IMF එකඟතාවේ සැඟවුණු දේවල් සහ හැමෝටම මඟහැරෙන කතාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකමක් හෙවත් ඊඑෆ්එෆ් එකක් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. ඇත්තටම මේ මුදල ලැබෙන්නේ ඇමෙරිකානු ඩොලර්වලින් නෙවෙයි. මෙය එස්ඩීආර් නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒකකයෙනුයි ගෙවනු ලබන්නේ.

මේ ප්‍රවෘත්තිය ඔබ දකින්න ඇති. අප මේ තත්වය ගැන වාසි අවාසි සසඳමින් වෙනත් කිසිවෙකු මතු නොකරන කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මුදල් පැමිණීමෙන් පසු ලංකාවට කුමක් වේවිද? ඒ ගැන අපි කතා කරනවා.

ඉක්මනින්ම සල්ලි ටිකක් ලැබේවි

මෙම මුදලෙන් එස්ඩීආර් මිලියන 254ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 333කට සමාන මුදල් වහාම ලබා දීමට තීන්දු කර තිබෙනවා. එය ඉතා ඉක්මනින් ලැබෙනු ඇති.

මාස 48ක කාලයක් දක්වා දිවෙන මෙම වැඩසටහනේ මුදල් ලැබෙනු ඇත්තේ කොටස් වශයෙන්. ශ්‍රී ලංකාවේ තත්වය විශ්ලේෂණය කරමින් ඔවුන් ඊළඟ මුදල් කොටස් අනුමත කරනු ඇති.

ඒ අනුව එක්වර ඩොලර් බිලියන 3ක් වටිනා මුදල් ලැබෙන්නේ නැහැ.

තවත් මාස හයකින් පළමු අධීක්ෂණ ක්‍රියාවලිය සිදු වෙනවා. ඒ අනුව අයිඑම්එෆ් නිර්දේශ කරන ආකාරයට ක්‍රියාත්මක නොවුණහොත් ශ්‍රී ලංකාවට ඉතිරි මුදල් ලබාගන්න බැහැ.

මෙම මුදලට අමතරව ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන අරමුදල වැනි ආයතනවලිනුත් ණය ලබාගැනීමට අයිඑම්එෆ් අනුමැතිය හේතු වනු ඇතැයි ආණ්ඩුව අපේක්ෂා කරනවා. ඒ අපේක්ෂා අනුව ඩොලර් බිලියන 7ක් පමණ දක්වා ණය මාස 48ක හෙවත් වසර හතරක වැඩසටහනේ කාලය තුළ ලැබෙනු ඇති. අයිඑම්එෆ් ආයතනයට ස්තූති කරමින් රනිල් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනයේ මේ ඩොලර් බිලියන 7ක කතාව සඳහන් වෙනවා.

මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව පැමිණෙන්නේම, මෙරට ආර්ථිකය පාලකයන් විසින් සම්පූර්ණ ණය සහ විදේශ විනිමය අර්බුදයක් දක්වා කඩා වැට්ටවීමෙන් අනතුරුව. ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවිය මාර්තු 21 වැනිදා වාර්තා කර තිබුණේ ඩොලර් බිලියන 95ක ණය කන්දක ශ්‍රී ලංකාව ගිලී සිටින බව.

අයිඑම්එෆ් එක නිකුත් කළ නිවේදනයට අනුව ආර්ථිකය කඩා වැටුණේ පූර්වයේ සිට පැවති අඩුපාඩු සහ ප්‍රතිපත්තිමය වැරදි තීන්දු සහ බාහිර සාධක ගණනාවක් මත. එහෙත්, ශ්‍රී ලංකාවේ සිට මේ සියල්ල නිරීක්ෂණය කළ අපි වගේම, අයිඑම්එෆ් ආයතනය නොකියන දේවල් කතා කරන විශේෂඥයන් ගණනාවක්, අයිඑම්එෆ් එක නොකියන ප්‍රධානම කාරණා කිහිපයක් හඳුනාගන්නවා. විශේෂයෙන් බරපතල ලෙස පැතිරුණු දූෂණය සහ විෂමතාව මේ අර්බුදයේ ප්‍රධානම හේතුවක් විදියට දකිනවා.

