අයිඑම්එෆ් අනුමැතිය හෙට ලැබේ! අනිද්දාම ඩොලර් මිලියන 390ක් එනවාලු!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඊඑෆ්එෆ් හෙවත් විස්තීර්ණ ණය අරමුදල් පහසුකමක් ලබාදීම පිළිබඳ දැනට ඇති යෝජනාවලිය එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට මාර්තු 20 වැනි සඳුදා උදෑසන 10.30ට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, එහිදී අනුමැතිය ලැබීමේ ඉඩක් ඇති බවත් වාර්තා වෙනවා.

වොෂිංටන්වලදී අයිඑම්එෆ් අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වන අවස්ථාවේදී මෙම තීන්දුව ගනු ඇති. ඉන් පසු මාර්තු 21 වැනිදා වන විටම ශ්‍රී ලංකාව වෙත මුල්ම මුදල් ප්‍රමාණය ලැබෙනු ඇතැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ සන්ඩේ ටයිම්ස් වෙත කියා තිබුණා. මෙහි වටිනාකම ඩොලර් 390ක් වන අතර, එය එස්ඩීආර් නම් ඒකකයෙන් ලැබෙනු ඇති.

ශ්‍රී ලංකාවේ බලධාරීන් තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගනිමින්, ශ්‍රී ලංකාව ලැබූ ‘ප්‍රගතිය‘ ඇගයීමට ලක් කරන බවත්, මාර්තු 20 වැනිදා අධ්‍යක්ෂ මණ්ඩලයට ශ්‍රී ලංකාව පිළිබද වැඩසටහන ඉදිරිපත් කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටාලිනා ජෝර්ජිවා මීට පෙර ට්විටර් පණිවිඩයකින් කියා තිබුණා.

මෙය හුදෙක් ආර්ථික සහ තාක්ෂණික තීන්දුවක් පමණක් නොව, බල දේශපාලනයට අදාල තීන්දුවක් බවද විෂය පිළිබඳ විකල්ප දැක්මක් ඇති අය පෙන්වා දෙනවා. චීනය තමන්ට අවශ්‍ය යෝජනාවට එකඟ කරවාගැනීමට නොහැකි වූ නමුත්, ශ්‍රී ලංකාවේ බලයේ සිටින ආණ්ඩුවේ ඉදිරි ගමනට අභියෝගයක් පෙනෙන්නට ඇති නිසා, මෙම අනුමැතිය ලැබෙනු ඇතැයි අනුමාන කරනවා.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා චීනයේ අනුමැතිය ලැබුණු බව ප්‍රකාශ කළත්, සැබෑ ලෙසම චීනය ශ්‍රී ලංකාව හෝ අනෙකුත් ජාත්‍යන්තර පාර්ශ්ව අපේක්ෂා කරපු අන්දමේ අනුමැතියක් නොදුන් බව ආරංචිමාර්ග වාර්තා කරනවා. චීනය ලබාදුන් අවසාන එකඟතාව කුමක්දැයි තවමත් නිසියාකාරයෙන් පැහැදිලි වී නැහැ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු පසු ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව තවත් ණය ආධාර ලබාදෙනු ඇතැයි මහබැංකු අධිපතිවරයා සන්ඩේ ටයිම්ස් වෙත කියා තිබුණිා. මෙලෙස ලැබෙන ණය මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 4.5ක් වනු ඇතැයි ඔහු සඳහන් කර තිබුණා.

ඒ අනුව, මහා භාණ්ඩාගාරය දැනට මිලට ගෙන ඇති ඩොලර් මිලියන 500ක මුදල් ප්‍රමාණය සමග කලින් තිබුණු තත්වයට වඩා සාර්ව ආර්ථික මට්ටම ඉහළට නැගෙනු ඇති. දර්ශක ගණනාවක ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයේ වර්ධන මට්ටමක් පෙන්නුම් කරනු ඇති.

සරල බසින් කීවොත්, වැටුණු තැනින් යම් නැගිටීමක් පෙන්නුම් කරනු ඇති.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මෙම අවස්ථාව දේශපාලන වශයෙන් උපරිම ප්‍රයෝජන ගනු ඇති බවත්, තමන්ගේ මර්දනකාරී පාලනය දැඩිව ක්‍රියාත්මක කරනු ඇති. ජනතාවට සහන ලබා නොදී, අයිඑම්එෆ් හරහා මහ ගිණුම් පොත් කළමණාකරණය පෙන්වමින්, මධ්‍යම පන්තියේ ආකර්ෂණය දිනාගැනීමටත් උත්සාහ කරනු ඇති. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මොණර පිල් විදහා කරන නැටුම් ඉදිරියේදී බලාගත හැකි වේවි.

එමෙන්ම මර්දනය වඩාත් තදබල ලෙස වර්ධනය වනු ඇති බවත්, ඒ සඳහා ඇතැම් මාධ්‍ය ආයතනවල මෙන්ම සමාජයේ වරප්‍රසාදිත කොටස්වල සහයෝගය ලැබෙනු ඇති බවත් අනුමාන කළ හැකියි.

අයිඑම්එෆ් ආයතනයට පාලකයා ජනතා විරෝධීද යන්න අදාල නැහැ. මීට පෙර ලෝකයේ රටවල් ගණනාවක් අයිඑම්එෆ් වැඩසටහන්වලට ගොස්, බංකොලොත්භාවයෙන් ගොඩ යෑමට උත්සාහ කළත්, හැත්තෑව දශකයෙන් පසු රටවල් කිසිවක් අයිඑම්එෆ් ආධාර නිසාවෙන් සම්පූර්ණයෙන් ගොඩ ඇවිත් නැහැ. එම නිසා අයිඑම්එෆ් ආයතනය යෝජනා කරන ප්‍රතිපත්ති ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රශ්න කිරීමට සහ අභියෝගයට ලක් වී තිබෙනවා.