අපේක්ෂා රෝහලේ පිළිකා ඖෂධ රැසක හිඟයක්
ලියුකේමියා රෝගීන්ට දිනපතා ලබාදෙන ‘ඉම්ටිනයිඩ්’ ඇතුළු පිළිකා ඖෂධ රැසක බරපතළ හිඟය හේතුවෙන් මහරගම අපේක්‍ෂා රෝහල ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල් 15 ක පිළිකා රෝගීන්ගේ ජීවිත බරපතළ අවදානමකට ලක්ව ඇති බව මේ වන විට මාධ්‍ය හරහා වාර්තා වී ඇත.
පිළිකා රෝගීන් හට ලබා දෙන කාබොප්ලැටීන්, සියප්ලැටීන්, ඔක්සප්ලැටීන්, සයික්ලොපොස්පමයිඩ්, එටපොසයිට්, බිලියෝ මයිසින්, සෙරඩාසිපැක්සිල්, මයිටොමයිසින්, ඩෙකා බාසින්, ප්ලෝරෝ, යුරුඩිල් සහ ඉම්ටිනයිඩ් වැනි ඖෂධ රැසක් මෙරට පිළිකා රෝහල්වල හිඟ හෝ අවසන් බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
පිළිකා රෝගීන්ට දිනපතා ලබාදිය යුතු ඖෂධ සහ නිශ්චිත කාලසටහනකට අනුව ලබාදිය යුතුව තිබෙන ඖෂධ රැසක් අවසන්වීම සහ හිඟවීම නිසා පිළිකා රෝගී ජීවිත දහස් ගණනක් දැඩි අවදානමක ඇති බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා දිවයින පුවත්පතට පවසා ඇත.

රජයේ රෝහල්වල හදිසි සහ අත්‍යවශ්‍ය සැත්කම් පමණයි – සෞඛ්‍ය ඇමැතිගෙන් උපදෙස්
රට තුළ පවතින මූල්‍ය අර්බුදය මත රජයේ රෝහල්වල සිදුකරන සැත්කම් ද සීමා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි 12 වැනි දින පවසා තිබුණි.
විශේෂඥ වෛද්‍ය උපදෙස් මත අත්‍යවශ්‍ය සහ හදිසි සැත්කම් පමණක් සිදුකිරීමට කටයුතු කරන ලෙසත් සෙසු සැත්කම් පමා කිරීමට පියවර ගන්නා ලෙසත් රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් බව ඔහු පවසා ඇත.
මෙම තීරණයට ගැනීමට හේතු වී ඇත්තේ පවතින මූල්‍ය අර්බුදය මත සැත්කම් කිරීම සඳහා අවශ්‍ය සායනික අමුද්‍රව්‍ය ගෙන්වීමේ ප්‍රමාදයක් පැවතීම බව ඔහු පවසා ඇත.
එබැවින් දැනට රෝහල්වල පවතින සැත්කම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අත්‍යවශ්‍ය සැත්කම් කිරීම සඳහා භාවිත කරන ලෙස උපදෙස් දුන් බවද සෞඛ්‍ය ඇමැතිවරයා පවසා ඇත.
රෝහල්වල අනවශ්‍ය සැත්කම් හෝ පරීක්‍ෂණ කරන්නේ නෑ -වෛද්‍ය පාලිත රාජපක්ෂ
“සෞඛ්‍ය අමාත්‍යවරයා අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පමණක් කරන්න කියනවා. ඊට පෙර අත්‍යවශ්‍ය පරීක්ෂණ පමණක් කරන්න කීවා. රෝහල්වල අනවශ්‍ය පරීක්ෂණ හෝ අනවශ්‍ය ශල්‍යකර්ම කරන්නේ නැහැ.
අවශ්‍ය වේලාවට ශල්‍යකර්ම නොකිරීමෙන් යම් මොහොතක රෝගියාගේ ජීවිතය අවදානමකට ලක්වීමට හැකියි” යැයි බදුල්ල ඌව පළාත් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා දිවයින පුවත්පතට මෙසේ පවසා තිබුණි.
