වසන්තට ලැබුණු නියෝගයේ හැම මාධ්‍යයක්ම යටගැසූ කතාව!

‘මහේස්ත්‍රාත්වරයෙකු විසින් විමර්ශකයන්ගේ හෝ නඩු පවරන්නන්ගේ පරපීඩාකාමී ආශාවන් සන්තර්පණය උදෙසා නියෝග නිකුත් නොකළ යුතුයි.‘ – මහානාම තිලකරත්න එදිරිව බන්දුල වික්‍රමසිංහ

මේ වසන්ත මුදලිගේට ත්‍රස්ත පනත යටතේ චෝදනා ගොනු කරන්න පුළුවන්ද කියලා දුන්න, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක 80303/01/22 නඩුවට අදාලව දුන්න නියෝගයේ සඳහන් වෙලා තිබෙන ඉතාම වැදගත් වාක්‍යය. ඉතාම වැදගත් සංකල්පය. හැබැයි මේක තේරුම් ගන්න, කියවාගන්න සමහරුන්ට බැහැ.

අපි කතා කරමු වසන්තගේ තීන්දුව මෙතරම්ම වැදගත් ඇයි කියලා.

වැදගත්කම කෙටියෙන්

මෙච්චර කාලයක් හැමෝම පීටීඒ යටතේ ‘ඩීඕ‘ ගහලා ඉඳලා උසාවියේ චෝදනා ගොනු කළාම හෝ ‘අයිසීසීපීආර්‘ වගේ මහේස්ත්‍රාත්ට ඇප දෙන්න බලයක් නැති නීති යටතේ මහේස්ත්‍රාත්ට දැම්මාම කීවේ, ‘දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මහේස්ත්‍රාත්ට කිසි බලයක් නෑ. නීතිපති කියනකල් ඉන්න වෙනවා. නැත්නම් ඉහළ උසාවියකින් වාසනාව උරගා බලන්න වෙනවා‘ කියලා. ඒ කියන්නේ මහේස්ත්‍රාත් හෙවත් අධිකරණයට කරන්න දෙයක් නැහැ කියලා. අධිකරණයේ අත් බැඳලා කියලා. තනිකරම පොලීසියටයි, නීතිපතිටයි ඕනෑ විදියට තමයි වැඩේ යන්නේ කියලා. ඉතින් ඒ සියල්ල උඩුයටිකුරු කරපු, අපි හීනෙන්වත් නොහිතපු ලෙවල් එකේ තීන්දුවක් තමයි මේ ලැබිලා තියෙන්නේ. අන්නේකයි නීති සමාජයයි, ජනමාධ්‍ය සමාජයයි, දේශපාලන සමාජයයයි කටවල් ඇරගෙන මේ තීන්දුව හොයන්නේ, කියවන්නේ, ඒ ගැන කතා කරන්නේ.

ඒ වගේම වැදගත් දෙයක් මේ තීන්දුවේ තියෙනවා, වසන්ත මුදලිගේට බොරු චෝදනා ගොතපු ඩ්‍රාමා එක. ත්‍රස්ත පනත යටතේ චෝදනා ගොනු කරනවාදැයි තීන්දු කිරීමට නියමිත වෙච්ච, ජනවාරි 31 වැනිදාට දවස් 14කට කලින්, වසන්තව හිර කරලා මාස හයක් පිරෙන්න දවසකට කලින්, අන්තිම මොහොතේ හදිසියේ වසන්ත මුදලිගේ පොලිස් නිලධාරීන්ට තග දැම්මා, තර්ජනය කළා කියලා සිදුවීම් කිහිපයක් ගැන උසාවියට කියනවා. හැබැයි මේ මහේස්ත්‍රාත් ඒකෙන් සෑහීමට පත් නොවී කරුණු හොයලා තීන්දු කරනවා, මේ ඇවිල්ලා වසන්තව හිර කිරීමේ වුවමනාවෙන් ගොතපු කතා කියලා.

ඊට අමතරව වසන්ත ත්‍රස්තයෙක් කියන නිගමනයට පොලිස් ඇවිල්ලා තියෙන්නේ, කිසි කෙනෙක් සීරියස් නොගන්න මෝටිවේෂන් අප්පච්චි කියන කෙනා සහ ආණ්ඩුවත් එක්ක දේශපාලනික සම්බන්ධතා තියෙන බස් ගැමුණු ඇවිල්ලා දුන්න ප්‍රකාශයක්.

ඊළඟට වැදගත්ම කාරණාව තමයි මේ කියන මළඉලව් ත්‍රස්ත පනතේ කියන විදියට ‘ත්‍රස්තවාදියා‘ කියන්නේ කවුද කියන එක. ඒ වගේම මේ පනත සම්මත කරපු විදියත්, දේශපාලන වුවමනාවලට මේ පනත අවභාවිත කරන්නට තියෙන හැකියාවත්. සරලව කීවොත් ත්‍රස්ත පනත අහෝසි කරන්න ඕනෑ ඇයිද කියන එක. මේ තීන්දුව විග්‍රහ කරන බොහෝ අය හරියට විස්තර නොකරන කෑල්ල මේ තුන්වැනි කෑල්ල. අපි ඒ ගැන විශේෂම අවධානයක් යොමු කරනවා.

ඒ නිසා අපි, වසන්ත මුදලිගේගේ නඩු තීන්දුව ගැන කිසිම කෙනෙක්, කිසිම විග්‍රහ කරන්නෙක් මතු නොකළ කාරණා ගණනාවක් කිසි කෙනෙකු නොකී ඈන්ගල් එකකින් මෙතැනදී කතා කරනවා. නීති භාෂාවෙන් නෙවෙයි, සරල භාෂාවෙන්. ඒ නඩු තීන්දුව කියවීමෙනුත්, නීතිඥවරුන් සමග කරපු සංවාදවලිනුත් පස්සේ. ඉතින්, අවසානය දක්වා මේකට අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලනවා.

විවිධ පැතිවලින් වැදගත්

මූලිකව මේ තීන්දුව වැදගත් වන පැති කිහිපයක් තිබෙනවා.

