මගේ කමිටු වාර්තාව ව්‍යවස්ථාවට දාන්න -නාමල් රාජපක්ෂ

පසුගිය වසරේදී  දැඩි මහජන විරෝධයට පත්ව, අපකීර්තිමත් ලෙස අමාත්‍යධූරය අත්හරින්නට සිදු වූ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සකස් කරන ලද යෝජනාවලියක් රටේ ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලෙස එම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

නාමල් නම් වූ අනුන්ගේ දරුවාව වැල් පාලමෙන් එගොඩ කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කරන ලද ජාතික සභාව නම් වූ පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, එම කමිටු නිර්දේශ ‘ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට ඇතුළත් කරන‘ ලෙස නාමල් රාජපක්ෂ ඉල්ලා සිටියේය.

මාර්තු 08 වැනිදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කළේය.

හැම අමාත්‍යාංශයක්ම කාලානුරූපව ජාතික ප්‍රතිපත්ති ගොඩනගනවා. හැබැයි එක් එක් අමාත්‍යාංශය අනෙකුත් අමාත්‍යාංශ එක්ක පෑහෙන්නේ නෑ. ඒ වගේම තමයි ආණ්ඩු මාරු වෙනකොට අමාත්‍යාංශවල ප්‍රතිපත්තීන් මාරු වෙනවා. සමහර වෙලාවට එක් එක් අමාත්‍යවරුන් මාරු වෙද්දී ප්‍රතිපත්ති වෙනස් වෙනවා.‘ යනුවෙන් ඔහු අදහස් පළ කළේය.

ඒ අතරතුරේ ඔහු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්පයක්ද බැහැර කරමින් මෙසේ කියා තිබුණි.

‘බොහෝ අවස්ථාවල මැතිවරණවලදී පක්ෂවල ප්‍රතිපත්ති තමයි ජාතික ප්‍රතිපත්ති විදියට හඳුන්වන්නේ.‘ යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහුට අනුව, ජනවරමක් තිබෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වරදකි. ඇත්තටම ජනතාවට ඇති ගැටලුව ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන ඒවා ආණ්ඩු විසින් ක්‍රියාත්මක නොකිරීම මිස, ක්‍රියාත්මක කිරීම නොවේ.

එහෙත්, ඇත්තටම යම්කිසි රටක් පිළිබඳ යම් ප්‍රතිපත්තියක් තිබේ නම්, මැතිවරණ ප්‍රකාශයකින් එය ජනතාවට ඉදිරිපත් කර ජනතා අනුමැතිය ලබාගැනීම සිදු විය යුතුය. සැබෑ ගැටලුව පවුලක් එළවන්නට රටක්ම පාරට බැස්සාට පසු, ඒ ජන අනුමැතියක් නැති පවුලේ පුතාට, කමිටුවක් හදාගෙන, කාමරයක් ඇතුළේ හදපු අදහස් ප්‍රමාණයක් රටේම ප්‍රතිපත්ති බවට පත්වීමය.

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවන්න නිර්දේශ කළ බවත්, ඒ සඳහා ජනාධිපති ලේකම් සහ අගමැති ලේකම් ඇතුළු 35 දෙනෙකුගේ කමිටුවක් සහ වැඩ රාමුවක් සකස් කළ බවත්, එය පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

‘මෙය පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සංශෝධනයක් විදියට ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව බොහෝ දෙනෙකුගේ අදහස‘ බව එහිදී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

‘සිස්ටම් එක චේන්ජ් කරන්න අපේක්ෂා කරන අයට අප අපේක්ෂා කරන සිස්ටම් චේන්ජ් එක‘ සිදු කිරීම සඳහා මෙයින් හැකි වනු ඇතැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, බහුජනතාවගේ සිස්ටම් චේන්ජ් එක වෙනුවට නාමල්ලාගේම ඔලුවේ තියෙන සිස්ටම් චේන්ජ් එකක් සිදු කිරීමේ සැලසුම හෙළි කරමිනි.