අධිකරණ නියෝගයට පස්ස හැරවූ මුදල් ලේකම්ට අධිකරණ අපහාස නඩු! හිරේ ලගින්න වේවි!

මැතිවරණය සඳහා මුදල් වෙන් කරන්න කියලා එස්සී එෆ්ආර් 69/2023 නඩුවේ තීන්දුව අනුව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන වෙත දීලා තියෙන නියෝගය කඩ කළ නිසා, ඔහුට අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩු පවරන බව දැනුම් දෙමින් සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මුදල් ලේකම්වරයාට නෝටිස් එකක් යවලා තියෙනවා.

නීතිඥ සම්පත් විජේවර්ධනගේ අත්සන සහිතව මේක යොමු කරලා තියෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ගොනු කරපු, උක්ත මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාග කටයුතු ඉදිරියට ගෙනයමින්, ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝග දෙකක් ලබා දීලා තිබුණා. ඒ, පෙත්සම්කරුවන් ඉල්ලලා තිබුණු අයි සහ ජේ කියන අතුරු නියෝග දෙක.

සරලව මේ අතුරු නියෝගවල සඳහන් වෙන්නේ අයවැයෙන් 2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වෙන් කළ මුදල් ලබා දෙන්න කියන එක.

එහෙත්, මේ අතුරු නියෝග දෙක මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන කඩ කරමින් ඉන්නවා. ඔහු මැතිවරණ කොමිසමට පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්න නම්, හෙමිහිට තමන්ගෙ වෙලාවට ඒක කරන්න බැහැ. මැතිවරණ කොමිසම නියම කරන දිනය වෙද්දී මුදල් ලැබෙන්න ඕනෑ.

ඒත්, ඔහු මැතිවරණ කොමිසමේ සාකච්ඡා මගහැරියා. ඊට පස්සේ මැතිවරණ කොමිසම ලියුමක් දැම්මාම පිළිතුරු ලිපියක් එව්වා, තමන්ට 2023 පෙබරවාරි 13 දිනැති කැබිනට් මණ්ඩල තීන්දුවක් අනුව මුදල් ලබාදීමට නොහැකි බව. මෙම මුදල් නිදහස් කිරීම පිළිබඳ විෂයභාර අමාත්‍යවරයා, ඒ කියන්නේ මුදල් ඇමති සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බවත් කියා තිබුණා.

මේක ඉතාම බරපතල වැරදි ප්‍රතිචාරයක්.

ඔබ දැකලා නැහැ නේද, කෝප් කමිටුව හෝ විගණකාධිපති දෙපාර්තමේන්තුව යම්කිසි මුදල් නිදහස් කිරීමක් පිළිබඳ යම් අමාත්‍යාංශයක හිටපු ඇමතිවරයෙක්ව කැඳවලා ප්‍රශ්න කරන බවක්. පහුගිය කාලයේ විවිධාකාර අමාත්‍යාංශවල මුදල්වලට අදාල නඩු කටයුතුවලදී ලලිත් වීරතුංග වැනි හිටපු ලේකම්ලා මිස ඇමතිලා ගිය ආකාරය දැකලා නැහැනේ. හිටපු ඇමතිවරුන් අදාල වන්නේ වෙනත් ආකාරයන්හි දූෂණ නඩුවලට විතරයි. මූල්‍ය සම්බන්ධ නඩුවකදී හෝ වෙන ඕනෑ තැනකදී කැඳවන්නේ ලේකම්වරයාව.

මොකද ඔහු තමයි ‘ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා.‘

අප සමග අදහස් දැක්වූ හිටපු පරිපාලන සේවයේ ඉහළ තනතුරුවල ඉඳලා, විදේශ සේවයේත් කටයුතු කරපු ප්‍රවීණ නිලධාරියෙකු පැහැදිලි කළා මහින්ද සිරිවර්ධන මහතා කරමින් ඉන්නේ, තමන්ට නීතිය ඉදිරියේ ලොකු දඬුවමක් විඳින්න සිද්ධවෙන ජාතියේ වරදක් බව. ඇත්තටම ඒ නිලධාරියා, තවත් එක නිලධාරියෙකු ලෙස මහින්ද සිරිවර්ධන මහතාට වෙන්න යන දේ ගැන කම්පා වුණා. ඒත් ඉතින් ලලිත් වීරතුංගලාගේ, අනූෂ පැල්පිටලාගේ අත්දැකීම්වලින්වත් දේශපාලුවන්ගේ පටු ආශාවන් ඉටු කරන්න දඟලන නිලධාරීන් පාඩම් ඉගෙනගන්නේ නෑ කවදාවත්.

අපි කලින් කීවා වගේ, යම්කිසි අමාත්‍යාංශ ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා වන්නේ අමාත්‍යාංශයක ලේකම්වරයා. විශේෂයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හෙවත් භාණ්ඩාගාර ලේකම්වරයාට සිය තනතුරට අදාල විශේෂ වගකීම් තියෙනවා. ඔහුගේ ප්‍රධානම රාජකාරිය තමයි රාජ්‍ය අරමුදල්, අයවැයට අනුකූලව වෙන් කරන එක. එතකොට ඒ මූලික රාජකාරිය පැහැරහැරීමට අදාලව ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකියි. මෙයට අදාල නීතිය පැහැදිලියි.

