හොලිවුඩ් බයියෝ! දැන් වරෙංකො හිනාවෙන්ඩ! ඔන්න උඹලා හිනාවුණ දකුණු ඉන්දියාවෙ, හිනාවුණ සිනමා ස්ටයිල් එකම උඹලගෙ මහලොකු ඔස්කාර් දින්නා..

ඉන්දියාවේම නිෂ්පාදිත ඉන්දීය චිත්‍රපටියකට පළමු වතාවට ඇකඩමි හෙවත්, ඔස්කාර් සම්මානයක් ලැබුණා…!

(මීට කලින් සම්මාන ලැබූ ගාන්ධි සහ ස්ලම්ඩෝග් මිලියනයර් චිත්‍රපටි හොලිවුඩ් නිෂ්පාදන බැවින්. ස්ලම්ඩෝග් මිලියනයර් එකේ සම්මානලාභී ඒ.ආර්. රෙහ්මාන් දෙමළෙක්.)

ඒත් ඒ ලාංකිකයන් නමදින උතුරු ඉන්දියාවෙන් නෙවෙයි, රහුමාන්ගෙන් පස්සේ, දෙවැනි වතාවටත් ඔස්කාර් දින්නේ දකුණු ඉන්දියාව. හැබැයි රහුමාන්ගේ ස්ලම්ඩෝග් මිලියනයර් මියුසික්වලටත් වඩා මේක විශේෂයි. සම්මානය ලැබූ නාට්ටු නාට්ටු (දෙමළ වර්ෂන් එක නාට්ටු කුත්තු) සිංදුව අපේ හොලිවුඩ් බයියලාගෙ උපහාසයට ලක්වෙච්ච ජාතියෙම මියුසික් ශානරයකට අයිති, ඒ අයගෙ උපහාසයට ලක්වෙච්ච සිනමා ශානරයකට අයිති චිත්‍රපටියක්.

ඒ නිසා මේක හුදෙක් දකුණු ඉන්දියාවෙන් ගිය වැඩක් විතරක්ම නෙවෙයි. දකුණු ඉන්දියාවෙ නිර්මාණ අතරින් අපේ අයගෙ හාස්‍යයට ලක් වුණ ස්යටයිල් එකේම වැඩක්. ඒ බොලඳයැයි කීව ඩිරෙක්ටර්ස්ලා, ඒ මියුසික් නිර්මාණකරුවන්, ඒ පද රචකයන්, ඒ නළුනිළියන්.

මම දශක ගාණක් තිස්සේ දෙමළ සිනමා රසිකයෙක්. දෙමළ කීවාට ද්‍රාවිඩියන් පවුලට අයිති හැම සිනමා සංස්කෘතියක්ම බැලූවෙක්. තෙලිගු කියන්නෙ දෙමළ නොවුණත්, සමස්ත දකුණු ඉන්දියානු (යම් දුරකට මලයාලම් හැර) කලාවම බොහෝ අය තැබුවේ එක ගොඩක.

මලයාලම් සිනමාවේ උසස් කලාත්මක පැත්තට බර වූ අන්තයේ සිට තෙලිඟු සිනමාවේ අතිශය ජනප්‍රිය අන්තයත්, දෙමළ සිනමාව දෙපැත්තට බර වූ බැලන්ස් එකත්, කන්නඩ සිනමාවේ සාපේක්ෂ අඩු පහසුකම් එක්ක එකතුකරන කලර් එකත් රසවින්ද සිනමා රසිකයෙක් මම. (සිනමාවට ආදරේ නිසා අනිවාර්යයෙන් හොලිවුඩ් සිනමාවත් බැලුවා.)

