවිධාන අපට සහාය දුන්නා. විදේශීය රාජ්‍ය නායකයන් හා මැති ඇමතිවරුන් ජාත්‍යන්තර සංවිධාන නිලධාරීන් හා නියෝජිතයන් විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් හා නිලධාරීන් අපට උදව් කළා.

ඒ සියලු දෙනාට ශ්‍රී ලංකාවේ ගෞරවණීය ස්තූතිය පළ කරනවා. ගරු කථානායකතුමනි, අප මේ මුල පුරන්නේ අලුත් ගමනකට.

මේ ගමනේදී ආර්ථික ප්‍රතිසංස්කරණ ගණ නාවක් සිදු කළ යුතු වෙනවා. අපේ සාර්ථකත්වයේ පදනම දැමෙන්නේ එතැනින්. මේ සමහර ප්‍රතිසංස්කරණ 2022 අතුරු අයවැය හා 2023 අයවැය මගින් යෝජනා කර දැනටමත් ක්‍රියාවට නංවා තිබෙනවා.

තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් අප හඳුන්වා දෙනවා.

ඒ අතරින් වැදගත් කරුණු කිහිපයක් මම දැන් අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම දැනට අප ක්‍රියාත්මක කරන සහ අනාගතයේ ක්‍රියාත්මක කරන්ට බලාපොරොත්තුවෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳත් මම මේ ගරු සභාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

 රජයේ ආදායම වැඩි කර ගැනීමේ සැලසුම

  • 2025 වන විට ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට 2.3ක් බවට පත් කරගැනීම අපගේ ඉලක්කයයි.
  • ශ්‍රී ලංකා රජයේ ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට 8.3ක්. ලෝකයේ වෙනත් රටවල් හා සසඳද්දී අපේ රාජ්‍ය ආදායම පවතින්නේ පහළම අගයක. මේ නිසා අප සැලසුම් කරන්නේ 2026 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට 15ක් දක්වා වැඩි කර ගැනීමටයි.
  • ආංශික බදු සහන නොමැතිව සංස්ථාපිත ආදායම් බදු අනුපාතය සීයට 30 දක්වා දැන් වැඩි කර තිබෙනවා.
  • වැට් බදු අනුපාතය සීයට 8 සිට සීයට 15 දක්වා වැඩි කිරීමට අපි පියවර ගත්තා.
  • වැට් බදු සඳහා ලබා දී ඇති නිදහස් කිරීම් ක්‍රමානුකූලව අඩු කිරීමට වැට් බදු ආපසු ගෙවීම් කඩිනම් කිරීමට සහ එස්- වැට් ක්‍රමය අහෝසි කිරීමටත් පියවර ගන්නවා.
  • 2025 දී අවම බදු නිදහස් කිරීමක් සහිතව, දේපළ බදු ක්‍රය වෙනුවට ධන බදු බද්දක් හඳුන්වා දීමටත්, තෑගි හා බූදල් බද්දක් හඳුන්වාදීමටත් පියවර ගන්නවා.

රාජ්‍ය වියදම් කළමණාකරණය

  • ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණයි.
  • අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට ගෙන සෑම සය මසකට වරක්ම විදුලි මිල ගැලපීමට පියවර ගන්නවා.
  • මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් සේවය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලිබල මණ්ඩලය වැනි ආයතනයන්හි ශේෂ පත්‍ර යළි සකස් කරනවා. කල් ඉක්මවූ ස්වෛරීත්ව ඇපකර මත ලබාගත් විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු ණය ලෙස මාරු කරනවා.

මිල ස්ථායීථාවය හා මූල්‍ය ප්‍රතිපත්ති

  • උද්ධමන අනුපාතය සීයට 4- 6 අතර අනුපාතයට නැවත ගෙන ඒමට කටයුතු කරනවා. මේ වන විට උද්ධමනය සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට අපට හැකි වුණා. එසේම 2023 වසර මැද භාගය වන විට උද්ධමන අනුපාතය තනි අගයක් දක්වා ගෙන ඒම අපේ ඉලක්කයි.
  • මේ සැලසුම් ක්‍රියාත්මක කරන කාලය තුළ දී මුදල් අච්චු ගැසීමෙන් ක්‍රමානුකූලව බැහැර වෙනවා. අයවැය හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමකින් තොරව ආදායම් උපදවා ගැනීමට මෙමගින් මහා භාණ්ඩාගාරයට සිදු වෙනවා.
  • දැනට පවත්නා විදේශ විනිමය වෙළඳපොළේ කටයුතු වෙළඳපොළ නිර්ණායක මත තීරණය වීමට ඉඩ ලබා දෙනවා.
  • තීරණය කරන ලද ඉලක්කයන්ට අනුව විදේශ සංචිත ගොඩනැගීම සඳහා විදේශ මුදල් මිලදී ගැනීම මහ බැංකුව විසින් සිදු කරනවා.