රනිල්ගෙ දෙපරැන්ද අස්සේ හැංගිලා මහින්ද සිරිවර්ධන මහත්තයාට බේරෙන්න බැහැ. මේක හරියට ඉස්සරහට ගියොත්, මහින්ද සිරිවර්ධන මහතාට අවුරුදු දෙකක විතර සිර දඬුවමක් විඳින්නට වුණත් සිද්ධවේවි.

ඉතින්, මේ කියන ලියුමේ සඳහන් කරලා තියෙනවා මාර්තු 14 වැනිදා වෙද්දී රුපියල් මිලියන 100ක මුදලක් (ඒ කියන්නේ මේ ලේකම්වරයා වෙනත් වියදම් ගණනාවකට වෙන් කරපු මුදල්වලට වඩා අඩු මුදලක්.) නිදහස් කරන්න අසමත් වුණා. ඒ අනුව තැපැල් ඡන්දයට අදාල ඡන්ද පත්‍රිකා තවමත් නිදහස් කරලා නෑ.

මාර්තු 17 වැනිදා මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මැතිවරණ කොමිසම වෙත දැනුම් දීලා තිබුණා සල්ලි දෙනතුරු දැනට මුද්‍රණය කරපු ඡන්ද පත්‍රිකා ටික පවා ලබා දෙන්නේ නැති බව. දිස්ත්‍රික්ක 17කට අදාල තැපැල් ඡන්ද පත්‍රිකා දැනටමත් මුද්‍රණය කරලා අවසන් මේවා ගබඩාවේ තැන්පත් කරලා තියෙනවා. මේවා මිටි බැඳීම සහ පොලිස් ආරක්ෂාව යටතේ නැවත පරීක්ෂා කිරීමට නියමිතයි. මේ ඡන්ද පත්‍රිකා මෙවර මැතිවරණය සම්පූර්ණයෙන් අවලංගු කළොත්, සම්පූර්ණ නාස්තියක් බවට පත්වෙන්නත් නියමිතයි. මොකද, මේවා විසි කරන්න සිද්ධ වෙනවා.

මුද්‍රණය කරන්න නියමිත අනෙක් පත්‍රිකා මුදල් දෙනතුරු ලබා දෙන්නේ නැති බවත් කියා තියෙනවා.

ඒ අනුව තැපැල් ඡන්දය මාර්තු මාසය අවසන් වෙද්දී පවත්වන්නට බැරි බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචිමාර්ග ඇසුරෙන් ලංකාදීප පුවත්පතේ ප්‍රවීණ මාධ්‍යවේදී රංජන් කස්තුරි වාර්තා කරලා තිබුණා. එයට ප්‍රධාන හේතුව තැපැල් ඡන්ද පත්‍රිකා ලැබී නොතිබීම.

මේ තමයි මහින්ද සිරිවර්ධන කියන නිලධාරියාගේ සිට, මැතිවරණ කොමිසම දක්වා සිදුවීමේ හේතුඵල සම්බන්ධය.

ඒ අනුව මහින්ද සිරිවර්ධන තමයි මැතිවරණය පැවැත්වීමට ඉඩ නොදෙන චරිතය. ඔහු සිතාමතා මෙම කටයුත්ත සිදු කරන බවත් පැහැදිලියි.

අපි කලින් සඳහන් කළ නෝටිස් එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මෙය අධිකරණයේ නියෝගය පැහැරහැරීමක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවත්. ඒ අනුව මෙය සිදු නොකළහොත්, ඉදිරියේදී අධිකරණයට අපහාස කිරීමට අදාලව නඩු පවරන බවත් නිත්‍යානුකූලව දැනුම් දී තිබෙනවා.

අපි මීට කලින් අවස්ථා කිහිපයකදී, රන්ජන් රාමනායක වැනි පුද්ගලයන් සිදු කරපු ප්‍රකාශ මත අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ දඬුවම් ලබා දීම ගැන කතා කරලා තියෙනවා. අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නිශ්චිත නීතිරීති සකස් වෙන්න ඕනෑ. අධිකරණයේ ගෞරවයත්, ප්‍රකාශනයේ නිදහසත් රැකගැනීමට නවීන නීති හැදෙන්න ඕනෑ.

හැබැයි, කුමන නීතියක් යටතේ වුණත් අධිකරණය ලබාදුන් නියෝගයකට පස්ස හරවාගෙන අධෝවාත පිටකරන එක බරපතල වරදක්. ඒක අධිකරණයේ ගෞරවය මහ දවාලේ දූෂණය කරලා දැමීමක්. අධිකරණය ඉතාම පහළ මට්ටමකට දැමීමක්. ඉතින්, මහින්ද සිරිවර්ධන මේ වෙද්දී ලංකාවේ ඉහළම අධිකරණයේ තීන්දුවක් කුණුබක්කියකට දාලා, තමන්ව රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරනු ඇතැයි සිතාගෙන ඉන්නවා.

අප සමග මේ ගැන කතා කරපු, ඉතාම වයසෙන් සහ අත්දැකීම්වලින් ඉතාම ප්‍රවීණ සහ ගෞරවණීය විශ්‍රාමික පරිපාලන නිලධාරියාගේ වචනයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි.

‘පව් මේ දරුවා.‘