අත්‍යවශ්‍ය ශල්‍යකර්ම යනු ජීවිතාරක්ෂක ශල්‍යකර්ම පමණක් නොවන බවත්, (අත්‍යවශ්‍ය/ (අත්‍යවශ්‍ය නොවන/ හදිසි/ හදිසි නොවන) ආදී වශයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා වචන හරඹයක් කරන බවත් ඒ මහතා පවසා ඇත.
ශල්‍යකර්මයක් නොකිරීම නිසා රෝගියා ලක්වන මානසික පීඩනයෙන් ඔහු ආතතියට ලක්විය හැකියි. කල් දමන ශල්‍යකර්ම ගොඩගැසී එකවර කිරීමට සිදුවීමෙන් ඇතිවන ගැටලුවට වගකියන්නේ කවුද ?’
‘පසුගිය මැයි මාසයේ සිට ඖෂධ ගෙන්වා නොගතහොත් බාහිර රෝගී අංශයටත් වාට්ටුවලටත් ඖෂධ හිඟවන බව කිව්වා. ඖෂධ හිඟවීමෙන් ශල්‍යාගාර කටයුතු ඇනහිටීවි කියා ගිය සතියේ පැවසුවා. සැලසුම් කළ සමහර ශල්‍යකර්ම කරගන්න ගියාම රෝගීන් සංඛ්‍යාව අධික වීම හේතුවෙන් අවස්ථාවක් ලැබෙන්නේ වසර දෙක තුනක් ගත වුණාමයි. මෙම තත්ත්වය මත රෝගීන් අසාමාන්‍ය ප්‍රමාණයක් එකතු වීමෙන් තවත් කාලයක් ඉවසා සිටීමට සිදු වෙනවා. අවසානයේ සැත්කමක් කරගැනීමේ අයිතිය නැතිවීම රෝගියකුට කරන මහා අපරාධයක්.
සැත්කම්වලදී අත්‍යවශ්‍ය නිර්වින්දන ඖෂධ හිඟයෙන් ආදේශක ඖෂධ භාවිත කිරීම නිසා ගැටලු ඇතිවීමට හැකි බව පෙන්වා දී තිබෙනවා. ඒවා පෙන්වා දුන්නාම මාව විනය පරීක්ෂණවලට කැඳවනවා. විනය පරීක්ෂණ තිබිය යුත්තේ මට නොව මේවා නිර්මාණය කළ අයටයි.’
ඖෂධ 150ක් නැහැ – අවුරුද්දක් තිස්සේ අපි කිව්වා – GMOA මාධ්‍ය ප්‍රකාශක
රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය මෙතෙක් යොමුනොවීම බරපතළ ගැටලුවක් බවත්, මේ හේතුවෙන් රෝගී ජීවිත අවදානමේ පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චම්ලි විජේසිංහ මාධ්‍යට අදහස් දක්වමින් පවසා තිබුණි.
මෙම තත්ත්වය හමුවේ කොළඹ ජාතික රෝහලේ සිට ග්‍රාමීය රෝහල් දක්වා සමස්ත රෝහල් පද්ධතියේම සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යෑමේ විශාල ගැටලුවකට රෝහල් බලධාරීන් මුහුණ දී ඇති බව ඒ මහතා පවසා ඇත.
රෝගී ප්‍රතිකාර සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 150 ක හිඟය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට අවුරුද්දක ඉඳලා කීප සැරයක්ම කිව්වා.
‘රෝගී ප්‍රතිකාර සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 150 ක හිඟය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට අවුරුද්දක ඉඳලා කීප සැරයක්ම කිව්වා. නමුත් මේ වෙනකම් ඒ පිළිබඳව බලධාරීන් අවධානය යොමුකරලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ගබඩාවල සහ ප්‍රාදේශීය ඖෂධ ගබඩාවල මාස තුනකට සෑහෙන්න තොග තියෙන්න ඕනෑ. නමුත් මේ වෙනකොට ඖෂධ වර්ග කීපයක් පමණයි ඉතිරිවෙලා තියෙන්නේ.
