මහනුවර ගෝඨාගම ක්‍රීයාකාරිකයෙකු වූ ධනංජය සහෝදරයා හදිසියේ නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගනු ලැබුවේ සීඅයිඩීය යැයි කියාගත් පිරිසක් කොළඹ සිට පැමිණ බව මා සමග අදහස් දැක්වූ මහනුවර ගෝඨාගෝගමේ සිටි, ධනංජයගේ මිත්‍රයෙක් කීවා.
මෙම අත්අඩංගුවට ගැනීමේ අරමුණ නැවතත් තරුණයන් විරෝධතා පවත්වන්නට පටන් ගනු ඇතැයි බියෙන්, බිය ගැන්වීම බවයි පෙනෙන්නට ඇත්තේ. ධනංජය තනි කර බිය ගැන්වීම අරමුණ වන්නට ඇති. එහෙත් මේ වෙද්දීත් තරුණයන් පිරිසක් ඔහු බැලීමට ගොස් තිබුණු අතර, නීතිඥවරුන් පවා රාත්‍රියේම පොලීසියට ගොස් තිබුණා.
ධනංජය මුල සිටම මහනුවර ගෝඨාගෝගම සිටි කෙනෙක් බවත්, ජුලි 9 වැනිදා ජනතාව එක්ව නුවරදී නීතිවිරෝධී ලෙස දුම්රිය ධාවනය නැවැත්වීමට එරෙහි වී, ඉන්පසු දුම්රියෙන් කොළඹ ආ දහසකට අධික ජනතාව අතර මූලිකත්වය ගත් කෙනෙක්.
අයුතු ජනරාශිය සහ ‘ඇඳිරි නීතිය කඩ කිරීම‘ ඔහුට එරෙහිව ඇති චෝදනා. නුවර පොලීසියේ ඔහු රඳවා සිටිනවා. නීතිඥයන් ගොස් ඔහුව මුණගැසුණු අතර, එම නීතිඥයෙකුද අප සමග අදහස් දැක්වුවා.
අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර පොලීසියේ කිසිම සම්බන්ධයක් නැති බවත්, කොළඹ සිට පැමිණි සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසියෙන් නීතිඥවරුන්ට නොනිල වශයෙන් කියා තිබුණා.
ඔහුව 05 වැනි ඉරිදා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.
ඔහු ඇඳිරි නීතිය කඩ කළායැයි චෝදනාව එල්ල වන්නේ මැයි 9 වැනිදා හවස් වරුවේද, ජුලි 9 වැනිදාද යන්න අපැහැදිලියි. කෙසේ වෙතත් මැයි 9 වැනිදා කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසට යන පාරේ මැයි 9 වැනිදා ඔහුට සමාන රූපයක් ඇති කෙනෙකු සිටි බවත්, පොලීසිය කියා තිබුණා.
කෙසේ වෙතත් ජුලි 9 පොලිස්පතිවරයාගේ කටවචනයෙන් මිස කිසිම නීතියකින් ඇඳිරි නීතිය පැනවූයේ නැහැ.
මේ වෙද්දී එලෙස නීතිවිරෝධීව ඇඳිරි නීතිය පැනවීමේ ක්‍රියාවට එරෙහිව මාධ්‍යවේදීන් වන තරිඳු උඩුවරගෙදර සහ තරිඳු ජයවර්ධන ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙනවා.
මේ වෙද්දී මහජන මුදලින් පොලීසිය, සීඅයිඩීය වැනි ආයතන යොදාගෙන, දේශපාලනය ගැන උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ගේ නම් ලැයිස්තු හදාගෙන, ඔවුන් බියගැන්වීම සඳහා විවිධාකාර ක්‍රියාමාර්ග ගැනීම කාලයක් තිස්සේ සිදු වෙනවා. එවැනි තරුණ ප්‍රජාව බිය ගැන්වීම අරමුණ වන්නට ඇති. මීට වසරකට පෙර ආණ්ඩුව වරද්දාගත්තේ ඔය මහනුවරට පැත්තටම ගොස් අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගන්නට ගිහින් බව අමතක කළ යුතු නැහැ. රටම ඒ මොහොතේ නැගී සිටියා. නීතිඥවරුන් පෙළගැහුණා. මේ වෙද්දී ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකළ අයට නීතියත් ක්‍රියාත්මක වන තත්වයට ඇවිත්.
ධනංජය වෙනුවෙනුත් අප පෙනී සිටිනවා. අප බලා සිටිනවා. අප ඔහු සමග හිට ගන්නවා.