ඒත් අප්පා, දකුණු ඉන්දීය චිත්‍රපටිවලටත් විශේෂයෙන් ඒවායේ තියෙන සිංදු, ෆයිට් සහ සියල්ලට අපේ ‘පොෂ්‘ ලාංකිකයො හිනාවුණා. බොහෝ අය දන්නෙ නෑ,

මේකේ ඉතාම ගැඹුරු යටක ජාතිවාදයක් වයර් වෙලා තිබුණු බව. ලංකාවේ නූතන ‘සිංහල‘ ගීත සහ සිනමා සංස්කෘතිය හැඩගස්වද්දී දකුණු ඉන්දියාවෙන් ආභාෂය නොලබා, උතුරු ඉන්දියාවට අපේ නූතන සංස්කෘතියේ මුල් පියවරුන් ගිය හැටි ගැන අජිත් කුමාරසිරි වගේ අය ලියා තියෙන ලිපි ආදියෙන් තමයි ඇත්තටම මම මේකෙ ජාතිවාදී මුල තේරුම් ගත්තේ. ඒ කාලෙ ගුවන් විදුලිය සිංහලයන්ට ඇස්සවූ මියුසික් ස්ටයිල්, සිංහලයන්ට කියා දුන් සංගීත වටිනාකම් ගැන දැනගත්තේ. සිනමාවත් එහෙම තමයි. හින්දි සිනමාව පස්සෙ තමයි කට්ටියව යැව්වේ.

කොච්චර කළත් දෙමළුන්ගෙ වැඩවලට හිනාවෙන්න අපි ආසයි.

විශේෂයෙන්ම ඔවුන් මතු කරපු කාරණා කිහිපයක් තිබුණ.

01. දකුණු ඉන්දියානු සාම්ප්‍රදායික බෙර වර්ග, ආවේග, වේගය, රළු කටහඬවල් තියෙන මියුසික්වලට හිනාවුණා. (මේවා මියුසික්ද?)

02. දකුණු ඉන්දියාවෙ සිනමාවෙ ඇක්ෂන්වලට හිනා වුණා.

03. සිනමා හීරෝලා, හීරෝ එන්ට්‍රන්ස් ඇතුළු සම්පූර්ණ ඉන්දීය ෆිල්ම් ස්ටයිල් එකට හිනාවුණා.

ඇත්තටම දකුණු ඉන්දිය ෆිල්ම් සැලකිය යුතු තරම් ඒවා ටිකක් ඕවර් ද ටොප් තමයි. ඕනෑම සිනමා ඉන්ඩස්ට්‍රියක තියෙනවා කම්මැලි විදියට රෙසිපියක් ෆලෝ කරපු ඕලාරික ෆිල්ම්. හොලිවුඩ්වල වුණත්, හොඳ වැඩ බිහිවෙන්නෙ නරක වැඩවලින් පිරුණු සාගරයක් මැද.

ඒත්, ඕක්කාඩු හා ගිල්ලි හෝ බාෂා හෝ මෙතැන නම් වශයෙන් කියන්න බැරි තරම් චිත්‍රපටි, ඒ කියන්නේ ‘ඕවර් ද ටොප්‘ ඇක්ෂන් එක්ක, අපේ අය ‘දරන්න බෑ‘ කියල කියන පන්නයේ මියුසික් එක්ක හැදිච්ච චිත්‍රපටි බොහොමයක් මාස්ටර්පීසස්.

ඒ චිත්‍රපටිවල කතා සහ චරිත ප්‍රසන්ට් කරපු විදිය, ස්ට්‍රක්චර්ස් සහ ෆයිට්ස් ඇවිල්ලා ජීනියස්. හැබැයි ඒවායේ රසය හොඳ කලාත්මක වැඩකින් විඳින්න පුළුවන් මනුෂ්‍යයා ඉහළට ඔසවා තබන පන්නයේ, අපේ ආත්මයට බලපෑම් කරන පන්නයේ රසයක්ම නෙවෙයි.

අජිත් කුමාරසිරි කීවා වගේ ත්‍රිල්වාදයට අයිති ජීනියස් වැඩ. හරියට කීවොත්, ඒවා අතිවිශිෂ්ඨ පොප් කල්චර් නිර්මාණ. රසවින්දන මාකට් එකට හදපු නිෂ්පාදන. (ඒකේ වරදක් නෑ.)