  1. වසන්ත මුදලිගේව හිරගත කරන්න පොලීසිය සාක්ෂි ගොතලා තියෙන බව. සාක්ෂි ගොතපු හැටි.
  2. පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ආයතන පද්ධතියක් විදියට වසන්තව විතරක් නෙවෙයි, තව ඕනෑ කෙනෙක්ව හිර කරලා තබාගන්න ‘පරපීඩාකාමී විදියට‘ නීතිය පාවිච්චි කරන විලාසය සහ මහේස්ත්‍රාත්වරුන් විසින් එයට යටත් වෙන්න ඕනෑ නැති බව.
  3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කොච්චර අවුල්, විකාර සහගත, අපැහැදිලි සහ එක් මර්දනකාරී අරමුණු සහිත ගෙනාපු පනතක්ද කියන එක. ඒ කියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බිහිවීමේ මූලිකම ෆන්ඩමෙන්ටල් අවුල මේ තීන්දුවෙන් ඉස්මතු කෙරෙනවා.
  4. ඒ සියල්ල අනුව නීතිපති දෙපාර්තමේන්තුව කීව පමණින් වසන්තව හිර කරලා තබාගන්න බැරි බවත්, වසන්ත මුදලිගේට තියෙන චෝදනා ටික ‘ත්‍රස්ත පනත යටතේ ගොනු කරන්න‘ පුළුවන්ද කියලා විමසා බලන්න ඕනෑ බවත්.
  5. අන්තිමේ වසන්තට තිබෙන චෝදනා ත්‍රස්ත පනත යටතේ ගොනු කරන්න බැරි බව නිගමනය කරලා තියෙනවා.

දුර්වල පිටපත් ටෙලිනාට්‍ය

තීන්දුවේ මුලින්ම තියෙන කොටස නොවුණත්, වසන්තට බොරු චෝදනා ගොතපු හැටි තමයි අපි මේකේ මුලින් කතා කරන්නේ. වසන්තට චෝදනා ගොනු කිරීමේදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති කිහිපයක් මත ඒක කරලා තියෙනවා. එතකොට විනිසුරුවරයා බලලා තියෙනවා ඒ එක් එක් වගන්තියෙන් අදහස් වෙන්නේ මොකක්ද, අන්න ඒ අදහස අනුව වසන්තට තියෙන චෝදනා මොනවද, ඒ චෝදනා පදනම් සහගතද කියලා. අපි අන්න ඒ වගන්ති ගැනයි, පනත ගැනයි ඉස්සරහට කතා කිරීමේ අදහස ඇතිව, මුලින්ම මේකේ තියෙන දුර්වල පිටපත් මත ලියූ ‘ටෙලිනාට්‍ය‘ පන්නයේ සිදුවීම් ටික ගැන කතා කරන්නම්.

පළවැනියට වසන්තට ‘ත්‍රස්ත අරමුණක් තිබුණා‘ කියලාත්, ‘එවැනි ක්‍රියාවක නිරත වුණා‘ කියලාත් ඔප්පු කරන්නට ගෙනාපු සාක්ෂි දෙකක් තියෙනවා.

මෝටිවේෂන්

පළමුවැන්න කුප්‍රකට මෝටිවේෂන් අප්පච්චි හෙවත් සංජු සමරසිංහගේ සාක්ෂියත්, බස් ගැමුණු හෙවත් ගැමුණු විජේරත්නගේ සාක්ෂියත්.

මෝටිවේෂන්ගේ සාක්ෂියේ සරලවම තියෙන්නේ පොයින්ට් තුනයි.

  1. අරගලය මුලින් සාමකාමීව තිබුණා.
  2. ‘පසුකාලීනව‘ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අරගලයට සම්බන්ධ වූ බවත්
  3. පසුකාලීනව අරගලය ප්‍රචණ්ඩ වූ බවත්.

අපි මේ ගැන නියෝගයේ නැති අතුරු දේශපාලන කාරණයකුත් සඳහන් කරන්නම්. ‘මෝටිවේෂන් කියන්නේ නිකං එයා ඉස්සර ඉඳන් අරගල කර කර ඉද්දී පස්සේ අන්තරය උඩින් කඩා පාත් වුණා කියලා. මෝටිවේෂන් නොදන්නවා වෙන්න පුළුවන්, 2022 අප්‍රේල් 9 ගෝල්ෆේස් පටන්ගන්න කලින් ඉඳන් දශක ගාණක් තිස්සේ අන්තරය සටන් කරපු විත්තිය. අප්‍රේල් 9 වැනිදා වුණත් මුල්ම දවසේ අන්තරය ආපු විත්තිය. පස්සේ ප්‍රචණ්ඩ කරන්න අන්තරය පස්සේ ආපු පිරිසක් නොවන විත්තිය. හැබැයි ඔහු නොදන්නවා වුණත්, ත්‍රස්ත විමර්ශන ඒකකය වැනි ආයතනයක් මේවා නොදන්න බබ්බුද? නීතිපති මේවා නොදන්න බබ්බුද? මේ වගේ සිඟිති කතා මතද මෙයාලාගේ මතයම ගොඩනැගුණේ.‘ (මේ කොටස, මේ කාරණය ගැන අපේ දේශපාලනික මතයක්. තීන්දුවේ මෙහෙම නෙවෙයි තියෙන්නේ.)

බස් ගැමුණු

දෙවැන්න ගැමුණු විජේරත්නගේ කතාව. එහිදී ඔහු කියන පොයින්ට් තුනක් තියෙනවා.

  • වසන්ත බස් ඉල්ලුවා.
  • ඕනෑ තරම් සල්ලි තියෙනවා කිව්වා.
  • ඒ සඳහා විදේශීය ත්‍රස්ත සංවිධානවලින් සල්ලි ලැබුණා.

හුදු ප්‍රකාශ

හැබැයි මේ කියන දෙන්නාගේම ප්‍රකාශ ගැන තීන්දුවේ සඳහන්. දැනට මාස ගාණක් තිස්සේ පීටීඒ යටතේ රඳවාගෙන විමර්ශන කළාට පස්සේත් කිසිම විදේශීය ත්‍රස්ත සංවිධානයකින් සල්ලි ලැබුණා කියලා අනාවරණය නොවූ බව. ගැමුණු විජේරත්න නමැති අයගේ කිසිම පදනමකින් තොර, මේ දක්වා අනාවරණය නොවූ හුදු ප්‍රකාශයක් පමණක් බව කියනවා.