යහපාලනය

  • දේශීය විශේෂඥයන්ගේ අදහස්ද සැලකිල්ලට ගෙන අයිඑම්එෆ් සංවිධානය විසින් රාජ්‍ය දුර්වලතා පිළිබඳ වාර්තාවක් සකස් කරනවා. දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් රජය හා ආයතනික රාමුව තුළ ඇති අඩුපාඩු හඳුනාගැනීමට මේ මගින් අවස්ථාව ලැබෙනවා.
  • එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සමගාමීව දූෂණය මැඬලීමේ නීති සම්පාදනය කරනවා.
  • අහිමි වූ වත්කම් යළි ලබා ගැනීමේ ප්‍රතිපාදන 2024 මාර්තු වන විට ව්‍යවස්ථාදායක රාමුවට ඇතුළත් කිරීමට ද අපේක්ෂා කරනවා.
  • ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති පදනම් කරගනිමින් නව රාජ්‍ය මුදල් කළමණාකරණ පනතක් කෙටුම්පත් කරනවා.
  • සහනදායී බදු පදනම මත වාහන ආනයන කිරීමේ බලපත්‍ර ලබාගත් පුද්ගලයන්, ආයෝජන මණ්ඩලයේ බදු සහන/ බදු විරාම ලබා ගන්නා ආයතන ලේඛනය ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කරනවා. එසේම විශාල ප්‍රමාණයේ රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනවා.

වර්ධනය

  • ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල සම්බන්ධ වැඩසටහනෙහි ප්‍රතිසංස්කරණ ඔස්සේ මධ්‍ය පරිමාණ හා දීර්ඝකාලීන ආර්ථික වර්ධනය වැඩිදියුණු කරීම ඇතුළත්. මෙහිදී වෙළඳ ප්‍රතිසංස්කරණවලට අදාල ක්‍රියාමාර්ග, කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩිදියුණු කිරීමේ පියවරයන්, කුසලතා සංවර්ධනය, බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ මගින් අකාර්යක්ෂමතාව හා පිරිවැය අඩු කර ගැනීමට ද පියවර ගන්නවා. කාලගුණ වෙනස්වීම් මත සිදුවන වෙනස්කම්ද මෙහිදී සැලකිල්ලට ගන්නවා.

ඉදිරි ක්‍රියාමාර්ග

  • අයිඑම්ෆ් සැලසුමට ඔබ්බෙන් යන බහුවිධ ආර්ථිකය ප්‍රතිසංස්කරණ ඉදිරියේදී හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා. ආර්ථිකය විවෘත කිරීම සහ ඩිජිටල්කරණය කිරීම ඔස්සේ තිරසර ප්‍රතිජීවනයක් ලබා ගැනීමටද, මධ්‍ය සහ දීර්ඝකාලීන ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමද එහි අරමුණක්.
  • ඒ සමගම අපේ ද්විපාර්ශ්වීය ණය හිමියන් සමග සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. අප මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය ඔස්සේම ඉදිරියට යමින්, විවෘතව හා විනිවිද පෙනෙන අයුරින් ඔවුන් සමග සාකච්ඡා අප ඉදිරියට ගෙන යනවා.
  • ණය ආපසු ගෙවීම් සම්බන්ධයෙන් ඇති කර ගන්නා කොන්දේසි පිළිබඳ අවසන් තීරණ ගැනීමට පෙරාතුව, සියළු ද්විපාර්ශ්වීය ණය හිමියන්ට ඒ ගැන දැනගැනීමට හැකි වන ආකාරයේ විවෘත ක්‍රමවේදයක් අප අනුගමනය කරනවා. අනෙකුත් විදේශීය ණය හිමියන් සම්බන්ධයෙන්ද අනුගමනය කරන්නේ ඒ පිළිවෙතමයි. එහිදී සියළු ණය හිමියන්ට සාධාරණ වන අයුරින් ප්‍රතිව්‍යුහකරණ කිරීම් සිදු කිරීම අපේ බලාපොරොත්තුවයි.
  • අපේ නිල ණය හිමියන් වෙත විවෘත ලිපියක් යවමින් මා දන්වා සිටි ආකාරයට, අප කිසිදු ණය හිමියෙකුට වඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඔවුන් සියලු දෙනාටම සමානව සලකනවා. අප මෙතෙක් ඔවුන් සියලු දෙනා සමග විවෘතව හා මිත්‍රශීලීව කටයුතු කළා. ඉදිරියටත් එසේම කටයුතු කරනවා.
  • අපේ ණයගැතිභාවයන් පිළිබඳ වාර්තාවන් නිරන්තරව ප්‍රකාශයට පත් කරනවා. රටේ ණය පිළිබඳ තොරතුරු වසන් කරන්නේ නෑ.

