පුතාව මරන්න හදන්නේ! කුඩු සලිඳුගේ මවගෙන් මානව හිමිකම් පැමිණිල්ලක්

මැඩගස්කාරයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සලිදු මලිෂ්ක වන තමන්ගේ බාල පුතුව මරා දැමීමේ උත්සහයක් ඇති බව පවසමින් ඔහුගේ මව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වේ.

මාධ්‍ය සහ පොලිසිය සලිඳු මලිෂ්කව හදුන්වනු ලබන්නේ කුඩු සලිඳු ලෙසය.

අදාල පැමිණිල්ල මාර්තු 13 වන දින යොමු කර ඇති අතර අදාල පැමිණිල්ලේ යොමු අංකය HRC/HO/1120/23 වේ.

තමන්ගේ දරුවාටද මාකදුරේ මධූෂ්ට අත් වූ ඉරණම මෙන් ඉරණමක් අත්කර දීමේ සැලසුමක් ඇති බව ඇයට දැනගන්නට ලැබුණු බවත් නීත්‍යනුකූලව ඕනෑම දඩුවමක් සිය දරුවාට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් නීතියෙන් පිට දරුවාගේ ජීවිතයට අනතුරක් නොකරන ලෙසත් පවසමින් සලිඳුගේ මව අදාල පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන එන, මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන හරක් කටා සහ කුඩු සළිඳු යන දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මේ අකාරයෙන්ම තවත් පැමිණිල්ලක් 2020 සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් කොමිකමට යොමු කර තිබුණි.

ඒ තම පුතාව ආයුධ පෙන්වීමට කියා රැගෙන ගොස් ඝාතනය කිරීමට ඉඩ ඇති බව කියා කොස්ගොඩ තාරකගේ මව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබුණි. එම පුවත ලියුම්කාරිය විසින් අනිද්දා පුවත්පතේ පල කළේ 2020 සැප්තැම්බර් 12.

එම පුවත පළ කර මාස කිහිපයකට පසු එනම් 2021 මැයි 12 වන දින කොස්ගොඩ තාරක ආයුධ පෙන්වීමට කියා රැගෙන ගොස් ඝාතනය කර තිබුණි.