ඒ වගේම මෝටිවේෂන් කීව විදියේ කලහකාරී ක්‍රියාවක වසන්ත මුදලිගේ හිටියා කියලා ඔප්පු කරන්න සාක්ෂි පිළිගතහැකි වාර්තාවකින් ඉදිරිපත් වෙලා නැහැ කියලාත්, අන්තරය හෝ වසන්ත ප්‍රචණ්ඩ ලෙස හැසිරුණා කියලා හෝ තව කෙනෙක්ට ප්‍රචණ්ඩ වෙන්න කියා අණ කරපු බවක් මෝටිවේෂන් අප්පච්චි නිශ්චිතව සාක්ෂි විදියට කියා නැහැ. (චෝදනාවක් කරනවා නම්, අහවල් තැනදී අහවල් විදියට කරපු බව කියන්න එපායැ.)

ඉතින් ඔය විදියට දේශපාලන ජෝකර්ලා දෙන්නෙක්ගෙ කතා මාර ‘සීරියස්‘ අරන් රජයේ මුදල් නාස්ති කරමින් හතුරන්ගෙන් පළිගන්න ‘පක්කලි සර්විස් ආයතන‘ මට්ටමට තමයි ටීඅයිඩීය සහ නීතිපති දෙපාර්තමේන්තුව වැටිලා තිබණේ.

පොලීසියට ගැහුවා, තර්ජනය කළා

ඉතින්, ඔය කියන ජෝකර් සාක්ෂි යටතේ ‘ත්‍රස්තවාදී ක්‍රියාව‘ කියන එක වසන්තව බ්ලොක් කරන්න බැරි නම්, මොකෙන්ද පුළුවන් වෙන්නේ. පනතේ දෙවැනි, තුන්වැනි වගන්ති සහ ඒවායේ උප වගන්තිවල තියෙන වැරදි කළාද කියලා තමයි ඊට පස්සේ හොයලා තිබුණේ. ඒ වැරදි කළා කියලා සාක්ෂි සංක්ෂිප්තයන් ඉදිරිපත් කරලා තිබුණා. හැබැයි ත්‍රස්ත විමර්ශන ඒකකය සහ නීතිපති සාක්ෂි සම්පිණ්ඩන ඉදිරිපත් කරලා තිබුණේ නැහ. ඔන්න ඔය සාක්ෂි සංක්ෂිප්තයන් එකින් එක දිහා මහේස්ත්‍රාත්වරයා බලලා තිබුණා. දුර්වලම පිටපත් තියෙන්නේ එතැන.‍

අපි මේ කාරණයට අදාල සිදුවීමවලට යමු.

කඩුවෙලදි කාවද පැත්තකට අරන් ගියාලු

ජනවාරි 17 වැනිදා සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවේ තියෙනවා නිලධාරියෙකුගෙ ප්‍රකාශයක්. ඒකේ තියෙනවා ඉසුරුපාය ප්‍රධාන ගෙට්ටුවේ හිටපු පොලිස් නිලධාරියෙක්ව වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් පැත්තකට ඇදගෙන ගියා කියලා පොලිස් සැරයන් හේවාගමගේ සෙනෙවිරත්න කියලා නිලධාරියෙක් කී කතන්දරයක්. අම්මටසිරි පැහැරගැනීමක්. වසන්ත ඕක කළා නං වැරදියිනේ.

හැබයි කොළඹ මහේස්ත්‍රාත්වරයා පෙන්වනවා, මේ කියන සිදුවීම ගැනම ඊට කලින් තලංගම පොලීසිය විසින් කඩුවෙල මහේස්ත්‍රාත්ට බී වාර්තාවක් ඉදිරිපත් කරපු විත්තිය. ඒකේ සාක්ෂි දෙනකොට මේ කියන නිලධාරියා කියලා තියෙන්නේ වසන්ත මුදලිගේ මේ විරෝධයේ හිටපු බව පමණයි. එයා කවුරුත් පැත්තකට අරන් ගියා කියලා මුලින් කියලා නෑ. එතකොට මෙච්චර බරපතල වරදක් මුලින් කඩුවෙල උසාවියෙන් හැංගුවාද, නැත්නම් මේ සිද්ධිය වෙලා මාස ගාණකට පස්සේ 2023 ජනවාරිවල හදිස්සියේ මේ කතාන්දරේ ගෙතුවාද?

මහේස්ත්‍රාත් කියනවා මෙහෙම පැහැරගැනීමක් ගැන කිසිම ටීවී එකකවත්, සමාජ මාධ්‍යකවත් පළ වෙලා නැති විත්තිය. හදිසියේ එහෙම සිද්ධියක් මතු වූ විත්තිය.

‘සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බව හැඟෙන අයුරින් මෙම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට දෙන ලද ප්‍රකාශය සටහන් කර ඇති බව පෙනී යයි‘ කියලා මහේස්ත්‍රාත්වරයා නිගමනය කරලා තියෙනවා.

මේ නිලධාරියා මුලින් නොකී කතාවක් මතු වෙන්නේ, මාස ගාණක් රඳවාගෙන හිටපු වසන්තව තවදුරටත් රඳවාගැනීමේ අරමුණෙන් බව නිගමනය කරනවා.

‘උඹ දැනගනිං‘ කියලා රොද්‍රිගු බය කළාලු

‘උඹ දැනනිං, උඹ මම හොඳට දන්නවා, මම උඹට වැඩි කාලයක් ඉන්න දෙන්නේ නැහැ. උඹලගෙ පවුලේ අයගෙනුත් එක්ක මේ පළිය ගන්නේ, පරෙස්සමෙන් හිටපන්, උඹේ ළමයින්ටත් කියපන් පාරේ යනකොට පරිස්සමෙන් යන්න කියලා. කකුල් කඩනවා.‘ කියලා සහකාර පොලිස් අධිකාරී රොද්‍රිගු කියලා කෙනෙකුට පොලිස් මූලස්ථානය ඉස්සරහා චෝදනා කළාලු. ඒක ඔන්න ඔහුට තියෙන තවත් චෝදනාවක්.

වසන්ත මුදලිගේගේ ආවේගශීලී කතා පමණක් දැකපු අය ඔහු ගැන හිතනවා ඇති, ටිකක් දරුණු චරිතයක් විත්තිය. හැබැයි ඔහුව ආශ්‍රය කරපු අය දන්නවා ඔහු අඩු තරමේ කුණුහරුපයක්වත් නොකියන, අනවශ්‍ය ලෙස ආවේගශීලී නොවෙන, කල්පනාකාරී චරිතයක් බව. ඉතින්, වසන්ත මේක කළා කියද්දීම ගොතපු කතාවක් කියලා අපට නම් වැටහෙනවා. හැබැයි අධිකරණය කරුණු විමසන්න එපායැ.

