උතුරේ අම්මලාගේ අරගලයට වසර 6ක්! කාන්තා දිනයේත් අම්මලා පාරේ හිටියා!

යුද්දය හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මුලතිව්හි ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට වසර 6 ක් පිරීම නිමිත්තෙන් ජාත්‍යනත්ර කාන්තා දිනය නිමිත්තෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් තමන්ට කිසිදු නිදහසක් නොමැති බව පවසා විරෝධතාවයක නිරත වූවා.

දකුණේ දරුවන්ට පහරදෙන්නට හමුදාව කුරුඳු පොලු රැගෙන යද්දී, විශ්වවිද්‍යාලවලට කඩා වදිද්දී, උතුරේ සිදුවෙච්ච විනාසයක ප්‍රතිඵල තමයි මේ අම්මලාගේ දරුවන් අහිමි වීම.

මෙම ඥාතීන් අතරින් වැඩි පිරිසක් කාන්තාවන්. මේ කාන්තාවන්ගේ අරගලය ඉතාම තීව්‍ර විදියට පසුගිය වසර හයක් තිස්සේ ක්‍රියාත්මක වුණත්, දකුණේ අය මේ ගැන හරිහැටි දැනගෙන හිටියේත් නෑ. ඇත්තටම, ඒ අම්මලාගේ කතා දකුණේ අය අහන්නට දැන් තමයි කාලය.

මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මාර්තු 08 වැනිදා මේක නිමිති කරගෙන පැවති විරෝධතාවය සඳහා මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අසල සත්‍යග්‍රහයක නිරත වන අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ කාන්තාවන් රැසක් සහභාගී වී සිටියා.

2017 වසරේ මාර්තු මස 08 වනදා මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අසලදී තාවකාලික අට්ටාලයක් ඉදිකරමින් යුද්දයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් තමන්ට විසඳුම් ඉල්ලලා සත්‍යග්‍රහයක් ආරම්භ කළේ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්නැයි දකුණේ ජනතාව ජනාධිපති ලේකම් කාර්යාලය අසල කදවුරු බැඳගන්නට කලින්. කොටින්ම ගෝඨාභය බලයට එන්නටත් කලින්.

ඒත්, ගෝඨාභය රාජපක්ෂ මේ අතුරුදන්වූවන් ‘මැරිලා ගියා‘ කියලා සහතිකයක් දෙන බව කීවා. දිගින් දිගටම මේ මිනිස්සුන්ගෙ පවුලෙ අය අතුරුදන්වීමේ මහා විශාල සිදුවීම සැහැල්ලුවෙන් බැහැර කරනු ලැබුවා.

ඔවුන් ඉල්ලන්නෙ, තමන්ගෙ දරු, මුණුපුරන්, සහෝදරයන් මුහුණදුන් ඉරණම මොකක්ද කියලා විමර්ශනවලින් හෙළි කරන්න කියලයි. ඒ අයට එරෙහිව අනීතික ක්‍රියාවක් වෙලා තියෙනවා නම්, ඒ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්න කියලයි.

ඒත්, ඒ මිනිස්සුන්ව අතුරුදන් කරපු ලාංකික රජය කළේ සල්ලි සොච්චමක් දීලා කතන්දරේ යට ගහන්න උත්සාහ කරපු එක.

අන්තිමේ දැන් ඒ මිනිසුන් ඉල්ලන්නේ, මේ ආණ්ඩුව කවදාවත් විසඳුම් නොදෙන නිසා, එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වෙලා විසඳුම් දෙන්න කියලා.

බොහෝ අය කියාවි, අතුරුදන්වුණේ අහිංසකයන් නොව එල්ටීටීඊ සෙබලුන් කියලා. එහෙත් අතුරුදන්වූවන් හැමෝම සෙබලුන් නෙවෙයි. අනෙක් පැත්තෙන්, ආයුධ සන්නද්ධ කැරළිකාර කෙනෙකුට එරෙහිව වුණත් වගකීමක් ඇති රාජ්‍යයක් ක්‍රියාත්මක විය යුතු විදියක් තියෙනවා. ශිෂ්ඨත්වයක් තියෙනවා.

අනෙක් අතට, එදා උතුරේ තරුණයන් ආයුධ අතට ගන්න තැනට පත්වීම පසුපස ලොකු කතාවකුත් තියෙනවා. ඒවා අමතක කරන්න බැහැ.

ඉතින්! අපි අපේ සහෝදර මිනිසුන්ට යෝජනා කරන්නේ ශිෂ්ඨ වෙමු කියලයි. ඔවුන්ගෙ පැත්තෙන් කල්පනා කරමු කියලයි. කොළඹ මෙච්චර කැමරා තියෙද්දී හමුදාව මෙහෙම කරනවා නම්, සම්පූර්ණයෙන්ම සතුරන් ලෙස ලේබල් කරපු උතුරේ මිනිසුන්ට, කැමරා නැති තැනක මොනවා කරන්නට ඇතිද?

(Photos by – Kumanan Kana)