රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අපරාධයක් හෙළි වේ! වසන්තට තියෙන මේ චෝදනා ත්‍රස්ත චෝදනා නෙවෙයි.. මහේස්ත්‍රාත් ඓතිහාසික ප්‍රකාශයක

වසන්ත මුදලිගේට තිබෙන මේ චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල කළ නොහැකි බව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර ඇත. පැය එකහමාරක පමණ කාලයකදී ප්‍රකාශයට පත් කර තීන්දුව අනුව, වසන්තට ත්‍රස්ත පනත යටතේ චෝදනා ගොනු කිරීම වැරදි බව අධිකරණය කියා ඇත.

දිවුරුම් පෙත්සම් 12,000ක් අත්සන් කරමින් වසන්ත මුදලිගේ නිදහස් කරගැනීමට ජනතාව ගත් තීන්දුවට අමතරව, මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවටත් යටත් වීමට නීතිපති දෙපාර්තමේන්තුවට සහ රනිල් රාජපක්ෂට ආණ්ඩුවට සිදුව තිබේ.

‘මහේස්ත්‍රාත් කීවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ලවෙන්නේ නැහැ කියලා තීන්දු කළා. ත්‍රස්ත විමර්ශන ඒකකය වසන්ත හිර කිරීමේ වුවමනාවෙන් සාක්ෂි හදලා. ත්‍රස්ත පනත පනත යටතේ ඔහුව සිර කිරීමේ වුවමනාවෙන් කටයුතු කරලා තියෙනවා කියලා.‘ නුවන් බෝපගේ අප කළ විමසීමකදී එසේ පැවසීය.

ඒ අනුව වසන්ත මුදලිගේව ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ චෝදනාවලින් නිදහස් කිරීමට කටයුතු කර තිබේ. දින 170කට ආසන්න කාලයක් වසන්තව ‘ත්‍රස්තවාදී‘ චෝදනා යටතේ සිර කර තබාගැනීම රනිල්-රාජපක්ෂ ආණ්ඩුව විසින් කරන ලද සාපරාධී අපරාධයක් බව ඒ අනුව තහවුරු වනු ඇත.

වසන්ත මුදලිගේට එරෙහි ත්‍රස්ත චෝදනා රැගත් නඩුව අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේ ඒ බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

ත්‍රස්ත චෝදනාවලින් නිදහස් කෙරුණද වසන්ත මුදලිගේට එරෙහිව මේ වන විටත් නඩු ගණනාවක් විභාග වෙමින් පවතී. ඒ අනුව ඔහුව නැවත බන්ධනාගාරගත කරනු ඇති අතර, අනෙකුත් සියලු චෝදනා ඇප ලබාගත හැකි මට්ටමේ චෝදනා බව ඔහුගේ නීතිඥවරුන් අප කළ විමසීමකදී පැවසීය. ඒ අනුව, ඔහුට ඉදිරි දින කිහිපය ඇතුළත බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමට හැකි වනු ඇත. ඉදිරියේදී දේශපාලන කටයුතුවල නිරතවීමට ඔහුට කිසිදු බාධාවක් නොමැත.