මහේස්ත්‍රාත්වරයා, මේක අධ්‍යනය කරද්දී දැකලා තියෙනවා, මේ නිලධාරියා මේ සිදුවීමට අදාලව මීට කලින් කොටුව උසාවියේ නඩු වාර්තාවකට ප්‍රකාශයක් දීලා තියෙන බව. ඒ ප්‍රකාශයේ වසන්ත සාපරාධී බැණ වැදීමක් හෝ බිය ගැන්වීමක් කළා කියලා කරුණු නෑ. ඒ කියන්නේ මේ සිද්ධිය ගැන කලින් ප්‍රකාශ කරද්දී වසන්ත තර්ජනය කළා කීවේ නෑ. පස්සේ වසන්තව මාස හයක් හිර කරන් ඉඳලා, ටීඅයිඩීයට වසන්තව තවත් හිර කරං ඉන්න ඕනෑ වෙද්දී තමයි හදිස්සියෙ එහෙම සිද්ධියක් මතක් වෙලා තියෙන්නේ.

එහෙම හදිසියේ මතක් වුණාම කතන්දර කියන්න පොලීසියට බැහැ. ‘රාජ්‍ය නිවේදිත නිලධාරියෙකු ලෙස‘ මේ වගේ සිද්ධියක් වුණා නම්, ඒක මුල් අවස්ථාවේම කියනන ඕනෑ බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දෙනවා. හැබැයි මුල් නඩුවේ තියෙනවාලු, වසන්තගේ අංග ලක්ෂණ නැති, උස කෙට්ටු කවුදෝ තර්ජනය කළා කියලා වෙන කතාවක්. ඒ මුල් නඩුවේ තියෙන්නේ වසන්ත එතැන හිටියා කියලා විතරයිලු.

ඒ අනුව, රොද්‍රිගෝට තර්ජනය කලා කියන එක වසන්තව හිරගත කිරීමේ අරමුණෙන් පසුව ගෙතූ කතාවක් බව මහේස්ත්‍රාත්වරයාට පෙනී ගිහිල්ලා තියෙනවා. ‘නිර්මාණය කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කිරීම සඳහා නිර්මාණය කරන ලද ප්‍රකාශයක්‘ බව පෙනී යනවාලු.

චින්තකව දැල් වැටේ එල්ලුවාලු

මේ විදියටම 2023 ජනවාරි මාසෙ 17 වැනිදා අන්තිම මොහොතේ ගොතාගෙන ආ තව කතාවක් තමයි ‘ස්ථානාධිපති කොට්ඨාශ බුද්ධි අංශය නුගේගොඩ පොලිස් පරීක්ෂක චින්තක වටවල‘ කියලා කෙනේව දැල් වැටකට හේත්තු කරලා බලහත්කාරය පෑමක් සහ කමිසයෙනුයි මුඛ ආවරණයෙනුයි ඇදලා කොණ්ඩයෙන් අල්ලලා ඔළුව හෙල්ලුවාලු.

මේ ක්‍රියාව කරපු අයට නායකත්වය දුන්නේ වසන්ත මුදලිගේලු. හැබැයි මේ දවස ගැනත්, කඩුවෙල මහේස්ත්‍රත් අධිකරණයට මාස කිහිපයකට කලින් තලංගම පොලිස් ස්ථානාධිපති කරුණු වාර්තා කළා. එතැන කාවවත් පොලීසියේ අයව වැටවල්වල එල්ලලා, කොණ්ඩාවලින් ඇදපු කතා නෑ. ඒ වගේම ඒ නඩුවේ වැඩිදුර වාර්තාවලදීත් එහෙම සෙල්ලමක් නෑ.

කොටුව ඕඅයිසීගෙ කොළර් එක ඇල්ලුවලු

මේ විදියටම 2023 ජනවාරි 17 කඩාපාත් වූ තව සිදුවීමක් තමයි කොටුව ස්ථානාධිපතිගේ නිල කබායේ උරහිස් ලාංඡන සහ බොත්තම් කැඩී යන විදියට එයාව නිල ඇඳුමෙන් ඇදගෙන ගිහින් පහරදෙන්න උත්සාහ කරපු බව. කලහකාරීව හැසිරෙමින් විරෝධතාකරුවන්ව මෙහෙවූවාලු. හැබැයි මේ සාක්ෂිය දෙන්නේ වෙන කෙනෙක්. අදාල නිලධාරියා එහෙම කිසිම කතාවක් කියන්නේ නෑ. මේ කියන සිද්ධිය වුණ තැන හිටපු දෙන්නෙක් කතා දෙකක්ලු කියන්නේ. සාක්ෂි පරස්පරයි. ඒ විතරක් නෙවෙයි, කොටුව ස්ථානාධිපති මේ කියන සිදුවීමට අදාලවත් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු මීට කලින් ඉදිරිපත් කරලා තියෙනවා. මෙහෙම කතාවක් එදා කියලා නෑ.

හදිසියේ ගොතපු මෙගා ටෙලි පිටපත්

ඉතින් ඔය කලින් කී සිදුවීම් එකින් එක මතු කරමින්, මේ ප්‍රකාශයන් ‘පසුව නිර්මාණය කරමින්, ත්‍රස්ත පනත අවභාවිතා කිරීමට නිර්මාණය කළ ඒවා‘ බව නිගමනය කරලා තියෙනවා.

ඒ විතරක් නෙවෙයි, මහේස්ත්‍රාත්වරයා පෙන්වලා තියෙනවා, මේ බී වාර්තාවල සාක්ෂි ගොනු කිරීම එක එක ‘වැරදි අහවලා කළා‘ කීවාට, ඒක කොහොමද වුණේ කියලා විස්තර නැති හරිම අසම්පූර්ණ බව. ඒ නිසා ඒවා ‘අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 වගන්තියට අනුකූල නැහැ‘ කියලාත් කියනවා.

මහේස්ත්‍රාත්වරයා තීන්දුවේ සඳහන් නොකළාට, අපි මේක දකින්නේ ඉතාම හදිස්සියේ වසන්තට චෝදනා ටිකක් දාගන්න ඕනෑ වෙච්ච නිසා කරපු වැඩක් විත්තිය. ඔය ලංකාවෙ මෙගා ටෙලිනාට්‍යවලට පිටපත් ලියද්දී ලියන්නා මුලින් අහනවාලු අද ෂූටින්වලට ඇවිල්ල ඉන්න නළුනිළියො කවුද කියල. ඒ නළු නිළියො ටිකට ගැලපෙන විදියට, එදා ෂූටින්වලට ටක් ගාලා ඩයලොග් ටිකක් ලියලා, ස්ක්‍රිප්ට් එක කියලා එවනවාලු වට්ස්ඇප්වලින් සෙට් එකට. එහෙමලු අද අපි බලන බාල ටෙලිනාට්‍ය හැදෙන්නේ. මේකත් එහෙම එකක්.

