නීතීඥ දිවියට වසර 50යි! අගවිනිසුරු අතින් රනිල්ට සම්මානයක්

නීති ක්ෂේත්‍රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙලදී අගවිනිසුරු ජයන්ත ජයසූරීය අතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මානයක් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ බව මාර්තු 13 වන දින ජනාධිපති මාධ්‍ය අංශයේ නිල ෆේස්බුස් පිටුවේ සදහන් කර ඇත.

මෙම සම්මානය ලබා දී ඇත්තේ ජනාධිපතිවරයාගේ වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ වූ නිසාත් එය ඇගයීමට මෙම “අභිනන්දන සම්මානය” ලබා දුන් බවත් ජනාධිපති මාධ්‍ය අංශව පවසා ඇත.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මාර්තු 12 වන දින රාත්‍රියේ මෙම උත්සවය පවත්වා ඇති අතර “ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජාතික වාර්ෂික සමුළුව – 2023” ට සමගාමීව මෙය සංවිධානය කර තිබුණී.

ජුලියානා මාග්‍රට් කොස්වත්ත, වෝල්ටර් ලෙස්ලි ද සිල්වා, රත්නසභාපති ආරුමුගම් ජෙගතීසන්, ජනාධිපති නීතිඥ උපාලි ඒ. ගුණරත්න, කනගරත්නම් ගනේෂයෝගන්, ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර්, විනිසුරු අශෝක නිහාල් දි සිල්වා, විනිසුරු ඩී.ජේ. ද එස්. බාලපටබැදි, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නීතිඥවරුන් 26 දෙනෙක් ට මෙහිදී සම්මාන පිරිනමා ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති සංජේ රාජරත්නම්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්, “අභිනන්දන” කමිටුවේ සභාපති ජනප්‍රිත් ප්‍රනාන්දු, කැඳවුම්කරු චමත් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.