අයිඑම්එෆ් අරමුණ

අයිඑම්එෆ් එක ඉතා පැහැදිලිව කියනවා ඊඑෆ්එෆ් එකේ අරමුණ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කරන්න සහ ණය තිරසරභාවය ඇති කරන්න තමයි මේ අරමුදල ලැබෙන්නේ කියලා. ඊට අමතර අරමුණක් විදියට ඔවුන් කියනවා දිළිඳු සහ අවදානම් සහගත කණ්ඩායම්වලට ඇති වන බලපෑම අවම කිරීමත් අරමුණක් බව.

මූල්‍ය ක්ෂේත්‍රය ස්ථාවර කිරීම, පාලනය ශක්තිමත් කිරීම සහ වර්ධනය වැඩි කිරීම අරමුණු ලෙස සඳහන් කරනවා.

අයිඑම්එෆ් කළමණාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටැලිනා ජෝර්ජියෙවා අයිඑම්එෆ් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළා. එහි සඳහන් කාරණා කිහිපයක් කියෙනවා.

ආයතන සහ පාලන රාමු ගැඹුරු ප්‍රතිසංස්කරණවලට ලක් කළ යුතුයි. ඒ කියන්නේ පනත් ගණනාවක් සංශෝධනය කිරීම සහ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය ඒ කතාවට අදාලයි.

දිළිඳු සහ අවදානම් සහගත කණ්ඩායම් ආරක්ෂා කරන අතරම, ආදායම් මත පදනම් වූ මූල්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේකේ දිළිඳු අය ආරක්ෂා කරනවා කියන වචනය බොහෝවිට සැරසිල්ලක්. දැනට ඇති විශ්වීය සුභසාධන ප්‍රතිපත්ති වෙනස් කරලා ‘දිළිඳු‘ අයට සුභසාධනය ලබාදෙන බව කියමින් බොහෝ සුභසාධන සැලසුම් කප්පාදු කිරීමයි එහි අරමුණ.

දැනට ක්‍රියාත්මක ප්‍රගතිශීලී බදු ප්‍රතිසංස්කරණ දිගටම පවත්වා ගත යුතුයි. මෙය ඉතා පැහැදිලිව එකඟ විය හැකි දෙයක්. බදු අය කරන්න ඕනෑ. හැබැයි, කාගෙන්ද සහ කොහොමද කියන එක තමයි ප්‍රශ්නය. ලංකාවේ ආණ්ඩුව දැන් ක්‍රියාත්මක කරන ක්‍රමය එකම බදු ක්‍රමය නෙවෙයි. ඒ ගැන ඉදිරියේදී කතා කරමු.

සමාජ ආරක්ෂක ජාල ශක්තිමත් කරමින්, දිළිඳු පිරිස් ඉලක්ක කරමින් ආරක්ෂණ උපක්‍රම ක්‍රියාත්මක කළ යුතුයි. මේ යෝජනාව දැක්කාම මිනිස්සුන්ට සතුටක් දැනෙනවා. පීඩිත අයට සහන දෙනවා කියලා. ඒත්, මෙහි ඇත්තටම අප ගන්න ඕනෑ කොටස තමයි ‘දිළිඳු පිරිස් ඉලක්ක කරමින්‘ කියන එක. ඒ කියන්නේ දැනට තියෙන සුභසාධන වියදම් අඩු කරමින් ‘දිළිඳු පිරිස් ඉලක්ක කරනවා‘ කියලා සීමිත පිරිස්වලට පමණක් මේක ක්‍රියාත්මක කරන්න ඉඩ තියෙනවා.

සරලව කීවොත් රෝහල්වලට රජය වෙන්කරන මුදල් ඉවර කරලා, පෞද්ගලික රෝහල් ක්‍රියාත්මක කරන ගමන් දිළිඳු පිරිස්වලට විතරක් අවම වශයෙන් රෝහල් ටිකක් පවත්වාගෙන යනවා. ඉන්පස්සේ හදිසි ලෙඩක් වෙලා හොස්පිටල් ගියත්, නොමිලේ සේවය ලබාගන්නට තමන් දිළිඳුයි කියා තහවුරු කරන්න වෙනවා.

අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන මුදල් අයින් කරලා, පාසල් පෞද්ගලිකකරණය කරලා ‘දිළිඳු පිරිස් වෙනුවෙන්‘ කියලා පාසල් අඩු ප්‍රමාණයක් පමණක් පවත්වාගෙන යනවා.

එතකොට පොදු සේවාවන් ඉතා සුළුතරයක් ලබන ‘දුප්පතුන්ගෙ පුණ්‍යාධාර සේවා‘ වෙනවා. මේවායේ සේවයේ බැඳෙන අයට ලැබෙන වැටුප අඩුයි. ඒ වගේම පෞද්ගලික අංශයේ අය දිගින් දිගටම බයෙන් ඉන්නවා, සල්ලි ගෙවලා තමන්ගෙන් ගන්න සේවයට වඩා වැඩි සේවයක් නොමිලේ මේ ආයතනවලින් ලැබේවි කියලා. මේ තත්වය ඉන්දියාවේ ඕනෑ තරම් දකින්න තියෙනවා. වෙන මොනාවත් ඕනෑ නැහැ. චිත්‍රපටිවලින් වුණත් ඒක දැකබලාගන්න පුලුවන්.

බදු පරිපාලනය පිළිබඳ තිරසාර මූල්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුයි කියලාත් අයිඑම්එෆ් එක කියනවා. මේ සරලව කියන්නේ, ලංකාවේ බදු අය කිරීමේ නීතිමය සහ ආයතනික රාමුව වෙනස් කරන්න කියලා.

රාජ්‍ය මූල්‍ය හා වියදම් කළමනාකරණය විධිමත් වෙන්න ඕනෑ බව කියනවා.

බලශක්ති මිලකරණය යෝජනා කරනවා. ඒ කියන්නේ දැනට ලංකාවේ මිනිස්සුන්ට බලශක්තිය ලබා දුන්නේ සුභසාධනවාදී සේවයක් විදියට. කුඩා පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට හැමෝටම ඒක අඩු මිල සේවයක් වෙද්දී, ඒ හැමෝටම සැහැල්ලුවක් ලැබුණා. ඒත්, දැන් ඒක මිල අධික භාණ්ඩයක්. ඉහළම ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන ආර්ථික විශේෂඥවරියක් වන ජායතී ගොෂ් ඇතුළු අය දිගින් දිගටම පෙන්වා දෙන කාරණයක් තමයි මේ බලශක්ති මිලකරණය තුළින් කුඩා, සුළු, මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වැටිලා රටේ සමස්ත ආර්ථිකයත් දුර්වල වන බව.

ණය අර්බුදය ඉවර නෑ

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සහතිකයක් ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් ලැබී ඇති නිසා, දැන් එම ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාත්මක කිරීම දෙසට ශ්‍රී ලංකාව ගමන් කළ යුතුයි. ඒ අනුව ශ්‍රී ලංකාවට අයිඑම්එෆ් වැඩසටහනට ගැලපෙන ආකාරයේ අවසන් තීන්දු දක්වා ණය ප්‍රතිව්‍යුහගතකරණය ගෙනයෑමේ වගකීම තියෙනවා. ‘කාලානුරූපව සමාන ලෙස බර බෙදී යන පරිද්දෙන්‘ එය සිදු කිරීමේ අභියෝගය ශ්‍රී ලංකාවට තිබෙනවා.

ෆයිනෑන්ෂල් ටයිම්ස් ආයතනය දැනට පවතින විශේෂඥ අදහස් මත පදනම්ව ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තවත් මාස 18ක් පමණ ගතවෙනු ඇතැයි අනුමාන කරනවා. කෙසේ වෙතත් මාස හයකින් ලැබීමට නියමිත දෙවැනි අරමුදල් කොටස සම්පූර්ණයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක වෙන්නට කලින්, පූර්ව අනුමැතියක් ලැබුණාට පස්සේ ගන්නට පුළුවන් වේවි.

සාර්ථක හා ප්‍රමාණවත් ලෙස ප්‍රාග්ධනීකරණය වූ බැංකු පද්ධතියක් පවත්වා ගැනීම අනෙක් යෝජනාව.  මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා බැංකු ප්‍රාග්ධනීකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සහ මූල්‍ය අධීක්ෂණය සහ අර්බුද කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම එම යෝජනා අතර තිබෙනවා.