ඉන්දියානා ජෝන්ස්, රැම්බෝ හෝ ස්ටාර් වෝස් ඇතුළු කොතෙකුත් හොලිවුඩ් පොප් කල්චර් නිර්මාණවල හෙවත් ඇමෙරිකන් සිනමා භාණ්ඩ ගැන කතා කරද්දී, තර්කානුකූලභාවයක් නොසිතා ඒවා වන්දනාමාන කරපු අය, තමන්ට උසස් රසවින්දනයක් තියෙනවා කියල හිතාගෙන දකුණු ඉන්දියානු පොප් කල්චර් එකට හිනාවෙන හැටි විහිළු සහගතයි.

රාජ්මෝලි ඇතුළු තෙලිඟු නිර්මාණකරුවනගේ වැඩ ගණනාවක් විශේෂයෙන්ම මාරයි. ඒවා දැකපු ප්‍රේක්ෂකයන් බොහොමයක් ඉන්නවා. කොච්චරද කීවොත්, පසුව පෑන් ඉන්දියා කන්සෙප්ට් එක දක්වා ගියේ රාජ්මෝලි. දැන්, ඉන්දියන් සිනමාව ග්ලෝබල් මාකට් එක ගැන හිතනවා.

අනෙක් පැත්තෙන් මියුසික්.

අපේ හොලිවුඩ් බයියලා ටැමිල්, තෙලිඟු, මලයාලම් හා කන්නඩ මියුසික් හිනාවට ලක් වුණා. විශේෂයෙන්ම නාට්ටු සිංදුව අයිතිවෙන වේගයෙන් පිරිච්ච මියුසික් ස්ටයිල් එක. දෙමළ, තෙළිඟු සිංදුවක තියෙන බෙර හඬවල් එක්ක එන ප්‍රබල මියුසික් ස්ටයිල් එකට චුට්ටක් ඇහුම්කන්දෙන්න අපේ අය කැමතිම වුණේ නෑ.

බොහෝ අයගේ හීනමානය එක්ක, එයාලා හොලිවුඩ් වන්දනාමාන කළා. ඊට අමතරව යම් පිරිසක් ඉන්දියන් ඒවාට ආස නිසා බොලිවුඩ් වන්දනාමාන කළා. ලංකාවේ මේන්ස්ට්‍රීම් මීඩියා පවා කාලයක් තිස්සේ ඒක කළා.

හැබැයි අද තත්වය වෙනස්. ඉන්දියාවේ අනෙක් කලාපවලටත් දකුණු ඉන්දීය නිර්මාණ පැතිරෙනවා. ලෝකයටත් යනවා. ලංකාවෙ අයටත් ඒක මඟහැරලා ඉන්න බෑ.

තවදුරටත් හොලිවුඩ් බයියන්ට බෑ, දකුණු ඉන්දීය නිර්මාණවලට හිනාවෙවී, තමන් මාර එකක් රසවිඳිනවා කියල කියන්න. මොකද හොලිවුඩ්වලදී මේක ඇගයෙනවා. ඉස්සරහට මේ ට්‍රෙන්ඩ් එක ඊළඟ ලෙවල් එකට යනවා.

දකුණෙ නළුවන්ට හිනාවුණ අය ඊළඟට දකින්නෙ එන්ටීආර් හෝ රාම් චරන් හොලිවුඩ්වලට යන හැටි. ඇවෙන්ජර්ස් ෆිල්ම් හදපු වින්ස් රූසෝ ධනුෂ් එක්ක ෆිල්ම් එකක් කළා විතරක් නෙවෙයි. ධනුෂ් එක්ක අනාගත ෆිල්ම් එකක් කරන්න බලාගෙන සුවිශේෂී ඇක්ෂන් කැරැක්ටර් එකක් ධනුෂ්ට දුන්නා.

දැන් මේ අය හොලිවුඩ් ගිහින්, අපේ හොලිවුඩ් බයියන්ගේ වන්දනාවට ලක් වූ අය ඉඳගත්ත පුටුවල ඉඳගන්නවා. එහේ හොලිවුඩ් සඟරාවල, ලේට් නයිට් ෂෝවල, රෙඩ් කාපට්වල ඉන්නවා. හොලිවුඩ් අධ්‍යක්ෂවරුන් එක්ක ඉඳගෙන සිනමා කර්මාන්තය ගැනයි, කලාව ගැනයි බර සංවාද කරනවා.