ගරු කථානායකතුමනි,

අපි මේ ගෙවමින් සිටින්නේ දුෂ්කර කායක්. බදු බර නිසා මේ සමාජයේ යම් කොටසකට දැඩි පීඩනයක් ඇති වී තිබෙන බව අප දන්නවා. ඒ වගේම උද්ධමනය හේතුවෙන් සමස්ත සමාජයම පීඩා විඳින බවත් අපි දන්නවා. ඒත් දැනට අප ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිවලින් ඈත් වෙන්න මේ අවස්ථාවේ අපට හැකියාවක් නෑ. අප මුහුණදෙන කටුක සත්‍යය එයයි.

අපේ මේ වැඩපිළිවෙල මාස හයෙන් හයට සමාලෝචනය කරන්නට අපත්, අයිඑම්එෆ් සංවිධානයත් ක්‍රියා කරනවා. පළමු සමාලෝචනය සිදු කරන්නේ ලබන ජුනි මාසයේදී. දැනට ක්‍රියාත්මක කරන බදු ක්‍රමය සංශෝධනය කිරීම ගැන දැනටමත් අපේ අවධානය යොමු වෙලා තියෙනවා. මහා භාණ්ඩාගාරය සංශෝධිත යෝජනා සකස් කරමින් යනවා. ඒ වගේම විවිධ විද්වතුන්, ආර්ථික විශේෂඥන් මේ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් සියලුදෙනා සමග සාකච්ඡා කරන්න අප බලාපොරොත්තු වෙනවා.

ඉන් පසු පොදු එකඟත්වයකට එළැඹෙන්න අපට පුළුවන් වේවි.

ජුනි මාසයේ සමාලෝචනයේදී මේ බදු සංශෝධන අපේ සැලසුමට ඇතුළත් කරන්න අයිඑම්එෆ් සංවිධානය සමග අපි සාකච්ඡා කරනවා. ඊට අමතරව කාලීනව අවශ්‍ය වෙනත් ප්‍රතිපත්තිමය සංශෝධන ගැනත් අපි සාකච්ඡා කරනවා.

මේවා හැඟීම්වලින්, අරගලවලින් විසඳාගන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ ගැටළු විසඳාගත යුත්තේ සීරුවෙන්, සැලකිල්ලෙන් හා බුද්ධියෙන්.

ගරු කථානායකතුමනි,

අපි මේ ගත කරන්නේ අමාරු කාලයක්. හැබැයි අපේ අමාරුකම්, දුෂ්කරතා තාවකාලිකයි. වර්තමාන වෙහෙසීමේ හා කැපවීමේ ප්‍රතිඵල අපට ටික කලකින් ලැබේවි. හෙට දවසේ රට බාර ගන්නා තරුණ තරුණියන් වෙනුවෙන්, අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අපි මේ කැපවීම කළ යුතුයි.

අප මේ එකඟතාවට අනුකූලව ඉදිරි වසර හතක් පුරා නිසි මූල්‍ය විනයක් සහිතව, ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ක්‍රියාත්මක කළහොත්, රටේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් ආර්ථික පදනමක් සැකසෙනවා. අප මේ මාර්ගයෙන් ඉවත් වුණොත් පසුගිය අප්‍රේල් මාසයේ තිබුණු තැනටත් වඩා අන්ත අයහපත් තත්වයකට මුළු රටම ඇද වැටෙනවා.

අයිඑම්එෆ් එකඟතාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට මාර්තු තුන්වැනි සතියේදී දින නියම කරන්නට අප ක්‍රියා කරනවා. එහිදී ඔබේ අදහස් සමග සහයෝගයද ලබා දෙන ලෙස මෙම ගරු සභාවේ සිටින ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම තවත් වැදගත් කරුණක් ගැන ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. අයිඑම්එෆ් එකඟත්වය ඇති වූ පමණින් අපට සෑහීමට පත් වෙන්න බැහැ. මේ ගමනක අවසානය නෙවෙයි. තවත් දීර්ඝ ගමනක ආරම්භය තමයි මේ. දැන් අපි අපේ උත්සාහයෙන් ඒ ගමන යා යුතුයි.