මොකද, මේ බී වාර්තා 2023 ජනවාරිවල තමයි කරලා තියෙන්නේ. හදිසියේ ගොතලා තියෙන්නේ.

උඩින් කී සිදුවීම් ගොනු කරලා තියෙන්නේ ත්‍රස්ත පනතේ සඳහන් වන පුද්ගලයන්ට සහ දේපළවලට කරපු හානි ආදිය ගැන පෙන්වන්න.

උදාහරණයක් විදියට පනතේ 2 (1) (අ) වගන්ති කියන්නේ, ‘නිශ්චිත තැනැතෙකුගේ‘ සරල භාෂාවෙන් කිව්වොත් ආණ්ඩුවෙ කෙනෙකුගේ මරණය සිදු කරන්නා වූ, නැතහොත් අපහරණය කරන නැතහොත් පැහැරගෙන ගියා හෝ පහරදීමක් හෝ එවැනි තැනැත්තෙකුට වරදවල් කරනවා‘ කියන එක.

මෙතැන ‘නිශ්චිත තැනැත්තා‘ කියලා නීති භාෂාවේ වචනයකින් අදහස් කරලා තියෙන්නේ කවුරු කවුරු ගැනද කියලා පනතේ උපලේඛනයේ තියෙනවා. සරල බසින් කීවොත්, ජනාධිපති ඇතුළු දේශපාලන නායකයන්, අධිකරණයේ ප්‍රධානීන්, පොලීසියේ සහ හමුදාවල අය සහ සමහර නිලධාරීන් තමයි මේ ‘නිශ්චිත තැනැත්තන්‘ කියන්නේ.

අන්න ඒ වගේ ‘නිශ්චිත අය‘ මැරුවොත්, ගැහුවොත්, පැහැරගත්තොත්, තර්ජනය කළොත් සහ තව එක එක වැරදි කළොත් ත්‍රස්ත පනත යටතේ චෝදනා ගොනු කරන්න පුළුවන් කියන එකයි සරල අදහස. කොහොමත් ලංකාවෙ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මරන, ගහන, පැහැරගන්නා ඒවා වැරදි. හැබැයි, දණ්ඩ නීති සංග්‍රහය යටතේ නැතිව ත්‍රස්ත පනත යටතේ චෝදනා ගොනු කරන්න පුළුවන් කියලා තියෙනවා අර කියෙන ලෙවල් එකේ ‘නිශ්චිත තැනැත්තන්ට‘ එරෙහිව ඒවා කළොත් පීටීඒ එකෙන් නඩු දාන්න පුලුවන්.

ඔය වගේම 2 (1) (ආ) කියන එකේ තියෙන්නේ බැංකු, ආයතන වගේ දේවල්වලට කරන ලද ‘අනර්ථයන්‘ ගැන. තව තියෙනවා පුද්ගලයන්ට, ආගම්වලට අපහාස කරන ප්‍රකාශ ආදිය. ඔය හැම වගන්තිය ගාණේම බලලා, ඒවා යටතේ වැරදි වසන්ත කරපු බවක් සාක්ෂි සහිතව අනාවරණය වෙලා නැහැ කියලා මහේස්ත්‍රාත්වරයා කියනවා.

යම් අපරාධමය වරදක් ඔප්පු කරද්දී නීතියෙන් තහවුරු කරන්න ඕනෑ මේ කෙනා නිශ්චිතව ඒ වරද කළා හෝ, ඒකට අණ කළා හෝ, උපදෙස් දුන්නා හෝ සම්බන්ධ වුණා කියලා. යම් වරදක් කරද්දී කායික ක්‍රියාවත්, මානසික වුවමනාවත් තිබුණ බව තහවුරු කරන්න ඕනෑ. ඒ කියන්නේ එයා ශාරීරිකව නිශ්චිත දෙයක් කරන්න ඕනෑ. ඒක හිතාමතා කරපු බව ඔප්පු කරන්න ඕනෑ. ඒ කියන්නේ මෙයා අහවල් වෙලාවේ අහවල් විදියට අහවල් දේ කළා, එයා හිතලාමයි කළේ කියලා විස්තර සඳහන් වෙන්න ඕනෑ. නැතුව බාගෙට අරකත් කළා, මේකත් කළා කියලා කෙටියෙන් කීවාට නීතිය පිළිගන්නේ නෑ.

මහේස්ත්‍රාත් අතපල්ලෙන් වැටිලාද?

මේ නියෝගයේ අපට අනුව වැදගත්ම කොටස්වලට අපි ඊළඟට යොමු වෙමු. අපි කලින් කීවා වගේ දශක ගාණක් තිස්සේ මේ ත්‍රස්ත පනත වගේ මර්දන නීති ගණනාවක් ආණ්ඩුව පාවිච්චි කරලා තියෙන්නේ, මහේස්ත්‍රාත්ගේ අත් බැඳලා, අධිකරණයට ඇප දෙන්නට තියෙන අයිතිය සීමා කරලා තමන්ගෙ හතුරන්ව හිතුමතේට හිර කරන්න. ‘පීටීඒ දැමමොත් අධිකරණයට කරන්න දෙයක් නෑ. අවුරුදු ගණන් වුණත් ආණ්ඩුව කියනතුරු හිරේ ඉන්න වෙනවා.‘ කියලා නීතිඥවරුන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, පොලීසිය සහ මේ ගැන උනනදු සමාජයේ මතයක් තිබුණා. ඒ මතය මේ මහේස්ත්‍රාත්වරයා උඩු යටිකුරු කළා.

ඔහු මේකෙදී විමසා බැලුවා, පොලීසියට ත්‍රස්ත පනතෙන් ගෙනාවාම, මහේස්ත්‍රාත් මොනවද කරන්න ඕනෑ කියලා. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ගණනාවකින් ඔහු කරුණු උපුටාගත්තා.