හෙටානිද්ද දෙමළ සිනමාවෙ බලකණු වෙච්ච රැජිණිකාන්ත් හෝ කමල් හසන් ගිහින් තමන්ගෙ සිනමාව දෘෂ්ඨිවාදය ගැන ඔය කොහේහරි කතා කරන්න ඉඩ තියෙනවා. තෙලිගු සිනමාවෙ තවත් අධ්‍යක්ෂවරුන් යන්න ඉඩ තියෙනවා.

ඉස්සර තමන්ගෙ ඔලුවල හදාගත්ත ‘ගෝත්‍රික‘ සහ ‘ශිෂ්ඨ‘ කියන බෙදීම් හොලිවුඩ් උං අයින් කරනවා. තවදුරටත් කළු ජාතික සංස්කෘතිය ගෝත්‍රික නෑ. ඒ වෙනුවට ඒක සෙලිබ්‍රේට් කරන්න බ්ලැක් පැන්තර් චිත්‍රපටිය හදනවා. දකුණු ඉන්දියානු බෙර සංගීතය ගෝත්‍රික නෑ. ඒකට ඔස්කාර් දෙනවා.

කතා කරන විෂයට වෙනස් වූ පැත්තකින් උදාහරණයක් කීවොත්, හොලිවුඩයට දැන් ‘සුදු හම‘ වැඩක් නෑ. ඒත් අපේ නිළියො තාම සුදු වෙනවා. උදේට ස්වර්ණවාහිනියෙ වැඩසටහන් යනවා හම සුදු කරගන්න විදිය ගැන.

අපි කියන්නෙ දැන්වත් හොලිවුඩ් බයියන්ගෙ බයි කයිවාරු නවත්තන්න. කාලයක් තිස්සෙ ඔයාල හිනාවෙන ජාතියෙ මියුසික් හදපු කීරවානි, ඒ ජාතියෙම මියුසික් අරන් ගිහින් ඔස්කාර් දින්නා.

ඒ වගේම දෙදාස් ගණන්වල මුල, ඔයාල හිනාවෙන ජාතියෙ ‘ගුරුත්වාකර්ශන‘ ෆිල්ම් හදපු රාජ්මවුලි එහෙම ගුරුත්වාකර්ශන ෆිල්ම් එකක් අරන් ගිහින් ඇමෙරිකන් මාකට් එක ආක්‍රමණය කළා. ඇමෙරිකන් විචාරකයො අර ‘ගුරුත්වාකර්ශන ෆයිට්‘ දැකල කීවේ ‘නිර්භීත‘ නිර්මාණකරණයක් කියලා.

මෙච්චරයි ඉල්ලන්නේ, අනේ දැන්වත් දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා රසිකයන්ට පාඩුවෙ ඉන්න දෙන්න. ඔබ වන්දනාමාන කරපු දෙවිවරුන් පවා වෙනස් වෙනවා.

මේ නිර්මාණය ඔස්කාර් දින්න නිසා මාර වෙනව කියල හිතන්නෑ. ඊට කලින් ඉඳන් මේ වගේම, (සමහරවිට මීට වඩා හොඳ) සවුත් ඉන්දියන් නිර්මාණ අපි බලලා තියෙනවා. මේකෙන් වෙන්නේ, හොලිවුඩ් දෙසට හැරී, අපට සමීපම කලා කර්මාන්තය දෙසට වාත පිටකරපු අයගේ කටවල් වැහෙන එක විතරයි.

උඩ කී කාරණයට අමතර සාධක කිහිපයක් මෙසේ සටහන් කරමි –

මේ සම්මාන උළෙලේදී වගේම පාපන්දු ලෝක කුසලානයේදී දීපිකා පදුකෝනිට ලැබුණ තැනත්, ප්‍රියංකා චොප්රාගේ ජයග්‍රහණත් එක්ක උතුරු ඉන්දියානු සිනමාවට වෙස්ටර්න් රටවල අවධානය ඇති බව පැහැදිලියි.

