දළඳාවට අපහාස කළ සමන්තභද්‍ර හිමි, රනිල්ට කෝල් කර විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි!

පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමි රවී කරුණානායක හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට කතා කර, ආරක්ෂාව ඉල්ලා සිටි බවත්, ජනාධිතිවරයා සිරිධම්ම හිමිගේ ආරක්ෂාව සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අරුණ පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඒ අනුව දළඳාවට ‘ලබ්බ‘ කියා ඇමතූ සේපාල් අමරසිංහ මාසයකට වැඩි කාලයක් සිරගතව සිටින පසුබිමක, සමන්තභද්‍ර හිමිට ජනාධිපතිවරයාගේ පෞද්ගලික බලපෑම් මත ‘රාජ්‍ය ආරක්ෂාව සැපයීම‘ සිද්ධ වෙනවා.

ඒ එම පුවත්පතේ දේශපාලන ඕපාදූප සටහනක් ලෙස.

එම සටහනේ මෙසේ තිබුණා,

පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත විය. සාකච්ඡාව අවසානයේ ජනාධිපතිවරයා රවි කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා සමග කිසියම් දෙයක් පිළිබඳ කතා කරමින් සිටින විට රවිගේ ජංගම දුරකථනය නාද විය. ‘‘එහෙමයි ස්වාමීන් වහන්ස, එහෙමයි. ඉන්න මම ජනාධිපතිතුමාට දෙන්නම් එතුමාටම කියන්නකෝ‘‘ යනුවෙන් දුරකතනය රනිල්ට දුන්නේය.

‘එහෙමයි ස්වාමීන්වහන්ස, මම දැන් මේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ටත් කිව්වේ ඔබ වහන්සේගේ වැඩපිළිවෙළ ගැන. මම කිව්වා ඒ වැඩපිළිවෙළ ආදර්ශයට අරගෙන කරන්න පුළුවන් දේවල් කරන්න කියලා. ඇත්තටම ඔබ වහන්සේ හොඳ වැඩක් කරලා තියෙනවා ආදර්ශයට ගන්න වටිනා

‘‘යනුවෙන් ජනාධිපතිවරයා කියාගෙන කියාගෙන ගියේය. ජනාධිපතිවරයාගේ අගය කිරීමට මේ අයුරින් ලක් වුණේ උමන්දාව නිර්මාතෘ පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමියන්ය. ‘‘ඔවු ජනාධිපතිතුමා, ඕනම වෙලාවක මම ලෑස්තියි මම දන්න දේ රටට කියලා දෙන්න. ඒ වගේම ඔබතුමාගේ රාජාසන කතාවත් හොඳයි. කතාව වගේම ඒක යථාර්ථයක් කරගන්න වැඩ කරනවා නම් ඊටත් වඩා හොඳයි

‘‘සිරිධම්ම හිමියන් ජනාධිපතිවරයාට පෙරළා පැවසීය. සිරිධම්ම හිමියන්ට පසුගිය කාලයේ දිගින් දිගටම ජීවිත තර්ජන එල්ලවීම හේතුවන් උන්වහන්සේගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු යොදන ලෙස සිරිධම්ම හිමියන් රවිට පවසා තිබේ. රවි සිරිධම්ම හිමියන්ගේ දීර්ඝ කාලීන මිත්‍රයකු වන අතර ඔහු වහාම ක්‍රියාත්මක වී ජනාධිපතිවරයා දැනුවත් කර ආශ්‍රමයේ ආරක්ෂාවට කටයුතු සම්පාදනය කර තිබිණි. එකී ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිරිධම්ම හිමියන් රවිට අමතනවිට රවි සිටියේ ජනාධිපතිවරයා සමගය. එහෙයින් සිරිධම්ම හිමියන්ට සෘජුවම ජනාධිපතිවරයා සමගද සාකච්ඡා කිරීමට අවස්ථාව උදාවිය.