ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ලබා ගන්නා ප්‍රධාන වෙළඳපොළවල්වලින් ඉල්ලුම අඩු වීම නිසා ඇඟලුම් ක්ෂේත්‍රයේ ආදායම සීයට 20කින් අඩු වන බව ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රධානම සංගමය වන ඒකාබද්ධ ඇඟලුම් සංසදය ප්‍රකාශ කර තිබේ.
අතිශය ඉහළ ලාභ ලබන, අපනයන ආදායම් රට තුළට ගෙන නොඒම ගැනත් චෝදනා ලැබූ මේ ව්‍යාපාරිකයන් මෙයට විසඳුම් ලෙස සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ, සේවක වැටුප් කප්පාදු කිරීම සහ අතිකාල දීමනා අඩු කිරීමය.
ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය වැනි වෙළඳසැල්වලින් ඇති ඉල්ලුම අඩු වී තිබෙන බවත් ඉදිරි මාස කිහිපයේදී තත්වය යහපත් අතට හැරීමේ ඉඩක් නැති බවත් එම සංගමය උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කර ඇත.
එමෙන්ම ඩේලි මිරර් වෙත ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ලේකම් යොහාන් ලෝරන්ස් කියා ඇත්තේ මෙසේය. ‘සියලු නිෂ්පාදන කර්මාන්තශාලා දැනට ක්‍රියාත්මක වෙනවා. ඇණවුම් අඩු වීමේ ප්‍රවණතාව නිසා අතිකාල දීමනා සහ සේවක ආදායම් අඩු වීමට හේතු වනු ඇති.‘
සාමාන්‍ය ජනතාව ආණ්ඩුවෙන් නිතිපතා සහන බලාපොරොත්තුවෙනවායැයි චෝදනා කරන මේ ව්‍යාපාරිකයන්, දැන් මේ තත්වයට විසඳුම් ‘දියව් දියව්‘ කියා ආණ්ඩුවට බලපෑම් කරයි. සාමාන්‍ය ජනතාවට ඒසී කාමරවල මීටින් පවත්වා දියව් දියව් කියන්න බැරි නිසා පාරට බහින අතර, එහිදී කඳුළුගෑස් ප්‍රහාරවලට ලක් වේ. එහෙත්, මේ ව්‍යාපාරිකයන්ට ලෙහෙසියෙන්ම රටේ පාලකයන් සමග අපොයින්ට්මන්ට් දමා, සාකච්ඡා මාර්ගයෙන් දියව් දියව් කියා සහන ඉල්ලා සිටිය හැකිය.
ඒ අනුව මෙම සංගමය කියා තිබෙන්නේ රජය ඉදිරියට පැමිණිය යුතු බවත්, විකල්ප වෙළඳපළවල් වෙත යෑමට අවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් චීනය සහ ඉන්දියාව වැනි රටවල් සමග විවෘත වෙළඳ ගිවිසුම් ඇති කරගත යුතු බවත්ය. ප්‍රධාන වශයෙන් වෙළඳපළවල් 4ක් සමග ගිවිසුම් ඇති කරගන්න ඕනෑ බව ඔහු කියා ඇත.
එමෙන්ම ක්ෂේත්‍රයේ පැවැත්ම වෙනුවෙන් තවත් සහන ඔවුන් පසුගිය කාලය තිස්සේද ඉල්ලා තිබේ. ඒ ගොවියන්ට පොහොර සහනාධාරය ලබා දීමේ සිට, ජනතාවට විදුලි බිල සහනයක් ලෙස ලබා දීමට එරෙහි මතවාද පවතිද්දීය.
ලංකාවේ ඇඟලුම් අපනයන ක්ෂේත්‍රය මෙරට අපනයන ආදායම් ලෙස විශාල මුදලක් උපයන නමුත්, ඒ උපයන මුදල්වලින් සැලකිය යුතු කොටසක් ගිණුම්වලට ඇතුළත් නොකර සාවද්‍ය ඉන්වොයිසිකරණය මගින් වංචාසහගත ලෙස රටින් පිට කර තිබේ. ඊට අමතරව ප්‍රකාශිත ආදායමෙනුත් සැලකිය යුතු කොටසක් රටට ගෙන්වාගෙන නොමැත.
එහෙත්, මෙම අපනයනකරුවන්ට යෙදවුම් ආනයනයේදී ලැබෙන බදු සහන ඇතුළුව විශාල සහනාධාර ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ ලබා දී තිබේ.