ඒ වගේම ඒ ප්‍රවණතාවලට හුදෙක් නිර්මාණ විශිෂ්ඨත්වයට එහා ගිය ගෝලීය සංස්කෘතික, සමාජීය, දේශපාලනික හා ආර්ථික ප්‍රවණතා බලපාන බවත් පැහැදිලියි. හොලිවුඩ් සංස්කෘතිය ඇමෙරිකන් දේශසීමාවලින් එළියට යනවා. මේක ටෙන්ඩ්ස් ගණනාවක ප්‍රතිඵලයක්.

හොලිවුඩ් පොප් කල්චර් එක ප්‍රේක්ෂකයන්ව පිනවන්නට අලුත් දේවල් කිරීමේ හැකියාවෙන් අඩු වෙන තරමට නෙට්ෆ්ලික්ස් හා ඇමසන් ප්‍රයිම් ඇතුළු අය තරගකාරී ලෙස දේශසීමාවලින් පිට විශිෂ්ඨ නිර්මාණ සොයා යනවා. ඉන්දියාව විතරක් නෙවෙයි, කොරියාවේ සිට ලතින් ඇමෙරිකාව දක්වා විවිධ කර්මාන්ත දෙසට හැරෙනවා.

ඒ වගේම මාකට් එක ගත්තාම ඉන්දියන් නිර්මාණ ඇමෙරිකන් මාකට් එකට හඳුන්වාදීමේ සිට, ඇමෙරිකන් ඒවා ඉන්දියාවට හඳුන්වාදීමේ අරමුණත් තියෙනවා.

ලෝකයේ ලොකුම තනි ප්‍රේක්ෂක මාකට් එක ඉන්දියන් මාකට් එක බව හොලිවුඩය දන්නවා. ඒ නිසා හොලිවුඩ් සිනමාව සමරන අංක එකේ උළෙල දෙසට, බිලියනයක ඉන්දියන් ප්‍රේක්ෂකාගාරයේ ඇස් යොමු කරවාගැනීමේ වුවමනාවත් තියෙනවා. මාවල් ඇතුළු දැවැන්ත හොලිවුඩ් පොප් ෆිල්ම්වලට පොඩි හරි ඉන්දියන් සීන් එකක් එබීමේ සිට, මෙවැනි උපක්‍රම දක්වා බොහෝ දේවල් දැවැන්ත ඉන්දියන් මාකට් එකේ හොලිවුඩ් නිර්මාණ විකිණීමේ අරමුණ වෙනුවෙනුයි.

ලෝක බල දේශපාලනය තුළ ඉන්දියාව නැගී ඒමත්, බටහිර සියලු සමාජයන් තුළම පාහේ අනෙකුත් සංස්කෘතීන් දෙස විවෘතව බලන නව සංස්කෘතික නැඹුරුවත් ආදී දේශපාලන හා සංස්කෘතික සාධකත් මේ පසුපස තියෙනවා.

ඒ වගේම, අනෙකුත් කලා ධාරාවන්ට වඩා දකුණු ඉන්දියන් ඒවා හොඳයි කියන තවත් බයි පෝස්ට් එකක් නෙවෙයි මේක. ඒක විතරක් නෙවෙයි, මේකත් හොඳයි කියන අදහසයි කීවේ. හොලිවුඩ් පොප් කල්චර් එකේ ඉඳන් යුරෝපියන් සිනමාවත් ලොව ඕනෑම නිර්මාණයකුත් සිනමාව කෙරෙහි දැඩි සෙනෙහසකින් යුක්තව වැළඳගන්නවා. අවුල තමයි අනෙක් මිනිස්සු රසවිඳින ඒවා හෑල්ලු කිරීම.

අපි ඒකත්, මේකත් කෝකත් රසවිඳිනවා කිසි එකක් පහත් නොකර.