නිදහස අපේ, අපි සමරනකල් පැත්ත පළාතේ එන්න එපා! ආණ්ඩුව උසාවි නියෝගයක් ගනී

පාලකයන් සහ අනෙකුත් බලවතුන් තමන්ගේ නිදහස සමරනතුරු, සාමාන්‍ය ජනතාවට කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම සීමා කරමින්, කොටුව  අධිකරණ නියෝගයක් ලබාගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්, ජීවන්ත පීරිස් පියතුමා, නීතිඥ නුවන් බෝපගේ ඇතුළු 29 දෙනෙකුට කොළඹ ගාලු මුවදොර, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය හන්දිය, කොටුව ඇතුළු ප්‍රදේශ ගණනාවක පෙබරවාරි 3 සහ 4 දිනවල කටයුතු කිරීම එමගින් සීමා කර තිබෙනවා.  

අපරාධ නඩුවිධාන සංග්‍රහයේ විධිවිධාන උපුටා දක්වමින්, එම ප්‍රදේශවලට ඇතුළුවීම හෝ ජනතාව සංවිධානය කිරීම වරදක් ලෙස එහි දක්වා තිබෙනවා.

නිදහස් දිනය සාමාන්‍ය ජනතාවගේ නොවන බවත්, එය පාලකයන් පමණක් සමරන විකාරරූපී සැමරුමක් බවට පත්ව ඇති බවත්, දශක ගණනකට පසු අදටත් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන බවටත් සඳහන් කරමින් පෙබරවාරි 04 දින නිහඬ, සාමකාමී සත්‍යග්‍රහයක් පැවැත්වීමට තරුණ තරුණියන් ඇතුලු විශාල පිරිසක් සූදානම් වී සිටියා.

මේ වන විටත් එම නිදහස සාමාන්‍ය ජනතාවට නොව, පාලකයන්ට සහ බලවතුන්ට පමණක් බව තහවුරු කරමින් ගාලු මුවදොර ප්‍රදේශයේ සැමරුම් සිදුකළ පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීම ආදී ක්‍රියා සිදු කළා. එමෙන්ම, නිදහස් දිනය දවසේ නිදහස නොමැති බව කියමින් විරෝධතා දක්වන අනෙකුත් පුද්ගලයන් පීඩාවට පත් කිරීමටත් කටයුතු කරමින් සිටිනවා.