අයිඑම්එෆ් ගිය එක අවුල්ද?

ශ්‍රී ලංකාව අයිඑම්එෆ් නොයා යුතුව තිබුණායැයි කියන කවුරුත් දැන් නැහැ. අපි වැටුණ තැන අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අනිවාර්යයෙන්ම අපට නැවත නැගිටින්න අවශ්‍ය වුණා.

හැබැයි ප්‍රශ්නය, ඒක ලබා ගත් විදිය වගේම ඉස්සරහට ඒක ක්‍රියාත්මක කරන්න යන විදිය නිවැරදිද කියන එක. රටට නිවැරදිද? හැමෝටම නිවැරදිද? කියන එක.

අපේ ආණ්ඩුවේ සැබෑ ප්‍රශ්නය අයිඑම්එෆ් යෑම නෙවෙයි. අයිඑම්එෆ් යෑම හැර වෙන කිසිම වර්ධන සැලැස්මක් නැතිකම. අපට රටේ ආර්ථිකය ගැන අපේම විග්‍රහයක් නෑ. සැලසුමක් නෑ. අයිඑම්එෆ් එකට වරදින්න ඉඩ තියෙන තැන් ගැන අවදානයක් නෑ. ඒ වෙනුවට කියන ඕනෑ දෙයක් කරන්න ලෑස්තිවෙලා ඉන්නවා.

වියට්නාමය වැනි රටවල් අයිඑම්එෆ් ගිය අවස්ථාවලදී, තමන්ගේම වූ වර්ධන සැලැස්මක් අරගෙන ගියා. අයිඑම්එෆ් එක්ක දිගින් දිගටම වාද කරමින් වුව, ඔවුන් තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කළා.

සාර්ව ආර්ථිකය සහ ක්ෂුද්‍ර ආර්ථිකය සහ වර්ධනය වන ආර්ථිකය

අපි කලිනුත් කීවා වගේ අයිඑම්එෆ් මූලික අරමුණ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය. ඒ කියන්නේ ලංකාවේ මහ ගිණුම් පොත ක්ලියර් කරන්න ඕනෑ. ණය ටික පස්සේ ගෙවන්නම් කියලා ෂේප් කරගන්න ඕනෑ. ඊට අමතරව සැරසිල්ලක් විදියට අවදානමට ලක් වූ කොටස්වලට ආරක්ෂක දැලක් ගැන කියනවා.

හැබැයි වර්ධනය කියන්නේ ඊට එහා ගිය සංකල්පයක්. අපි අතේ රුපියල් 10,000ක් තිබුණත්, ගිණුම මැනේජ් කරනවා කියල රුපියල් 900ක විතරක් වියදම් ටික තියාගන්න පුළුවන්. ඒක 1000ක් තියෙද්දී තව 40,000ක් ණයට අරන් 45,000ක වියදම් කරනවාට වඩා කලින් කී එක හොඳයි.

අතේ තියෙන ටික මැනේජ් කරන එක. ඒත්, හරි නම් අපි අපේ ආදායම රුපියල් 10,000 සිට 50,000ට වැඩි කර ගත්තොත් අපට 45,000ක් වියදම් කරන්න පුළුවන්. අපි හිතන්න ඕනෑ ආදායම වැඩි කර ගන්න විදිය. පටන්ගන්න ඕනෑ අපේ ආදායම 10,000ක් විතරක් වෙන්නෙ ඇයිද කියන තැනින්. ඊට පස්සේ වැඩි කරගැනීමේ සැලසුම මොකක්ද කියන තැනින්.

අයිඑම්එෆ් යනවා කියන එක මතුරනවා හැර, රනිල්ට වෙනත් වර්ධන සැලැස්මක් තිබෙනවාද? අපට පේන විදියට නම් නැහැ.

ඇත්තටම අයිඑම්එෆ් කී ඉලක්ක දෙකම මේ වෙලාවේ අපේ රටට තියෙන්න ඕනෑ ඉලක්ක. වැදගත් ඉලක්ක. හැබැයි! රටට තියෙන්න ඕනෑ එකම ඉලක්ක ඒවා නෙවෙයි. රටේ ගිණුම් පොත බැලන්ස් කරනවා කීවාම, රටේ ඉන්න හැම මනුස්සයාටම ඒක පොසිටිව් විදියට බලපාන්නේ නෑ.

