ජනාධිපතිවරයා ඇතුළුව අද පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනා සුභසාධක රාජ්‍යයෙන් පහසුකම් විඳිමින් හැදී වැඩුණු අය. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, විදුලි බිලට සහනාධාරය. පසුව ඔවුන් බලයට ඇවිත් සුභසාධක රාජ්‍යය දූෂණය කළා, දූෂණයට අනුබල දෙමින් එය පිළිකාවක් ලෙස වැඩෙන්න ඉඩ දුන්නා. එමගින් සුභසාධක රාජ්‍යයේ පහසුකම් ජනතාවට විඳින්න දුන්නේ නැහැ.
පසුගිය දශක කිහිපයක් තිස්සේ බලයේ සිටියේ ඒ පුද්ගලයන්ම අදත් බලයේ සිටින අය දූෂණය ගැන බණ දේශනා කරන්නට එනවා. ඔවුන් කියනවා, සුභසාධක රාජ්‍යය විසුරුවා හැරීම දූෂණයට පිළිතුර බවයි. ‘වෙළඳපොළට වැඩේ බාරගන්න දෙමු. දුප්පතුන් සඳහා ඉලක්කගත සහන දෙමු‘ කියලා.
මගේ පරම්පරාවේ සහ අනාගත පරම්පරාවන්ට අයත් අය මූලික අවශ්‍යතා වෙනුවෙන් ජීවන අරගලයේ යොදවන්නත්, ඒ වෙනුවෙන් සාක්කු හිස් කරවන්නත් ඔවුන්ට ඕනෑ.
ඉලක්කගත සහයෝගය ප්‍රායෝගිකව වැඩ කරන්නේ කෙලෙසද, ධනවාදී රාජ්‍යයක දුප්පතුන්ට සලකන්නේ ඔබට සැකයක් තිබෙනවා නම් – බලන්න ඇමෙරිකාව.
සුභසාධක රාජ්‍යය විශ්වීයයි. මට මගේ දරුවාව රජයේ පාසලකට ඇතුළු කරගන්න ඕනෑ නම්, රජයේ රෝහලකට ඇතුළු කරන්න ඕනෑ නම්, මම දුප්පත් බව ඔප්පු කරමින් අයදුම්පත් පිරවිය යුතු නැහැ.
ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව සීයට 98 මට්ටමේ තිබුණා. මේ අංකය ඉබේ කොහෙන් හෝ පත්වූවක් නෙවෙයි. එය සුභසාධක රාජ්‍යය ලබාදුන් විශ්වීය අධ්‍යාපනය නිසා ලැබූවක්.
ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය සම්පත් පෞද්ගලිකකරණය ප්‍රශ්නයට විසඳුම කියා ඔබව ඒත්තු ගන්වන්න ඔවුන්ට ඉඩ හදාදෙන්න එපා. ඔවුන් පෞද්ගලීකරණය කරද්දී පෙර කී දූෂිත නිලධාරීන් සහ ඔවුන් එතැනට පත් කර දූෂණයට සහයෝගය දුන් අය ගනුදෙනුවලදී මුදල් ඩැහැගන්නවා.
දූෂණයට පිළිතුර ඉතා සරලයි. දූෂිත නිලධාරීන් ඉවත් කරන්න. අපක්ෂපාතී විමර්ශන පවත්වා අස් කරන්න.
මා මෙය කියන්නේ අත්දැකීමෙන්. මම වතාවක් රාජ්‍ය ආයතනයක අංශ ප්‍රධානියෙක්ව සිටියා. අපේ සේවාවන් ලැබූ ජනතාව ආයතනයට එරෙහිව දූෂණ චෝදනා ගෙන ආවා. මා භාරයේ ආයතනය ලැබුණු පසු අප ආයතනය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර සියලු දූෂිත නිලධාරීන්ට එම විමර්ශනයට මුහුණදීම හෝ ඉවත්ව යෑම යන තෝරාගැනීම් දෙක ඉදිරිපත් කළා. ඇතැම් අය ඉවත් වුණා. ඇතැමුන් විමර්ශනයට මුහුණදුන්නා. පසුව අපි ශක්තිමත් නිලධාරීන් පිරිසක් ජනතාවට සේවය කිරීම සඳහා තෝරාගත්තා. ඉන්පසු ගෙවුණු වසර 10 තුළ එම අංශය සමෘද්ධිමත් වෙමින් හොඳින් සේවය ලබා දුන්නා. ඒ නිසා මා කියන්නේ කුමක්දැයි මා හොඳින් දන්නවා.
සුභසාධක රාජ්‍යය අපට බරක් නෙවෙයි. එය තමයි අපට ඉහළ සාක්ෂරතා මට්ටමකුත්, අඩු මළදරු උපත් සංඛ්‍යාවකුත් තිබෙන්නට හේතුව. ඒ නිසයි දිළිඳුම නිවසට පවා විදුලි බලය ලැබෙන්නේ.
දූෂණයට එරෙහිව සටන් කරමු. එහෙත්, පෞද්ගලිකකරණය යන කඩතුරාවට මුවා වී, අපගේ දේශපාලන සහ ව්‍යාපාරික ප්‍රභූන්ට රාජ්‍ය සම්පත් සොරකම් කිරීම සඳහා ඉඩ නොදී, ඒවා රැකගනිමු.