2016 උදය ගම්මන්පිළ එදිරිව එම්ඩීසීපී ගුණතිලක සහ වෙනත් අය කියන නඩුව එකක්. ඒකේ ශ්‍රීපවන් අගවිනිසුරුතුමා කියනවා මහේස්ත්‍රාත්වරයෙකු කටයුතු කරන්න ඕනෑ විදිය. ඒකේ තියෙනවා මහේස්ත්‍රාත් නීතියට අනුව තමන්ගෙ මතය මෙහෙයවමින්, මේ කරුණු සම්බන්ධයෙන් ‘නියමිත මඟ පෙන්වීම්‘ කරන්න ඕනෑ කියලා. මහේස්ත්‍රාත් ‘යන්ත්‍රයක් වගේ වැඩ කරන්න එපා‘ කියලා කියනවා. ඒ කියන්නේ පොලීසියයි, නීතිපති චෝදනා අරන් ඇවිත්, කියන කියන දේට මහේස්ත්‍රාත් මැෂිම වගේ ප්‍රතිචාර දක්වන්න බැහැ කියලා.

ඒ වගේම ඩැනී එදිරිව සිරිනිමල් ද සිල්වා කියන 2001 නඩු තීන්දුවේ තියෙන වැදගත් කාරණයක් උපුටනවා. ‘මහේස්ත්‍රාත්වරයෙකු විසින් යාන්ත්‍රිකව පොලිස් නිලධාරීන්ගේ අවශ්‍යතාවට පමණක් සංවේදී වෙලා, පුද්ගලයන් බන්ධනාගාරගත කරන්නට නියෝග නිකුත් කිරීම ගැන කණස්සල්ල පළකරමි‘ කියලා.

ඒ වගේම මහානාම තිලකරත්න එදිරිව බන්දුල වික්‍රමසිංහ කියන 1999 තීන්දුවෙන් උපුටනවා අප මුලින්ම සඳහන් කරපු කතාව. ‘මහේස්ත්‍රාත්වරයෙකු විසින් විමර්ශකයන්ගේ හෝ නඩු පවරන්නන්ගේ පරපීඩාකාමී ආශාවන් සන්තර්පණය උදෙසා නියෝග නිකුත් නොකළ යුතුයි.‘

ඒ වගේ කරුණු කිහිපයක්ම මෙහිදී පෙන්වනවා. වැරදි විදියට චෝදනා ගොනු කරද්දීත්, මහේස්ත්‍රාත්වරු යන්ත්‍ර වගේ වැඩකරන එක ගැන ඉහළ උසාවිවලින් නිතර විවේචන එල්ලවෙලා තියෙන බව මහේස්ත්‍රාත් පෙන්වනවා. ඒ වගේම මහේස්ත්‍රාත් ‘රබර් මුද්‍රාවක්‘ වෙන්න බැහැ කියනවා. අපේ භාෂාවෙන් කීවොත්, මහේස්ත්‍රාත්ලා අතපල්ලෙන් වැටුණු අය නෙවෙයි.

අන්න ඒ අනුව තමයි ‘මෙම පළමු සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අදාළ වන තැනැත්තකු බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොතීබිමත්, ඔහු විසින් එම පනත යටතේ වරදක් සිදු කර ඇති බව අනාවරණය නොවීමත් මත ඔහුව තවදුරටත් බන්ධනාගාරයේ තැබීම සඳහා වන කිසිදු කරුණක් මා වෙත ඉදිරිපත් වී නොමැති බව..‘ තීන්දුව ලැබෙන්නේ.

ත්‍රස්ත පනතේම අවුල

අප අවසානයට කතා කරන්නට තබා ගත්තේ, මේ ත්‍රස්ත පනතේ ත්‍රස්තවාදියා කියන එක ගැනම තියෙන විග්‍රහයේ අවුල ගැන. අපි මුලින් කීවා, වසන්තට මේ පනත පාවිච්චි කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය නැගුණ බව.

එහෙම ප්‍රශ්නයක් එන්න ප්‍රධානම හේතුව තමයි, ත්‍රස්ත පනත යටතේ සඳහන් වෙන වැරදි සියල්ලම පාහේ කොහොමත් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි. එහෙනම්, ඒවා කොහොමත් වැරදි නම්, කොහොමත් ඒවාට අදාලව නීතිය තියෙනවා නම්, ඇය ‘ත්‍රස්ත‘ කියලා විශේෂ පනතක්? එතකොට රටේ එකම වැරැද්දට නීති දෙකක් තියෙනවා නම්, මේ ‘ත්‍රස්ත පනත‘ පාවිච්චි කරන්නේ කාටද? මෙහෙම පනත් තියෙන්න ඕනෑ ඇයි?

මහේස්ත්‍රාත්වරයා මෙතැනදී මතු කරන ත්‍රස්ත පනතේ හරයම ප්‍රශ්න කෙරෙන තැන් කිහිපයක් තියෙනවා.

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ‘ත්‍රස්තවාදියා‘ අර්ථකතනය වෙලා නෑ.
  • ‘ත්‍රස්ත ක්‍රියාව‘ අර්ථකතනය වෙලා නැහැ.
  • මේවා නඩු තීන්දුවලින් අර්ථකතනය වෙලා නැහැ.

‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සුවිශේෂ ලක්ෂණය වන්නේ ත්‍රස්තවාදය හෝ ත්‍රස්තවාදියා යන්න අර්ථ නිරූපණය කර නොමැති වීමයි. පනතේ පළවන කොටසේ ඇති සියලු වරදවලල් සාමාන්‍ය නීතිය යටතේ වරදවල් වන අතර එම යම් වරදක් සාමාන්‍ය පුද්ගලයෙකු විසින් සිදු කළ විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නගන්නේ කුමන නිර්ණායක මතද යන්න කිසිදු ස්ථානයක සඳහන් නොවන අතර ත්‍රස්තවාදියා සහ ත්‍රස්තවාදී ක්‍රියාව යන්න මෙරට දී අර්ථ නිරූපණය කරමින් ලබා දෙන ලද නඩු තීන්දුවක් ද සොයා ගැනීමට අපහසු වී ඇත.‘ කියා තීන්දුවේ සඳහන්.

එතකොට සාමාන්‍ය නීතියෙනුත් තියෙන වැරදිවලට අදාලව මේ විශේෂ නීතියක් පැනෙව්වේ මොන අරමුණෙන්ද? කාව ඉලක්ක කරලාද? ‘ත්‍රස්තවාදියා කීවේ කාටද?‘

අන්න ඒක තේරුම් ගන්නට මහේස්ත්‍රාත්වරයා එදා නීතිය පනවද්දී ව්‍යවස්ථාදායකයේ අරමුණ මොකක්ද කියලා හොයන්නට යොමු වෙනවා. 1979 ජුලි 19 දිනැති හැන්සාඩ් වාර්තාව අධ්‍යනයට යොමු වෙන්නේ ඒ අනුව.