සාර්ව ආර්ථිකය වගේම ක්ෂුද්‍ර ආර්ථිකය වැදගත්. එතකොට ලංකාවේ ඉන්න පොඩි ව්‍යාපාරයක් කරන මනුස්සයා, තේ වත්තක වැඩකරන කෙනා ඇතුළු හැම කෙනාම වැදගත්.

ඒ වගේම ලංකාවේ ‘විශ්වාසය තහවුරු කරනවා‘ කියලා කොච්චර කළත් මේ රට ඇතුළට ප්‍රාග්ධනය ගලා ඇවිල්ලා, පෞද්ගලික අංශය ආයෝජනය කරන්නේත් නෑ. රජයට තියෙන්න ඕනෑ ඒ සඳහා ඉතා පැහැදිලි සැලසුමක්. කෙටි කාලීනව ආදායම් උත්පාදනය කරන්නේ කොහොමද? දීර්ඝ කාලීනව කරන්නේ කොහොමද?

අයිඑම්එෆ් නොකියන දේ

ශ්‍රී ලංකාවේ සිදු වන්නේ කුමක්දැයි අප දීර්ඝ කාලයක් නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව අයිඑම්එෆ් ආයතනය නොකියන මේ අර්බුදයට හේතු කිහිපයක් හා ඒ හේතු ඔස්සේම ඉදිරිපත් කළ යුතු විසඳුම් කිහිපයක් අප පදනම් සහගතව හඳුනාගන්නවා. මෙම කරුණු ඉදිරිපත් කිරීමේදී අපි ආර්ථික විශ්ලේෂකයන්ගේ සහයෝගය ලබා ගත්තා.

  • මෙරට දේශපාලනඥයන් ශ්‍රී ලංකාවේ ජනතාවට අනවශ්‍ය ආකාරයෙන් විශාල ලෙස ණය අරගෙන තියෙනවා.
  • මෙරට සිදුකළ අනවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති සඳහා ගත් ණය වගේම, ශ්‍රී ලංකාවට අවාසි සහගත කොන්දේසි යටතේ ගත් ණයත් තියෙනවා. එවැනි ණයවලින් ගත් මුදල් වංචා කර තිබෙනවා. මේ අසාධාරණ ණය හඳුනාගැනීම සඳහා ණය විගණනයක් කරලා, අසාධාරණ ණය වර්ග පිළිකුල් සහගත ණය ලෙස හඳුනාගෙන අවලංගු කර දැමිය යුතුයි. මේක ලෝකයේ කර ඇති දෙයක්, කළ හැකි දෙයක්. ඒ සඳහා ජාත්‍යන්තර බේරුම්කරුවෙකුගේ සහයෝගය ඕනෑ.
  • මෙරට ව්‍යාපාරික සහ දේශපාලන ප්‍රජාව එලෙස වංචා කළ මුදල් සහ පෞද්ගලික අංශයේ සේවකයන් මහන්සි වී මෙරටට ගෙනා විදේශ ආදායම් මහා පරිමාණයෙන් විදේශ රටවලට පිටමං කර තිබෙනවා. දැනට හෙළි වී ඇති ප්‍රමාණය ඩොලර් බිලියන 40ක් වුණත් ප්‍රමාණය ඊට වඩා අති දැවැන්ත විය හැකියි. රටින් හොරකම් කර පිටමං කළ මේ මහා ධනස්කන්ධය නැවත ගෙන ආ යුතුයි. මේ සඳහා විශේෂ, කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ වේගවත් අපරාධ විමර්ශන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතුයි. මුදල් වශයෙන් ගතහොත් අයිඑම්එෆ් සහ අනෙකුත් ආයතන ලබා දෙන ඩොලර් හතක මුදලට අමතරව ඊට වඩා වැඩි මුදලක් මේ ක්‍රියාවලියෙන් ඉදිරි වසර හතර ඇතුළත ලබාගන්න හැකි වේවි.
  • මහබැංකු බැඳුම්කර වංචා, බදු වංචා, බැංකුවලින් ණය ලබාගෙන කරන ලද වංචා, කොමිස්, බාල මට්ටමේ ඉදිකිරීම් ටෙන්ඩර්, සේවකයන් සූරාකමින් උපයාගත් අයුතු ලාභ, කොටස් වෙළඳපොළේ ඇතුළු මෙකී නොකී වංචා සහගත සහ අසාධාරණ  ලෙස ඉහළම ආදායම් උපයාගත් සුපිරි ධනවතුන් පිරිසක් මෙරට සිටිනවා. ඔවුන් සතුව විතරක් නෙවෙයි, භික්ෂූන් සතුව පවා හිතාගන්න බැරි අධික වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. ඍජු බදු ආදායම වැඩි කර ගනිද්දී, මෙන්න මේ අධික වත්කම්වලට බදු අය කළ යුතුයි.
  • ඊට අමතරව මෙරට ඉහළ ආදායම් ඇති අය සුපිරි නිවාස සංකීර්ණ හෙවත් අපාර්ට්මන්ට්ස්, සුපිරි වාහන ආදියෙහි ඕනෑවට වඩා සල්ලි ආයෝජනය කරලා තියෙනවා. බොහෝවිට යුක්ති සහගත නොවන ආකාරයට උපයාගත් ආදායම්. මේවා නැවත ඵලදායී ක්ෂේත්‍රවලට ආයෝජනය කරන්න සැලසුම් හදන්න ඕනෑ. උදාහරණයක් විදියට සුපිරි මෝටර් රථ ප්‍රතිඅපනයන සැලසුමක් සහ සුපිරි නිවාස සංකීර්ණ විදේශිකයන්ට ලබා දීමේ සැලසුමක් ආණ්ඩුවට සකස් කළ හැකියි. මේ පිළිබඳ ආර්ථික විශ්ලේෂක ධනූෂ පතිරණ කතා කර තිබෙනවා.
  • හොරකම් කරපුවා ගෙනාවාට, අයුතු ලාභ ලැබූ අයට බදු ගැහුවාට, ණය ටික කැපුවාට මදි. ලංකාවේ රජය ලබාගන්නා ආදායමෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෑ. ඵලදායී ආයෝජන සඳහා මුදල් යොමු කරන්න ඕනෑ. ක්ෂේත්‍ර කාර්මිකකරණය කරන්න ඕනෑ.

