මිනිස්සු මරන්න, රසායනික අවි පාවිච්චිය ගැන බන්දුල කී ෆැසිස්ට් කතාව!

කඳුළුගෑස් ප්‍රහාරයට ලක්වන්නේ ‘කඩාකප්පල්කාරීන්‘ බව සඳහන් කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අතිශය ෆැසිස්ට්වාදී ප්‍රකාශයක් සිදු කළේය.

කඳුළුගෑස් ප්‍රහාර නිසා පුද්ගලයන් කිහිපදෙනෙකු මරණයට පත් වූ බව වාර්තා වී ඇති අතර, සංකූලතා ඇති වූ විශාල පිරිසක් සිටී. කඳුළු ගෑස් රසායන අවියක් ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇත. මියගිය අය ගැන අසංවේදීව සිය අදහස ප්‍රකාශ කළේය.

මෙසේ ප්‍රකාශ කළේ, රජය කඳුළු ගෑස් කැනිස්ටර් දහස් ගණනක් පසුගිය වසරේදී පාවිච්චි කළ බව මෙන්ම, ඒ අතර කල් ඉකුත් වූ කඳුළු ගෑස් තිබුණු බව මාර්තු 7 වැනිදා සිදු කරන ලද හෙළිදරව්වක් පිළිබඳ මාධ්‍යවේදියෙකු කළ විමසීමකදීය. එම වාර්තාව අනුව වසර 17ක් පැරණි කඳුළු ගෑස් පවා රජය යොදාගෙන තිබුණි. ලොව රසායනික අවියක් ලෙස තක්සේරු කර ඇති කඳුළුගෑස්, අසංවේදී ලෙස දිගින් දිගටම යොදාගැනීම පිළිබඳ විමසද්දී අමාත්‍යවරයා සිය අදහස් කීය.

එහෙත් එම ප්‍රශ්නය මඟහරින ආකාරයේ පිළිතුරක් දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රධාන කරුණු කිහිපයක් පැවසීය. ඔහු දැක්වූ කරුණු සහ ඒවා ගැන පැහැදිලි කිරීම් මෙසේය.

  • ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ අයිඑම්එෆ් මුදල් ලබාගැනීම විශාල කැපකිරීම් මත සිදු කළ බව.
  • රට බේරාගැනීම කරන්නේ රජය බව. (එයාලාම තමන් තමයි රට ගොඩගන්නේ කියා සඳහන් කරමින්, රාජ්‍ය සම්පත් යොදාගෙන ජනතාව යොදාගනියි.)
  • වෙන විකල්පයක් නැති බව. (විකල්ප ගණනාවක් ඇති අතර, ඒවා ඕනෑ තරම් ඉදිරිපත් කර ඇත.)
  •  උද්ඝෝෂණ කරන්නේ රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම වෙනුවෙන් බව. (රජය රට වට්ටා ඇති තැනත්, ජනතාව කෙරෙහි අසංවේදී පාලකයන්ගේ අසංවේදී ක්‍රියාකලාපවලට එරෙහිවය.)
  • සාමකාමී උද්ඝෝෂණ ප්‍රචණ්ඩ හා කඩාකප්පල්කාරී ක්‍රියා ලෙස ඔහු සඳහන් කළේය. (එහෙත් උද්ඝෝෂකයන් අවි අතැතිව නොසිටි අතර, පාරේ සටන්පාඨ කියමින් ඇවිදීම ප්‍රචණ්ඩත්වයක් නොවේ.)
  • උසාවි නියෝග තිබෙන බව සාවද්‍ය කරුණක් කීය. (උසාවි නියෝග ලැබී තිබුණේ කොටුව ප්‍රදේශයේ ගොඩනැගිලි කිහිපයකට ඇතුළුවීම ගැන මිසක්, කොටුවට ගොඩක් ඈත ප්‍රදේශයක පාරේ ඇවිදීමට නොවේ. මේ උසාවි නියෝග ලබාගත්තේ උසාවියට බුද්ධි අංශ වාර්තා තියෙන බව කියමින්, වැරදි කරුණු සඳහන් කරමින්ය.)
  • ජනාධිපතිවරයා දිගින් දිගටම සහයෝගය ඉල්ලා සිටි බව. (ජනාධිපතිවරයා විපක්ෂයේ සහයෝගය ඉල්ලීමට කිසිදු සුදුසුකමක් ලබාගෙන නැත. ඔහුට ඡන්ද නැත. ඔහුට පිළිගැනීමක් නැත. ඔහු ඡන්ද කල්දමන්නට ඒකාධිපති උපක්‍රම යොදාගනී. ජනතාවට පහරදෙයි. ජනතාවට අසංවේදීය. ජනාධිපතිවරයෙක්ට බලහත්කාරයෙන් විපක්ෂයේ සහයෝගය ගත නොහැක. එය දිනාගත යුතුය.)
  • උද්ඝෝෂණ නිසා සංචාරකයන් නොපැමිණෙන බව. (ඇමෙරිකාවේ සහ යුරෝපයේ ලොව වැඩිම උද්ඝෝසණ පවතී. විවිධ කණ්ඩායම් විවිධ හේතු නිසා නිතර විරෝධයේ යෙදෙයි. එහෙත්, මිනිසුන් ඒ රටවලට යන්නට පොරකයි. උද්ඝෝෂණ තියෙන නිසා, රටවල්වලට නොයන බව කිසිදු පිළිගත් වාර්තාවක් නැත. එහෙත්, හමුදාවත් පොලීසියත් තුවක්කු තියාගෙන හන්දියක් ගාණේ සිටිමින් ජනතාවට පහරදෙන රටවලට සංචාරකයන් යන්නේ නැත.)
  • පෝළිම් අඩු වී, විදුලිය ලබා දී තිබෙන බව. (මේවා ආණ්ඩුවකට අත්පුඩි ගහන්නට දේවල් නොව. ආණ්ඩුව කොහොමත් කරන්න තියෙන දේවල් පමණි. අර්බුද ගණනක් තවම විසඳී නැත. මේ ආණ්ඩුවම අනාගත් තැන් ටිකක් හදාගත් පමණින් ආණ්ඩුවකට වන්දනාමාන කරමින් ගෙදර ඉන්න ඕනෑ නැත.)
  • ව්‍යවස්ථාවේ ගමනාගමනයට මූලික නිදහස තිබෙන බවත්, විරෝධතාවලින් ඒ අයිතිය මැඬ පැවැත්වූ බවත්. (දිගින් දිගටම පාගමන්වලදී වාහනවලට පසෙකින් ගමන් කිරීමේ නිදහස තිබුණු බව ඉතා පැහැදිලිව කැමරා මගින්ද පටිගත වී තිබේ. හැමදාම පාරවල් ගණනාවක් වසා, පොලීසිය පාර හරස් කරමින් සිටුවා, ජල ප්‍රහාරක රථ තබා, පදිකයන්ටත් එක්ක කඳුළුගෑස් ගසන්නේ පොලීසියමය.)

මෙම අදහස් අනුව සියල්ල කරන්නේ රජය වන අතර, රජයට එරෙහි වන්නන්ට කල් ඉකුත් වූ, විෂ රසායන එල්ල කිරීම ජනතාව භාරගත යුතුය. ලෝකයේ ජාත්‍යන්තර සම්මුතිවලින් ප්‍රතික්ෂේප වූ විෂ රසායන, ඉතාම සාමාන්‍ය පාගමන්වලට පවා දිනපතා යොදාගැනීම, ඉතා සාමාන්‍ය දෙයක් ලෙස එම විෂ රසායන සැලකීම ගැටලුවක් නැත.

මරණයට පත් වූ අය සිටී නම්, ඔවුන්ද කඩාකප්පල්කාරීන්ය.

මෙය ඉතා බිහිසුණු, අසංවේදී ෆැසිස්ට්වාදී අදහසකි.