සිරිනිවාස හිමි‍ගේ කෝටි ගණනක වාහන සහ දේපළ කේස් ගැන පෝද්දල ජයන්ත ලියයි!

සිරිනිවාස නාහිමියන්ගේ කෝටි 11 ක් වටිනා සුඛෝපභෝගී වාහන 04 හිමිකම

03 ක් අභිනව අටමස්ථානාධිපති පල්ලෙගම හේමරතන හිමි භාරයට…..!

01 ක් ඉඩමේ හිමිකම ඉල්ලූ කාන්තාවගේ ස්වාමි පුරුෂයාවන පී. ඇම්. චන්දානන්දට

අපවත්වී වදාළ අටමස්ථානාධිපති පල්ලෙගම සිරිනිවාස නාහිමියන්ට අයිතිව තිබූ රුපියල් කෝටි 11 ක් වටිනා අධි සුඛෝපභෝගී වාහන 04 ක හිමිකම තමන්ට පවරන ලෙස ඉල්ලා අනුරාධපුරයේ පී. එම්. චන්දානන්ද නමැති වෙළෙද ව්‍යාපාරිකයකු අනුරාධපුර දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

මෙකී පෙත්සම ඉදිරිපත් කර ඇති පී. එම්. චන්දානන්ද නමැති ව්‍යාපාරිකයා රුපියල් කෝටි 10 ක් වටිනා ඉඩමේ සහ නිවසේ හිමිකම ඉල්ලා ඇති එච්.එම්. දුලාංජලී දිනේෂා කුමාරි හේරත් යන අයගේ ස්වාමිපුරුෂයා ය. ඔහු අනුරාධපුර නිදහස් මාවත ඉසුරුපුර අංක 3/2 ඒ 260 පදිංචි අයෙකි.

මෙකී පෙත්සම මගින් NC/CBL 5353 අංක දරන ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජිප් රථය , NC/PC 8445 අංක දරන ටොයොටා හයිලුක්ස් වර්ගයේ කැට් රථය , NC/KW 9988 අංක දරන ටොයොටා ප්‍රිමියම් වර්ගයේ කැබ් රථය , NC/CAW 1210 අංක දරන HONDA වෙසෙල් වර්ගයේ ජිප් රථය යන අධි සුඛෝපභෝගී වාහන හතරේ අයිතිය තමන් වෙත පවරන්නයි ඉහත පී.එම්. චන්දානන්ද අනුරාධපුර දිසා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

චන්දානන්ද පෙත්සමේ වගඋත්තරකරුවෝ

ඉහත වාහන හතරේ හිමිකම ඉල්ලා සිටි පී.එම්. චන්දානන්ද විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණේ වත්මන් අටමස්ථානාධිපති පල්ලෙගම හේමරතන හිමි , අනුරාධපුර ජය ශ්‍රී මහබෝධි බෝමළු විහාරවාසී කැකිරාවේ ඥානසිරි හිමි , අනුරාධපුර ථූපාරාමාධිකාරී කහල්ලේ ඥාණානන්ද හිමි සහ අටමස්ථාන කාරක සභාව යි. ඉහත වගඋත්තරකාර පිරිස ඉහත වාහන 04 පී.එම්. චන්දානන්ද නමට ලියාපදිංචි නොකරන්නයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත දැනුම් දී තිබුණි.

ඉහත දෙපළ සිරිනිවාස හිමියන් විසින් පෞද්ගලිකව “උපයා සපයා” ගත් සාංඝික නොවන ඒවාලු……!

ඉහත සුඛෝපභෝගී වාහන 04 රේ හිමිකම ඉල්ලා සිටි පෙත්සම්කාර චන්දානන්ද සිය පෙත්සමෙන් දිසා අධිකරණයට දන්වා ඇත්තේ ඉහත දේපළ සිරිනිවාස හිමියන් ජීවත්ව සිටියදී පෞද්ගලිකව “උපයා සපයා” ගත් සාංඝික නොවන පෞද්ගලික ධනයෙන් මිලදී ගත් ඒවා බවයි. එම දෙපළවල නිරවද්‍යතාව සොයා බැලුවේ තමන් බවත් ඔහු වැඩිදුරටත් සිය පෙත්සමෙන් ප්‍රකාශ කර තිබේ.