අයිඑම්එෆ් පර්ෆෙක්ට් නෑ

මතක තියාගන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ ඉන්නේත් මේ ලෝකයේ මිනිස්සු. මේ මොහොතේ, මේ ලෝකයේ කිසිම රටක් නැහැ ‘යහපත් සහ පර්ෆෙක්ට්‘ රටක්. ආර්ථික වශයෙන් පවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩි බලය තියෙන රටවල් ගොඩක්, තමන්ගෙ අඩුපාඩු සහිත රටවල්. අද ඇමෙරිකාවේ ආර්ථික ක්‍රමය බරපතල ලෙස බිඳී ගිය, විනාශ වී ගිය, විෂම එකක් බව ඒ රටවල ජනතාවත්, විද්වතුනුත්, ජනමාධ්‍යයත්, දේශපාලකයනුත් කියනවා. ඒ රටවල් ඒකට හේතු හොයනවා.

අද මුළු ලෝකයම මහා දැවැන්ත ව්‍යාපාරිකයන්ගේ ධන ලෝභය හා දේශපාලන බලලෝභය හේතුවෙන් මහා විනාශයන් කිහිපයක් අභියසට ඇවිල්ලා. අයිඑම්එෆ් ඇතුළු ජාත්‍යන්තර ආයතන ගණනාවක අධීක්ෂණය යටතේ තියෙන මේ ලෝකය, අද එහි විනාශය ගැන අනතුරු හඟවමින්, ඉඟි පළ කරමින් ඉන්නවා. මිනිස්සු විතරක් නෙවෙයි සියලු සතුන් එක්ක ලෝකයම මහා දේශගුණ විනාශයකට ඉදිරි කෙටි කාලයක් ඇතුළේ යන බව කියනවා. අපට අයිඑම්එෆ් අනුමැතිය ලැබුණු මොහොතේම දේශගුණ අර්බුදය පිළිබඳ අන්තර් ආණ්ඩු පැනලයේ වාර්තාවත් ආවා. දැන් සිටින ලෝක බලවතුන් මේ ලෝකයම තල්ලු කර ඇති විනාශකාරී තැන එහි සඳහන් වෙනවා.

