දිමුත් නායකත්වයෙන් අස් වෙනවාලු! ක්‍රිකට් කැප්ටන්ගෙන් රනිල්ට පාඩමක්

එළඹෙන ශ්‍රී ලංකා – අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමා ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසා තිබේ.

34 හැවිරිදි ටෙස්ට් නායකයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන් හිදී අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

‘මම තේරීම් කමිටුව එක්කත් කතා කළා අයර්ලන්ත තරගාවලියෙන් පස්සේ නායකත්වයෙන් ඉවත් වෙන්න. මොකද ඊළඟ සර්කල් එක අවුරුදු දෙකක් සෙල්ලම් කරන්න ඕන සර්කල් එකක්. මම හිතනවා නව නායකයෙක් අරගෙන ඒක කළොත් ගොඩක් වෙලාවට හොඳයි කියලා. මොකද මම ඒකෙන් භාගයක් කරලා ඔහුගේ අතට දෙනවාට වඩා ඔහුම මුල ඉඳන් කරන එක හොඳයි කියලා. තේරීම් කමිටුව එක්ක කතා කළත් උත්තරයක් ආවේ නැහැ. මට ඒ පැත්තෙන් උත්තරයක් ආවේ නැහැ. ඒක නෙකල් බලාගෙන ඉන්නවා. මගේ කල්පනාව ඒකෙන් පස්සේ අලුත් නායකයාට අවස්ථාවක් ලබා දෙන්න.‘ යනුවෙන් දිමුත් පැවසීය.

දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2ට 0ක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා ලබන මස ශ්‍රී ලංකාවට පැමිණෙයි.

රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම් නායකයා ගැන කතා කළ රනිල් වික්‍රමසිංහටත් දිමුත් කරුණාරත්නගේ මෙම ඉවත් වීමේ තීන්දුව පාඩමක් වනු ඇත. ශ්‍රී ලංකාවේ නායකත්වය වෙනුවෙන් දශක කිහිපයක් තිස්සේ පක්ෂයේ නායකත්වය බදාගෙන සිටින රනිල් වික්‍රමසිංහ පෙන්වන්නට උත්සාහ කරන්නේ, මේ රටට තමන් හැර වෙන කිසි නායකයෙක් නැති බවය. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ රටේ දියුණුවට බාධකයක් බව උගන්වන රනිල්, සාමකාමී විරෝධතා රට වට්ටන දේවල් ලෙස හුවා දක්වමින්, තමන්ගේ බලයට එරෙහි සියලු කටයුතු මර්දනය කරමින් ජනාධිපතිකම අල්ලාගෙන සිටීමට උත්සාහ කරයි.

විශේෂයෙන් දැන් පවතින අර්බුදයෙන් රට ගොඩගැනීම දශක කිහිපයක් දක්වා දිවෙන කටයුත්තක් බැවින් නව නායකත්ව පරම්පරාවකට එය භාරදීමත්, ඉදිරි නායකයන් සඳහා නව සැලසුම් ඉදිරිපත් කොට ජනතා අනුමැතිය ලබාගැනීමටත් ජනවරමක් අවශ්‍ය වේ. එවැනි කිසිවක් නොමැතිව, නායකත්වයේ බලහත්කාරයෙන් රැඳී සිටිමින් ඒකාධිපති භාවිතාවක රනිල් වික්‍රමසිංහ නිරත වෙමින් සිටී.