කේ.ඩබ්ලිව් දේවනායගම් කියන එකල අධිකරණ ඇමති එහිදී කියනවා, ත්‍රස්තවාදියාගේ මූලික අරමුණ බියගන්වමින් පුද්ගලයන් ත්‍රස්ත කිරීම බව. ඒ වගේම මේක නිතර ‘යාපනය අර්ධද්වීපයේ‘ දක්නට ලැබෙන බව. යාපනයේ සිදුවීම් පසුපස සංවිධානාත්මක කණ්ඩායමක් ඉන්න බව.

ඒ වගේම හැන්සාඩ් එකේ 1439 පිටුවේ තියෙනවා, ‘මේ පනතෙන් කියැවෙන වැරදි ලංකාවට අලුත් නැහැ. දැනටමත් නීතියේ තියෙන වැරදි. ඒත්, අප ‘ත්‍රස්තවාදීන්ට‘ අදාලව දැන් මුහුණදෙන ‘විශේෂ තත්වයන්‘ යටතේ ‘විශේෂ නීතියක්‘ ඕනෑ වෙනවා. මොකටද? ඇඟ හිරිවැටෙන කොටස තමයි මේ. ඒ වැරදි ‘ත්‍රස්තවාදීන් කළොත් ලබා දෙන දඬුවම් වැඩි කිරීම‘ සඳහා විශේෂ නීතියක් ඕනෑ කියලා.

ඒ වගේම මේ වැරදි ‘ත්‍රස්තවාදීන්‘ කළොත් විමර්ශන පවත්වන්න ‘සාමාන්‍ය නඩු කාර්ය පටිපාටිය‘ ප්‍රමාණවත් නැති නිසා මේ පනත ගේනවාලු. ඒ නිලධාරීන්ට ‘විශේෂ බලතල‘ දෙන්නට.

අපි මේවා උපුටා දක්වද්දී, මේක අපට භයානක විදියට දැනුණාට, ඔබට භයානකයි කියලා හිතෙන්නේ නැතිව ඇති. ‘ඉතින්, මොකක්ද ඕකේ අවුල?‘ ඔබ විමසාවි. ‘ඇත්තනේ. ත්‍රස්තවාදීන්ට විශේෂ නීති එපායැ.‘

ඒක හරි! ඒත්, මෙතැන ‘ත්‍රස්තවාදියා‘ සහ ‘සාමාන්‍ය පුද්ගලයා‘ වෙන් කරලා අඳුනගන්නෙ කොහොමද?

‘මෙම පනත, ඒ වන විට වර්ධනය වෙමින් තිබුණු එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා ගෙන එනු ලැබූ පනතක්‘ බව අධිකරණ ඇමතිවරයා එදා පෙන්නුවාලු. ඒකත් හරි කියා ඔබ හිතාවි. ‘එල්ටීටීඊ මර්දනය කරන්න එපායැ.‘

ඒත්, මේ තීන්දුවේ තියෙනවා එදා 1979 හැන්සාඩ් එකෙන් මහේස්ත්‍රාත්වරයා උපුටාගත් බිහිසුණුම කොටස. ලංකාවේ රාජ්‍යයේ විසකුරු ස්වභාවය පෙන්වන කොටස. ‘මෙම පනත පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ එවකට විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම පනත මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි පැනවීම සම්බන්ධයෙන් විරුද්ධ වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු විවාදයේදී කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම පනත යාපනය දිස්ත්‍රික්කයට සීමා කරන ලෙසත්, එය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම බලපාන පරිදි පැනවුවහොත් එම පනත අහිංසක පුද්ගලයන්ට එරෙහිව යොදාගත හැකි බවත්. ඒ අනුව පනතේ තිබෙන දැඩි වගන්තීන් එලෙස සාමාන්‍ය පුද්ගලයන්ට එරෙහිව යොදා ගැනීම තුළින් එම පුද්ගලයන්ගේ නිදහස සීමා විය හැකි බවත්.‘

මෙතැන බිහිසුණුකම පේන්නේ කොටස් දෙකතුනකින්.

  • මේ නීතිය යාපනයට (එක් ප්‍රදේශයකට) පමණක් පනවන්න.
  • රටටම පැනෙව්වොත්, ‘අහිංසක පුද්ගලයන්ට‘ එරෙහිව යොදාගනීවි.
  • සාමාන්‍ය පුද්ගලයන්ට එරෙහිව යොදාගත්තොත් නිදහස සීමා වේවි.

මේ අදහසෙන් කියවෙන්නේ යාපනයේ ඉන්නේ ‘අහිංසක‘ හෝ ‘සාමාන්‍ය‘ අය නෙවෙයි. යාපනයේ ඉන්න අය තමයි එතකොට ‘ත්‍රස්තවාදීන්‘. ඒගොල්ලන් ‘අසාමාන්‍ය‘ අය. එතකොට යාපනයේ ‘අහිංසක මිනිසුන්‘ නැතිද? මේ ව්‍යවස්ථාදායකය යාපනයත්, දෙමළ ජනතාවත් දෙමළ වීම නිසාම අපරාධකරුවන් විදියට පූර්ව නිගමනයකට ඇවිල්ලා. යාපනය අර්ධද්වීපයේ අයට නීතිය ක්‍රියාත්මක කරන්නට රටේ නීතියට පිටින් ගිය ‘විශේෂ නීතියක්‘ ගෙනල්ලා.

මේ පනත සම්මත කළ මොහොතේත්, ඉන්පසු දීර්ඝ කාලයක් තිස්සේත් කවුරුත් එළිපිට නොකීවාට, සාමාන්‍ය නීතිය නැතිව මේ විශේෂ නීතිය යටතේ හිර කරලා තියාගත් ‘ත්‍රස්තවාදීන්‘ කියන වචනයෙන් නොකියා හැඳින්වුවේ ‘දෙමළ ජනතාව‘ ගැන.