මේ වෙනකොට දියවැඩියා රෝගීන්ට දෙන ඉන්සියුලින් වර්ග, හෘද රෝගීන්ට දෙන ඇස්ප්‍රීන් වර්ග, මෙට්ෆොමීන්, කුඩා දරුවන්ට දෙන සිරප් වර්ග, මූලික ප්‍රතිජීවක ඖෂධ, වේදනා නාශක, නිර්වින්දන ඖෂධ, පිළිකා ඖෂධ වර්ග සහ වකුගඩු රෝගීන්ට දෙන ඖෂධ වර්ගවල දැඩි හිඟයක් තියෙනවා.මේ තත්ත්වය තුළ හදිසි ප්‍රතිකාර ක්‍රම කවදා වෙනකම් කරන්න පුළුවන් වෙයිද සැකයි.’

ඒත් අපි රුපියල් 11,130,011 ශත 29ක් වියදම් කරලා නිදහස සැමරුවා
75 වන නිදහස් දින සැමරුම් නිල රජ්‍ය උත්සවයේ වියදම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින පුවත් සාවද්‍ය බවත් එම පුවත් සහ තොරතුරු සම්බන්යෙන් අවධානය යොමුව ඇති බවත් ජනාධිපති කාර්යාලය පෙබරවාරි 07 වන දින නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.
එම නිවේදනයේ සදහන් කර තිබුණේ මෙවර පැවැත්වූ 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් පමණක් බව ත් එය මීට පෙර නිදහස් දින සැමරුම් රාජ්‍ය උත්සව සඳහා වැය කළ මුදලට වඩා ඉතාම අඩු මුදලක් බවය.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, ආර්ථික අර්බුදය හේතුවෙන් නිදහස් සැමරුම් නිල රාජ්‍ය උත්සවයක් පැවැත්වීම වර්ජනය කිරීමට ජනතාවට බල කළ පටු දේශපාලන ක්‍රියාවලියේ තවත් දිගුවක් ලෙස මෙම සාවද්‍ය තොරතුරු ප්‍රචාරය පෙන්නුම් කරන බව සහ එහි අපේක්ෂාව දුස් තොරතුරු හරහා ජනතාව නොමග යවා රජය ජනතාවගේ වෛරයට ලක්කිරීම සහ ආණ්ඩුව අපහසුතාවට පත්කර තම දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීම විය යුතු බවයි.
ඒ වෙනුවෙන් නිදහස් දින සැමරුම් උත්සවයේ ජංගම වැසිකිළි පහසුකම් සැපයීම පවා වරදක් ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ දරා ඇති බව අදාළ නිවේදනයේ සඳහන් ය.
දහස් සංඛ්‍යාත පිරිසක් රැස්වන උත්සවයක සෞඛ්‍යාරක්ෂිත බව නිසි ලෙස තහවුරු කිරීමේ පියවරක් ලෙස ප්‍රමාණවත් පරිදි ජංගම වැසිකිළි පහසුකම් සැපයීම වෙනුවෙන් වැය බරක් දැරීම කිසිසේත්ම අනවශ්‍ය වියදමක් ලෙස දැක්විය නොහැකි බවත් අතිවිශාල පිරිසක් රැස්වන නිල රාජ්‍ය උත්සවයක එවැනි අංශයක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම රටම අපකීර්තියට පත්වන්නක් බවත් අදාළ නිවේදනයේ සදහන් කර තිබුණි.
රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන් ගොඩ එමින් පවතින මොහොතක මෙවන් රාජ්‍ය උත්සවයක් පැවැත්වීම යනු පැහැදිලිව යළි නැඟී සිටීමට රට සූදානම් කිරීමක් බව පවසන ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ, අනෙක් අතට යළි නැගී සිටීම සඳහා අවශ්‍ය ධෛර්ය බිඳුවකින් අඩුවක් නොමැතිව ශ්‍රී ලංකා රාජ්‍යයට තිබෙන බවත්, අර්බුදය විසින් බිඳ දැමුණු ශ්‍රී ලංකා අභිමානය යළි අත්පත් කරගන්නට ඇති සූදානම පිළිබඳ පණිවිඩය ලෝකය හමුවේ තැබීමක් ද වන බවය.