අරගලකරුවන් ගැන සොයන්න කොමිසමක් පත් කරනවාලු!

අරගලයට සම්බන්ධ වූ අයගේ ක්‍රියා කලාපය හා ඔවුන්ට ඒ සඳහා මුදල් හා වෙනත් ආකාරයෙන් උදව් කළ හා අනුබල දුන් අය අනාවරණය කර ගැනීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට රජයේ අවධානය යොමු කර ඇති බව අරුණ පුවත්පත වාර්තා කර ඇත.

ගෝල්ෆේස් හි පැවැති අරගලය නිර්පාක්ෂික අරගලයක් බව මුලින් හඳුන්වා දුන්නද අරගලයේ පසු කාලයේදී සම්බන්ධ වූවන්ගේ හැසිරීම් හා ක්‍රියාකලාපයන් අනුව අරගලය පිටුපස රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට විවිධ පාර්ශවයන් ගෙන් එල්ල වන චෝදනා අනුව මේ පිළිබඳව විමර්ශනය කිරීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව ආණ්ඩු පක්ෂයෙන් ජනාධිපතිවරයාට යෝජනා කර ඇති බව පුවතේ සඳහන් කර ඇත.

තවද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙන්වා දී ඇත්තේ අරගලකරුවන්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීමේ අරමුණ පළාත් පාලන මැතිවරණයට ඔවුන්ගේ දායකත්වය අහිමි කිරීමක් දැයි මේ වන විට සැකයක් මතුව ඇති බවත් සඳහන් කර ඇත.

මේ සියලු කරුණු සහ අරගලය නිසා පොහොසත් වු සහ දුප්පත් වූ සියලු දෙනාගේ පැටිකිරිය ජනාධිපති කොමිසමක් හරහා අනාවරණය කරගත හැකි වනු ඇති බවත් රණතුංග අමාත්‍යාවරයා පුවත්පතට පවසා ඇත.