පසුව මේකට ඇතැම් ‘විප්ලවවාදී‘ පන්නයේ සමහර සිංහල ජාතිකයන්ටත්, ඊට පස්සේ මුස්ලිම් ජනතාවටත් මේ පනත යටතේ බැට කන්න සිද්ධවුණ බව ඇත්ත. හැබැයි සමස්තයක් විදියට මේකට අයත් වුණේ ‘දෙමළ ජාතිකයන්.‘

එදා යාපනය අර්ධද්වීපයට විතරක් මේක පනවන්න, නැත්නම් ‘සාමාන්‍ය අයට මේක බලපායි‘ කියලා මේ නීතිය ගැන පාර්ලිමේන්තුවේ කතා කළේ  ලංකාවේ දෙමළ අය අපරාධයක් කළොත් වෙනම නීතියක් තියෙන්න ඕනෑ කියන විසකුරු යටි අරමුණ සහිතව. ‍

ඇත්තටම උතුරේ කොටිත්, දකුණේ පාතාලයත්, ඇතැම් විප්ලවවාදී කණ්ඩායමුත් කල්ලි ගැහිලා කරපු අපරාධ ලංකාවේ තිබුණා. ඒවාට අනිවාර්යයෙන්ම කාර්යක්ෂම ලෙස නීතිය ක්‍රියාත්මක වෙන්න තිබුණා. හැබැයි, මේ නීතිය ඒ පිවිතුරු අරමුණෙන් ගෙනා එකක් නෙවෙයි.

මේක හොඳින්ම පෙනුණා 1983 කළු ජූලිය අවස්ථාවේදීත්, අසූ ගණන්වල සිදු වූ තව බොහොමයක් බිහිසුණු අපරාධවලදීත්.

මේ පනත ගෙනාපු 1979 අවුරුද්දේ කොටි සංවිධානය කියන්නේ වෙනම භූමියක් අත්පත් කරගත්, අනූ ගණන්වල හෝ දෙදාස් ගණන්වල හිටපු කොටි සංවිධානය නෙවෙයි. ඒ වෙනුවට එදා උතුරේ තිබුණේ අදහස්, දේශපාලනය. සන්නද්ධ කණ්ඩායම් කියන එක උතුරේත් දකුණේත් එදා හිටියේ මුළු ලෝකෙම තිබුණු ‘වාමාංශික සන්නද්ධ විප්ලවයක් පිළිබඳ‘ දේශපාලන ට්‍රෙන්ඩ් එකක කොටසක් විදියට. ඒක දෙමළ ජාතිකයන් කරද්දී ‘ත්‍රස්තවාදය‘ වුණා. ඒ යට තිබුණ දේශපාලන අර්බුදය හඳුනාගත්තේ නෑ. ඉන් පස්සේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව 1983 කළු ජූලිය වගේ ඒවායින් තව තවත් ජනවාර්ගික ගැටුම් වැඩිදියුණු කළා.  

ත්‍රස්තවාදය මැඬලීමට එහා ගිය දුෂ්ඨ අරමුණක් මේ පනතේ තිබුණා. මේක යටතේ අත්අඩංගුවට ගත් සැලකිය යුතු තරම් අය ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ නෑ. ඒ වගේම ත්‍රස්තවාදී ලෙස හඳුනාගත් සංවිධානවල නායකයන් බොහොමයකට මේ පනත යටතේ නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. ඒ වෙනුවට ඒ අපරාධවල සමහර නායකයන් කැබිනට් ගියා. හැමදාම දෙමළ ජනතාවගේ අදහස්, ක්‍රියාකාරීත්වයන් මර්දනයට මේක පාවිච්චි කෙරුණා.

වෙනසකට තිබුණේ මෙදා පාර මුළු රටම ආදරය කරපු තරුණයෙකුට එරෙහිව මේ පනත යොදාගත් එක.

මහේස්ත්‍රාත්වරයා වසන්තගේ තීන්දුවේදී කියනවා ‘තනි පුද්ගලයෙකුට එරෙහිව මෙම පනත යොදාගැනීම සම්බන්ධයෙන් පනත නිශ්චිතව දක්වා නොමැති බැවින්ද, ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදියා යන්න පනතේ නිශ්චිතව අර්ථ නිරූපණය කර නොමැති බැවින්ද එක් එක් පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක කිරීමේදී මෙම පනත අත්තනෝමතික ලෙස පොලීසිය විසින් සමහර අවස්ථාවන්හිදී යොදා ගන්නා බව…‘

ඒ වගේම නඩුව ඉවර වෙනතුරු ඇප නොදී ඉන්න චේතනාත්විතව මේක යොදාගන්න බව මහේස්ත්‍රාත් පෙන්නුවා. වසන්ත කියන්නේ මේ විෂම ක්‍රියාවලියේ නූතනම ගොදුර.

අපට වසන්තට ලැබුණ තීන්දුව ගැන කියන්නට තිබෙන වැදගත්ම කොටස තමයි ත්‍රස්ත පනතේ පදනමේම තියෙන ඔය කියන අවුල. මේ තමයි කිසිම මාධ්‍යයකින් විග්‍රහ නොකරන අවුල. මේ පනත නීතිමය වුවමනාවකට නෙවෙයි, දේශපාලන වුවමනාවකට ගෙනා එකක්.

ඇත්තටම මේ නියෝගයෙන් පස්සේ අප සමාජයක් විදියට අධිෂ්ඨාන කරගන්න ඕනෑ ආණ්ඩුව අකමැති අයව පීඩාවට පත් කරන්න, යොදාගන්න පුළුවන් මේ දුෂ්ඨ පනත ඉවත් කරගන්නයි. මේ වගේ තව දේශපාලන පනත් සම්මත නොවෙන්නට ඉඩ දෙන්නයි.

ඊයේ පෙරේදා පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සම්මත වුණා. ඒ පනතට අදාල විවාදයත් මේ වගේමයි. ව්‍යවස්ථාදායකයේ අපේක්ෂාව විදියට හැන්සාඩ් එකේ තියෙන්නේ, ශිෂ්‍යයන් වගේම ෆේස්බුක් කමෙන්ට් දාන අයව මර්දනයට පුනරුත්ථාපන පනත යොදාගැනීමේ අපේක්ෂාවයි.

ළඟදීම ජාතික ආරක්ෂක පනත කියා එකක් ඒවි. සමාජ මාධ්‍ය නියාමන පනත කියා එකක් ඒවි. තව මර්දන පනත් ගණනාවක් ඒවි. අප ඒ සියල්ල පරාජය කළ යුතුයි.

වසන්ත එළියට ඒවි. ඒත්, තව බොහෝ අය චෝදනා නැතිව, නඩු නැතිව සිරගත වෙලා ඉන්නවා. ඉස්සරත් හිටියා. අපි ඒ ජයග්‍රහණය දක්වා නොගියොත්, අනාගතයේත් එහෙම අය ඉඳීවි.