රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඩොලර් 387ක් හොරකම් කරලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන රෝහිත රාජපක්ෂගේ ණය කාඩ් පතින් ඔන්ලයින් හුවමාරු ක්‍රමයෙන් ඩොලර් 387කට ආසන්න මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව නාරාහේන්පිට පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ මාර්තු 09 වන දින වාර්තා කර ඇත.

රෝහිත මහතාට අයත් ණය කාඩ් පතින් අවස්ථා හතරක දී ඩොලර් 387ක් ඔන්ලයින් හුවමාරු ක්‍රමයෙන් මෙසේ සොරාගෙන ඇති බව අධිකරණයට කරුණු වාර්තා කරමින් නාරහේන්පිට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ පවසා ඇත.

මේ ආකාරෙවන් සොරා ගත් මුදල ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ පන්දහසක් වේ.


කොළඹ 7, විජේරාම මාවත, අංක 117 පදිංචි රෝහිත චන්දන රාජපක්ෂ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය පවත්වන බව නාරාහේන්පිට පොලිසිය අධිකරණය වෙත දන්වා ඇත.

මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබා දී ඇති විජේරාම මාවතේ පිහිටි තම පියාගේ නිල නිවාසයට අමතරව අංක 184, දූව පාර, බැද්දගාන, කෝට්ටේ ලිපිනයේ තාවකාලිකව පදිංචිව සිටින බවත්, තමා ඉකුත් මාර්තු 3 වැනි දින මාතර නිවසට පිටව ගිය බවත් ඒ අතරතුරදී තමාගේ ක්‍රෙඩිට් කාඩ් පත වැටී ඇති බවත් පවසමින් රෝහිත රාජපක්ෂ අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඉන්පසු කිසියම් පුද්ගලයකු තමාගේ ක්‍රෙඩිට් කාඩ් පත පාවිච්චි කරමින් ඔන්ලයින් ක්‍රමය යටතේ ඉකුත් මාර්තු 5 වැනි දින පෙරවරු 10.07 ට ඩොලර් 167 ක්ද, මාර්තු 6 වැනි දින දහවල් 12.21 ට ඩොලර් 67 ක්ද, එදිනම පස්වරු 2.01 ට ඩොලර් 99 ක්ද ලබාගෙන ඇතැයිද ඉකුත් මාර්තු 7 වැනි දින පෙරවරු 10.58 ට ජාවත්ත ප්‍රදේශයේ අවන් හලකින් ඩොලර් 54 ක් වියදම් කර ඇති බව පැමිණිල්ලේ සදහන් කර ඇත.

ඉන්පසුව තමාගේ ක්‍රෙඩිට් කාඩ් පත අවලංගු කර ඇති බවත් පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

මේ ආකාරයෙන් සොරකම් කරන ලද මුදල්වල වටිනාකම මෙරට මුදලන් රුපියල් 105000 ක් වන බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශනය කර තමාගෙන් ලබාගත් මුදල් නැවත ලබාදෙන ලෙසට ඉල්ලමින් ප්‍රකාශයක්ද ලබාදෙමින් රෝහිත රාජපක්ෂ නාරාහේන්පිට පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

මෙය ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බව අධිකරණයට කරුණු වාර්තා කළ පොලීසිය අදාළ බැංකු ගිණුම් වාර්තා කැදවීම සදහා සම්පත් බැංකුවේ මූලස්ථාන කළමණාකරු වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර ඇත.