ඉතින්! ශ්‍රී ලංකාව වගේ පොඩි රටක ආර්ථිකය ගොඩගන්නට අවශ්‍ය පර්ෆෙක්ට් ප්‍රතිපත්තියක් අයිඑම්එෆ් එක සතුවත් නෑ. ලෝකෙ කොහෙවත් නෑ. රනිල්ගෙ සාක්කුවේත් නෑ. තිබුණනම් රට කොහොමත් මේ තැනට වැටෙන්නෙ නෑ. මතක තියාගන්න අපි 16 වතාවක් අයිඑම්එෆ් ගිහින් තියෙනවා. දේවල් කරලා තියෙනවා.

මෑත දශක කිහිපය තුළ බංකොළොත් වෙලා අයිඑම්එෆ් එකට ගිහිල්ලා, අයිඑම්එෆ් එක කරන්න කියලා දුන්න ටික කරලා ගොඩ ගිය රටවල් ඇත්තේත් නෑ.

ජනතාවාදී ආණ්ඩුවක්

අවසානයේ අප දැඩිව කල්පනා කරනන ඕනෑ දෙයක් තියෙනවා. මේ අර්බුදය දේශපාලනික අර්බුදයක්. අයිඑම්එෆ් ආ පමණින් කලින් සිටි පාලකයන්ම බලයේ සිටින්නේ නම්, සිදු වෙන වෙනසක් නෑ. ශ්‍රී ලංකාව නම් ශරීරයේ ලේ උරා බිව් අයට දැන් ප්‍රශ්නයක් තියෙනවා, තවත් මේ ඇඟේ ලේ නැහැ. ඒ නිසා ඔවුන් මේ ඇඟේ මස් කෑලි කඩ කඩා, ඒවා කටේ තියලා හපනවා, හපමින් සූප්පු කරනවා, ඉතිරිවෙලා තියෙන අන්තිම ලේ ටික ඇදිලා එනතුරු. ඉතිරි වෙන්නේ අවයවවල හප ටික විතරයි.

ඊට අමතරව හදවත පණපිටින් තියාගෙන පිටින් ලේ චුට්ටකුත් දෙනවා ඇඟට යළි පණ ගහන්න කියලා. ඒත්. මස් කෑලි කඩ කඩා ලේ පොම්ප කළාට ශරීරය යළි පණ ගහන්නේ නෑ. මරණය දක්වාම යනවා.

දැන් ඕනෑ ජනතාව පැත්තෙන් හිතන ආණ්ඩුවක්. ජනතාවගේ ආණ්ඩුවක්. අයිඑම්එෆ් එකත් එක්ක පවා වාද කරමින්, සැබෑ ජනතා අවශ්‍යතා ඉටු කරමින් රට වර්ධනයක් දක්වා ගෙන යා හැකි අවංක ආණ්ඩුවක්.

මේ අර්බුදයට විසඳුම දේශපාලනිකයි. ඒක හුදෙක් ආර්ථික විසඳුමක් නෙවෙයි. කොහොමත් අයිඑම්එෆ් එක යනවා කියන එක විතරක්, අර්බුදවලට විසඳුමක් නෙවෙයි.

මූලාශ්‍ර

IMF Executive Board Approves US$3 Billion Under the New Extended Fund Facility (EFF) Arrangement for Sri Lanka (IMF) –

https://www.imf.org/en/News/Articles/2023/03/20/pr2379-imf-executive-board-approves-under-the-new-eff-arrangement-for-sri-lanka

IMF approves nearly $3 bln bailout for Sri Lanka (Reuters)

https://www.reuters.com/world/asia-pacific/imf-approves-29-bln-bailout-sri-lanka-presidents-office-says-2023-03-20/

Jonathan Wheatley Financial times  IMF approves $3bn bailout for Sri Lanka (The Financial Times) https://www.ft.com/content/96b9bee1-401c-418e-b92a-3e7cfb6d59a6

IMF approves critical $3B bailout package for Sri Lanka  (Washington post – By Krishan Francis) https://www.washingtonpost.com/business/2023/03/20/sri-lanka-economic-crisis-imf/dc1232c0-c753-11ed-9cc5-a58a4f6d84cd_story.html