ඊට අමතරව අදාළ වාහන 04 රේ ආරක්ෂාව , අලුත් වැඩියාවන් සිදුකළේ තමන් බවත් , එම වාහන ගාල්කර තිබුණේ තමන්ගේ නිවසේ බවත් , සිරිනිවාස හිමියන්ට ගමනක් බිමනක් යාමට අවශ්‍ය වූ විට “බෝමළුව” පන්සල වෙත ගෙන්වා ගත් බවත් පෙත්සම්කාර පී.එම්. චන්දානන්ද සිය පෙත්සමෙන් තවදුරටත් ප්‍රකාශ කර තිබුණි.

පෙත්සම්කාර පාර්ශ්වය සහ වගඋත්තරකාර පාර්ශ්වයේ කරුණු සලකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී . පියරත්න ඉහත වාහන 04 න් 03 ක් අභිනව අටමස්ථානාධිපති පල්ලෙගම හේමරතන හිමි ප්‍රමුඛ අටමස්ථාන කාරක සභාවටත් , NC/CAW 1210 දරන HONDA වෙසෙල් වර්ගයේ ජිප් රථය වාහන 04 රේම අයිතිය ඉල්ලා සිටි (කෝටි 10 ක් වටිනා ඉඩමේ සහ නිවසේ හිමිකම ඉල්ලා සිටින එච්.එම්.දුලාංජලී දිනේෂා කුමාරි හේරත් යන අයගේ ස්වාමිපුරුෂයා වූ) පෙත්සම්කාර පී.එම්. චන්දානන්ද නමැති ව්‍යාපාරිකයා වෙත ලබා දීමට නියෝගකර තිබේ.

රුපියල් කෝටි 10 ක් වටිනා ඉඩමේ සහ නිවසේ හිමිකම ඉල්ලා සිටි දිනේෂා කුමාරි ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ විස්තර පහතින් කියවා ගන්න

“සිරිනිවාස” නාහිමියන් තමන්ට දුන් කෝටි 10 යේ තෑගි ඔප්පුවට ලියාපදිංචිය දෙන්නැයි “දිනේෂා කුමාරි” අධිකරණයෙන් ඉල්ලයි

අටමස්ථානාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස නාහිමියන් තමන්ට තෑගි ඔප්පුවකින් ලබා දුන් කෝටි 10 ක් වටිනා නිවස සහිත ඉඩමේ ඔප්පුවට ලියාපදිංචිය ලබා දෙන ලෙස ඉල්ලා එච්.එම්. දුලාංජලී දිනේෂා කුමාරි හේරත් නමති කාන්තාවක් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ 00082/එන/2022 අංක දරන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අනුරාධපුර පළමු පියවරේ පිහිටි නිවස සහිත ඉඩම අංක 5493 දරන තෑගි ඔප්පුවකින් උන් වහන්සේ අපවත් වීමට දින පහකට පෙර තමන්ට ලියා දුන් බවත් , එකී නිවස සහිත ඉඩමේ ඔප්පුව ලියාපදිංචි කිරීම රෙජිස්ටර් ජෙනරාල්වරයා ප්‍රතික්ෂේප ඇති බවත් ඇය සිය පෙත්සමෙන් කියා සිටින්නී ය.

කරුණු එසේ හෙයින් මේ තෑගි ඔප්පුව වහා ලියාපදිංචි කිරීම කරන ලෙස රෙජිස්ටර් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස දිනේෂා කුමාරි හේරත් ඉහත පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටී. ඇයගේ පෙත්සම මාර්තු 29 දින අනුරාධපුර දිසා අධිකරණය හමුවේ කැදවීමට නියමිතය.

(සැ.යූ. ජිප් රථවල ඡායාරූපය පාඨකයාට යම් චිත්‍රයක් මවා ගැනීම සඳහා පමණක් ඉදිරිපත් කර ඇත)