අර්බුදය, අරගලය සහ අරගලයේ අර්බුදය හරහා අප සැම ඇවිද ආවෙමු. අරගලය අවසානයේ හෝ නැතිනම් තවමත් තැනින් තැන මතුව නැතිවෙන සහ බොහෝ සිත් වල තනි තනිව නළියන අරගල සමග අප සැම හෙට දවස දෙස බලා සිටිමු.
සෑහෙන කාලයක් මහන්සියෙන් වගේම විවිධ හේතු මත කල් යමින් “අර්බුදය සහ අරගලය” යන සෘජු මාතෘකාව සමග සුජිත් රත්නායක තමාගේ කලා මුෂ්ටි ප්‍රහාරය එල්ල කරල තියෙනවා. මුළු ප්‍රදර්ශනයම අපි සාමාන්‍යයෙන් දන්න කියන ප්‍රදර්ශන රාමුවෙන් එළියට ගිහින් යකඩ, මළකඩ, තීන්ත තලි, යකඩ ටෙන්සිල් අකුරු, බස් දොරවල් සහ අරගලය තුල බැට කෑ ඇඳුම් වලින් පවා සමන්විතයි. සුජිත් විසින් මීට පෙර කරපු චිත්‍ර ප්‍රදර්ශන වලට වඩා මේක ඍජුව දේශපාලනිකයි. හැම දෙයක්ම පීඩනයට එරෙහි අරගලාත්මක ප්‍රහාර වගේ. අපි බලාපොරොත්තු වෙන ශික්ෂණය සහිත කලා භාවනාවකට වඩා මේ ස්ථාපන ටිකක් සැරයි, දැඩියි. මම ඒ ගැන ටිකක් හිතුවා. ඇත්තටම ඒක එහෙම වියයුතුයි කියලයි මට හිතුනේ. පීඩනය අහිංසක නෑ වගේම පීඩනයට එරෙහි අරගලයත් හැම තිස්සෙම අහිංසක නෑ. ඒ පීඩනයට එරෙහිව හෝ පීඩනයෙන් පසුව එන after shock එක බැටළු වෙස් ගත් වෘක්කයෙක් වියයුතු නෑ. වෘකයා ඒ විදිහටම ගොරවගෙන එන එක හොඳයි.
ලෝකේ අනිත් කොන් වල තියෙන කලා ප්‍රදර්ශන වල තියෙන ස්ථාපන සහ සාම්ප්‍රදායික කලා රාමුවලින් පිට පැනපු කලා මාධ්‍ය අපේ රට ඇතුලේ එතරම් දකින්න නෑ. ඒ වගේම කලා රසිකයන් විදිහට අපි ඒ විදිහට විවෘත වෙලත් නෑ. ඒ නිසාම සුජිත් මේ විදියට අලුත් වීම හොඳයි. ඒ පැත්තෙනුත් මේ ප්‍රදර්ශනය සංධිස්ථානයක් සටහන් කරනවා.
ඉතිහාසයේ ඕනෑම සමාජ දේශපාලනික සංසිද්ධියක් ජන මාධ්‍ය, ජන මාධ්‍ය ඡායාරූප සහ ප්‍රවෘත්ති ලෙස සටහන් වීම සාමාන්‍ය දෙයක්. ඒත් කලාකෘති හරහා එවැනි අති විශේෂ දේශපාලනික අවස්ථාවක් archive කිරීම තමයි මේ ප්‍රදර්ශනයේ මම දකින ඉතාම වැදගත් කොටස. ඒ වගේම වක්‍රාකාරව හෝ ඍජුව සුජිත්ගේ මේ ප්‍රදර්ශනය ඒ අර්බුදයට සහ පීඩනයට එරෙහි අරගලය සංකේතීව තිත තියනවා කියලත් මට හිතෙනවා. අඩුම ගානේ අරගලයේ එක ප්‍රධාන පරිච්ඡේදයකට මේ ප්‍රදර්ශනය හරහා තිත තියනවා. ඒක මට දැඩිව දැනුනේ යකඩ ඇඳ, තරමක් දුරට ඉස්පිරිතාල ඇඳක් වගේ පෙනෙන ඇඳ මත වැතිරී නිදන සුජිත් ගේ, අපි හැමෝටම පුරුදු ඇඳුම සහ ඒ අසල බිම තියෙන සෙරෙප්පු දෙක දැක්කමයි. එතන විවේක ගන්න ගතියකට වඩා තියෙන්නේ සටන අවසාන කරපු ගතියක්. සටනින් හෙම්බත් වුනු ගතියක්. අපි කොහොම හිතුවත් කලින් වගේ මහා පරිමාණයේ භෞතික අරගලයක් ඇතිවෙන එකක් නෑ. පීඩනයේ ක්‍රමවේදය මාරු කරගෙන තියෙනවා වගේ අරගලයටත් අලුත් ක්‍රම හොයාගන්න වෙයි.
සුජිත් ගේ චිත්‍ර කලිනුත් ටිකක් හැඩි දැඩියි. චාකෝල් වලින් රළු කඩදාසි මත ඇඳිලා චාකෝල් කුඩු වෑස්සෙන උද්යෝගිමත් තරහකින් වගේ ඇඳෙන ඒ චිත්‍ර වල රිද්මය භාවනාත්මක රිද්මයකට වඩා වෙනස්. මට හිතෙනවා මේ ප්‍රදර්ශනයෙන් සුජිත් ඒ ගුණය උපරිමයකට ගෙන්වා කියලා. පාට තලි වැකුණු රූප, ගිනි ගෙන යන්තම් බේරගත් චිත්‍ර, ගිනිගන්න තරම් දීප්තිමත් වර්ණ සහ යකඩ, මළකඩ මුසුව නිසයි මට එහෙම හිතුනේ.
ප්‍රදර්ශනයේ ගොඩක් ස්ථාපන චිත්‍ර අපේ ඇඟට පනින තරම් සෘජුයි. ඒ කියන්නේ direct. අපිට මග ඇරලා යන්න දෙන්නේ නැතිව අපිව කතාවට අල්ල ගන්නවා. නැත්නම් අපිට හොඳ මුෂ්ටි ප්‍රහාරයක් දෙනවා.
ඒ අතරින් හැමෝම කැමති ඔබ විසින් ඔබවම හිරේ දාන සිර කුටියේ නිර්මාණය සහ දැල් රාමුව ඉරාගෙන අපි දිහා බලන් ඉන්න රූපය, කණ්නාඩි මුහුණත සහ යකඩ ඇඳේ වැතිරුණු සුජිත් නැති සුජිත් ඉස්සරහ මම ගොඩක් වෙලා නැවතිලා හිටියා. ඒ තුන සමග තමයි මම තවමත් කතාකර කර ඉන්නේ.