අපේ ණය හිමියන් සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි. ඒ සමගම රටේ ආදායම් වැඩි කරගත යුතුයි. දේශීය නිෂ්පාදන ඉහළ නැංවිය යුතුයි. වැඩි වැඩියෙන් විදේශ ආදායම් ලබා ගැනීමේ මාර්ග නිර්මාණය කළ යුතුයි. ලෝක වෙළඳපොළේ පමණක් නොව, අපේ කලාපීය වෙළඳපොළේ අපේ කොටස පුළුල් කරගත යුතුයි. දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව නොබියව ක්‍රියාත්මක කළ යුතුයි.

මේ සියල්ල ලේසි පාසු ඉලක්ක නෙවෙයි. නමුත් රට වෙනුවෙන් කැපවෙමින් අප මේ ගමන ඉදිරියට යා යුතුයි. මේක අසීරු ගමනක්. අපි ඒ අසීරු ගමන සීරුවෙන් යමු. අපේ මූලික ඉලක්කය විය යුත්තේ රට ගොඩ නැංවීම පමණයි. පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් අපේ ඉලක්කය රට ගොඩ නැංවීම පමණයි. අන්න එහෙම හිතුවොත් අපට මේ ගමන වඩාත් කඩිනම් හා සාර්ථක එකක් කරගන්න පුළුවන්.

ගරු කථානායකතුමනි,

අයිඑම්එෆ් සංවිධානය සමග අප ඇති කරගත් සැලසුම වසර හතරකදී ක්‍රියාත්මක කර අවසන් කළ යුතුයි. නමුත් අපේ ශක්තිය හා අධිෂ්ඨානය මත එය වසර තුනක් හො තුනහමාරක් තුළ අවසන් කරගත හැකියි. අපි ඊට උත්සාහ දරමු. වෙහෙසෙමු.

මෙතැනදී අප විශේෂිත කරුණු කිහිපයක් ගැන වැඩි බරක් තැබිය යුතුයි.පළමුව, සමාජයේ පහළම ස්ථරයන්හි සිටින ජනතාව වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සහතික කිරීම.

දෙවනුව රුපියල ශක්තිමත් කරලීම සඳහා උපායමාර්ග සහ විධිමත් සැලසුමක් ක්‍රියාවට නැංවීම.

තුන්වෙනුව, දූෂණය මැඩලීමේ නීතිරීති වහාම සම්මත කොට ක්‍රියාවට නැංවීම.

සිව්වෙනුව සමාජයේ සිදු විය යුතු වෙනත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා අවධානය යොමු කිරීම. ඒවා හඳුනාගැනීම සහ ඒ ප්‍රතිසංස්කරණ සඳහා මුල පිරීම.

ගරු කථානායකතුමනි,

ඩී.එස්. සේනානායක අගමැති සමයේ අපේ රට කිසිදු විදේශ ණයක් ලබා ගත්තේ නෑ. පසුව අපේ රටේ ආදායමෙන් වැඩ කටයුතු කරනවා වෙනුවට, පිටරටින් ණය ගෙන රට කරවීමේ සම්ප්‍රදායක් ඇති වුණා. අප සියලුදෙනා අද මේ දුකට, පීඩාවට පත්ව සිටින්නේ ඒ සම්ප්‍රදාය පිළිකාවක් බවට පත් වූ නිසයි.

අපට හැමදාමත් ණය ගන්න බෑ. අප උත්සාහ ගත යුත්තේ ණය නොගන්නා ජාතියක් බවට පත් වීමටයි. මේ අසීරු සමයෙන් ගොඩ එන්නට අප සියලුදෙනා එක්විය යුත්තේ ඒ නිසයි. ඉදිරි අවුරුදු 10 තුළ අප මෙතෙක් ගෙන ඇති සියළු ණය ගෙවා අවසන් කළ යුතුයි. මේ මාර්ගයේ නිවැරදිව ඉදිරියට ගියොත් අපට ඒ තත්වය උදා කරගන්නට පුළුවන් බව මට විශ්වාසයි.

ඒ ණය ගෙවීමෙන් අනතුරුව රටේ වියදමට සරිලන ආදායම අපිටම උපදවාගන්න පුළුවන් ශක්තියක් අපි ඇති කරගත යුතුයි. උත්සාහයක් ගත්තෝ, වෙහෙසුණොත් අපට එය කරන්නට පුළුවන්. ඒ මාර්ගයේ ගියොත් නිදහසින් වසර 100ක් පිරෙන 2048 දී අපේ රටේ ලෝකයේ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරගන්නට අපට පුළුවන්.

මෙහිදී තවත් කරුණක් ඔබේ අවධානයට යොමු කරන්න මම කැමතියි. මෑතකදී එක් මතයක් ප්‍රකාශයට පත් වුණා. ථෙරවාදී බෞද්ධ රටවල් හැමවිටම ආර්ථික අතින් දුප්පත් කියලා.

දැන් තායිලන්තය මේ මතය බිඳ දමන්නට වෙහෙසෙනවා. ලෝකයේම ථෙරවාදී කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන අපිත් ඒ මතය බිඳ දමන්නට වෙහෙසිය යුතුයි. අප සියළුදෙනාම එක මවකගේ දරුවන් ලෙස, එක හිතින් වෙහෙස වුවහොත් ඒ මතය බිඳ දමන්නට අපට පුළුවන්. ශ්‍රී ලංකාව යළිත් ලෝකයේ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස කීර්තියට පත් කරන්න අපට පුළුවන්.

ගරු කථානායකතුමනි,

මම මුලින්ම අගමැතිවරයා ලෙස පත් වූ අවස්ථාවේ රටේ ආර්ථිකය යළි ගොඩ නැංවීමේ ව්‍යායාමයර විපක්ෂයේ සහාය ඉල්ලා සිටියා. නමුත් මට ඒ සහාය ලැබුණේ නෑ. ඉන් පසුව ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවේදීත් මම විපක්ෂයේ සහාය ඉල්ලා සිටියා. නමුත් දුන්නේ නැහැ. අවැය විවාදය අවස්ථාවේදීත් මම විපක්ෂයේ සහයෝගය ඉල්ලා සිටියා. සහය ලබා දුන්නේ නෑ. වර්තමාන පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරන අවස්ථාවේදීත් මම විපක්ෂයේ සහය ඉල්ලා සිටියා. ඒත් මට කිසිදු සහයෝගයක් ලබා දුන්නේ නෑ.

ඒ ඒ අවස්ථාවල විවිධ හේතු කියමින් ඔවුන් සහය ලබා දීම ප්‍රතික්ෂේප කළා. මගේ ත්වීම ව්‍යවස්ථා විරෝධීයි කීවා. ජාතික ලැයිස්තුවෙන් අගමැතිවරු පත් කරන්න බෑ කිව්වා. මගේ අරමුණ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම නෙවෙයි, රාජපක්ෂලා බේරා ගැනීම කියලා කිව්වා. අසීරු වැල්පාලමෙන් මම එගොඩ කරන්නේ ශ්‍රී ලංකා මාතාව නෙවෙයි. නාමල් රාජපක්ෂ කිලා කිව්වා.

නමුත් ශ්‍රී ලංකා මාතාව ආර්ථික වැල් පාලමෙන් එගොඩ කරන්නට මම ක්‍රියා කළ බව දැන් ජාත්‍යන්තරයම පිළිඅරගෙන තියෙනවා. විපක්ෂයේ චෝදනා සත්‍ය නොවන බව දැන් සනාථ වෙලා තියෙනවා.

විපක්ෂයේ චෝදනාවලට මම උත්තර දෙන්න යන්නේ නෑ. අතීතය විවේචනය කිරීම මගේ කාර්යභාරය නෙවෙයි. මගේ කාර්යය අනාගතය ගොඩ නැංවීමයි. අතීත වැරදි යළි සිදු නොවන අන්දමට නීතිරීති සහ පසුබිම සකසමින් අනාගතය ගොඩ නැංවීමට මම වෙහෙසෙනවා. කැප වෙනවා. ක්‍රියා කරනවා.

අදත් විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් මේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට එක් වෙන්න කියායි. ඔබේ දේශපාලන මතිමතාන්තර පැත්තකින් තියන්න. තමන්ගේ බලය ගැන හිතන්න කලින් රට බලවත් කිරීම ගැන හිතන්න.

අනෙක් දේශපාලන මතිමනාත්තරවලදී සාම්ප්‍රදායික ලෙස කටයුතු කරන්න. ඒත්, රටේ ආර්ථිකය නංවාලීමේ ව්‍යායාමයේදී සම්මත දේශපාලන රාමුවෙන් පිටතට එන්. ආර්ථිකය නංවාලීමේ වැඩපිළිවෙලට සහාය වන්න.

මම නැවතත් ඒ ඉල්ලීම කරනවා. රටේ ආර්ථිකය ගොඩ නැංවීම සඳහා අයිඑම්එෆ් එකඟතාව ක්‍රියාත්මක කිරීමට කරුණාකර ඔබේ සහාය දැන්වත් ලබා දෙන්න.මෙම මල්වට්ටියට අපි හැමෝම අතගසමු.